ගාලුමුවදොර අරගල භූමිය අපූරු සමාජ හරස්කඩකි. එහි අරගල කරන්නෝ තරුණයෝ බව පොදු පිළිගැනීම වුවද තරුණ තරුණියන් හා උරෙනුර ගැටෙමින් අරගලයේ යෙදෙනා මැදිවියේ සහ දෙටු පුරවැසියෝද ගාලුමුවදොර අරගල බිමේ හමුවෙත්. එමතුදු නොව සියලු ආගම් නියෝජනය කරනා පූජ්‍ය ප්‍රසාදීන් වහන්සේලාද, ක්‍රීඩකයෝද, රාජ්‍ය නිලධාරීහුද, ව්‍යාපාරිකයෝද ගාලුමුවදොර පිටියේ අරගලයට කර ගසා සිටිති. ඊට අමතරව මෙරට ප්‍රකට කලාකරුවන් සහ කලාකාරියන්ද මේ අරගල බිමේ නැත්තේම නොවේ. අන් පුද්ගල චරිත කෙසේ වෙතත් ගාලුමුවදොරට පැමිණි ඇතැම් කලාකරුවන් ස්වේඡාවෙන්ම අතීතයේ තමන් දැරූ මතවාද, කරන ලද නිර්මාණ සහ පෙනීසිටි ක්‍රියාකාරකම් වෙනුවෙන් කනස්සල්ල පළකර සිටි අතර එය අපට කියාපාන්නේ කලාකරුවෙක් සිය නිර්මාණ තෝරාගැනීමේදී කොතරම් දුර සිතාබැලිය යුතුද යන පණිවුඩයයි. පවු සමාකරගන්නට අරගල බිමට බට කලාකරුවන් මෙන්ම එදා සිට ජනතාවාදී නිර්මාණ බිහිකරමින් පොදුජන සටන්වල ඉදිරිගාමී මෙහෙවරක නියැළුණු ශිල්පීහුද මේ වන විටත් ගාලුමුවදොර අරගලයට වටිනාකම් එක්කරමින් සිටිති. එවන් එක කලාකාරියක ලෙස විශාරද නන්දා මාලනිය දැක්විය හැකිය.
නන්දා මාලනියට අරගල බිම් ආගන්තුක නොවේ. ඕ පොදු ජනයාගේ අරගල සඳහා දායකත්වය දෙන්නේ අද ඊයේ සිට නොවේ. ‘ශ්‍රවණ ආරාධනා’ සහ ‘සත්‍යයේ ගීතය’ නමින් විශිෂ්ට ඒකපුද්ගල ප්‍රසංග දෙකක් සිය රසික පර්ෂදයට තිළිණ කර තිබුණද රට තුළ වඩාත් ප්‍රබල සමාජ කම්පනයක් ජනිත කරන්නට ඇය සමත්වනුයේ ‘පවන’ ප්‍රසංගය හරහාය. සැබැවින්ම ඒ ප්‍රසංගයද කලාකාරියක ලෙස ඇය කළ මහා අරගලයක් ලෙස හැඳින්වීම සාධාරණය. සාම්ප්‍රදායික ගීතය සීමාකර තිබූ සෞන්දර්යාත්මක, ආගමික සහ ප්‍රේමයේ රාමු කුඩුපට්ටම් කරමින් මානව ප්‍රගමනය වෙනුවෙන් ‘සින්දුවලින් වෙඩි’ තියන්නේ කෙසේදැයි ලාංකේය රසික පර්ෂදයට පසක් කර දෙන්නට පවන සමත් විය. සැබැවින්ම පවන ප්‍රසංගය එදා පැවැති උදාසීන අල්මැරුණු සාහිත්‍යාංග අතික්‍රමණය කරන්නට සමත්වූ අතර එය මර්දනකාරී දැවැන්ත දේශපාලන අධිකාරියකට එළිපිට කරන ලද අභියෝගයක් විය. චිලියේ ‘වික්ටර් හාරා’ වැනි ගායකයන් ගීතය සටන් පෙරමුණක අවියක් කරගන්නේ කෙසේදැයි ලෝකයට පෙන්වා දී තිබූ මුත් ලංකාවේ ජනතාවට ඒ අත්දැකීම ලබාදුන්නේ නන්දා මාලනියගේ පවන ප්‍රසංගයයි.
ආකල්පමය වශයෙන් පමණක් නොව ආකෘතිමය වශයෙන්ද පවන ලංකාවේ ප්‍රසංග කලාවේ ලොකු වෙනසක් කළේය. එහි අඩංගු ගීත සියල්ලම පවන ප්‍රසංගය වෙනුවෙන්ම ලියූ ඒවා වන අතර ඒ සියල්ල මහාචාර්ය සුනිල් ආරියරත්න ලියන ලද ඒවාය. බොහෝ ගායක ගායිකාවන් අලුත් ගීතයක් එළිමහන් ප්‍රසංගයක පවා ගයන්නට මැළිවෙන රටක අලුත්ම ගීත සමුච්චයක් පවන ඒකපුද්ගල ප්‍රසංගය වෙනුවෙන් යොදාගැනීමට තරම් නන්දා මාලනිය දිරිමත්වීම සැබෑම නිර්භීත ක්‍රියාවකි. එමෙන්ම එය ඇය තුළ සිය නිර්මාණ පිළිබඳ තිබූ විශ්වසනීය බවද කියාපානා සාධකයකි.
පවන වේදිකාගත වනුයේ 1987 වසරේදීය. ඒ වූ කලී ශ්‍රී ලංකාව ආසියාවේ මස් මඩුව බවට පත්වෙමින් තිබූ අතිශය බියකරු කාලයයි. අද පරපුරට සිහිනයක් වුවද ඒ කාලයේ විකල්ප අදහස් දැරීම, ‘සෝවියට් දේශය’ සඟරාව කියවීම, කොණ්ඩය රැවුල වැවීම වැනි සිල්ලර කරුණු පවා තරුණ ජීවිත ටයර් සෑයක දවාලීමට ප්‍රමාණවත් විය. එවන් බිහිසුණු කාලයක පවා මෙරට රසිකයන් දහස් ගණන් පවන විඳගන්නට රඟහල් කරා රොක්වීම සැබෑම ප්‍රාතිහාර්යයකි. එදා මේ ලියුම්කරු පවා පවන නැරඹුවේ ගෙදරට හොර රහසේය. එපමණක් නොව ප්‍රසංගය නරඹා කලක් යනතුරුත් කොයි මොහොතේ කුදළාගෙන යාදෝයි යන බිය සිතෙන් පහ වූයේ නැත. ඩිජිටල් තිරයෙන් මේ ලිපිය කියවන ඔබ පිළිගැනීමට මැළිවුවත් ඒ පවන හමාගිය බිහිසුණු යුගයේ හැටිය.
පවන හැඳින්වූයේ සංගීත සජ්ඣායනයක් ලෙසිනි. ලංකාවේ රසික ජනයා එය එලෙසින්ම පිළිගත්තද එවකට රට කරවූ උදවිය පවන ප්‍රසංගය භාරගත්තේ තම පාලන තන්ත්‍රයට කළ අභියෝගයක් ලෙසිනි. දැවැන්ත පාර්ලිමේන්තු බලයකට අමතරව නිලලත් නොලත් මැර කණ්ඩායම් පිරිවරා සිටි පාලකයන්ට සුදු ඇඳුමකින් සැරසුණු නිරායුධ ගැහැනියක කළ අභියෝගය සුළුපටු නොවේ. ඒ සඳහා වූ පන්නරය නන්දා මාලනියට ඉබේ පහළ වූවක් නොවේ. ඇය දිගු කලක් සමාජ අසාධාරණයන්ට එරෙහිව කලාකාරියක ලෙස පෙරමුණේ සටන් කළ තැනැත්තියකි.
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නට එක්සත් ජාතික පක්ෂ රජය කටයුතු කරද්දී, නන්දා තවත් කලාකරුවන් පිරිසක් සමග ඊට එරෙහි පෙත්සමකට අස්සන් තැබුවාය. පසුකාලීනව ජේ.ආර්. ජයවර්ධන රජයෙන් එල්ලවන තර්ජන හමුවේ බොහෝ දෙනෙක් එම කර්තව්‍යයෙන් ඉවත් වෙද්දීත් ඇය නොසැලී සිටියාය. හෙදියන්ගේ වෘත්තීය අරගලයේදීද නොබියව ඊට දායක වන්නට නන්දා මාලනිය ඉදිරිපත් වූ අතර තවත් මෙවැනි උදාහරණ ඕනෑතරම්ය.
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව නන්දාගෙන් එළව එළවා පළිගන්නට විය. පවන ගීතාවලිය රාජ්‍ය මාධ්‍ය මගින් ප්‍රචාරය වීම වාරණය කරනා ලදී. පෞද්ගලික මාධ්‍ය කිසිවක් ක්‍රියාත්මක නොවුණු, අන්තර්ජාලය, සමාජ මාධ්‍ය වැනි දේ ගැන අසාවත් නොතිබුණු ඒ කාලයේ නන්දාගේ ගීත සමාජයෙන් සඟවන්නට ආණ්ඩුව ලොකු වෙහෙසක් ගත්තේය. එහෙත් ආණ්ඩුවේ භීෂණකාරී හැසිරීම අස්සේ අල්මාරි අස්සේ සඟවාගත් නන්දා මාලිනියගේ කැසට්පට ශ්‍රවණය කිරීමෙන් ආශ්වාදයක් ලබන්නට ජනතාව පුරුදුව සිටියහ. වෘත්තීය ගායිකාවකගේ ගීත රටේ පැවති සියලුම මාධ්‍යවලින් වාරණයට ලක්කිරීමේ ඇගේ පැවැත්මට කෙතරම් හානියක් දැයි අමුතුවෙන් කිවයුතු නොවේ. එහෙත් ඒ සියලු බලපෑම් තම සරල ජීවිත පැවැත්ම නිසා දරාගත හැකිවූ බව ඇය පසුකාලීනව පුවත්පතකට පවසා තිබුණාය.
පවන ප්‍රසංගයේ විනාඩි තුන හතරක ගීතයකින් දෙන සමාජ පණිවුඩය බිඳලන්නට එවක පැවති එක්සත් ජාතික පක්ෂ රජයට මහජන රැස්වීම් හත අටකින්වත් නොහැකි විය. මේ නිසා පවනට එරෙහි මර්දනය දිනෙන් දින දැඩිවන්නට විය. අවසන මාස 18 තුළ දර්ශන වාර 205ක් පවත්වා පවන නවතා දමා ඉන්දියාවට පැනගොස් දිවි රැකගන්නට නන්දා මාලනියට මෙන්ම මහැදුරු සුනිල් ආරියරත්නටද සිදුවිය. එදා ඒ ගමන නොගියේ නම් නිසැක ලෙසම ජීවිතයෙන් වන්දි ගෙවීමට ඔවුනට සිදුවනු ඇත.
පවන ප්‍රසංගයේ ගීතාවලිය මිනිසුන් හෘදයාංගමව වැලඳ ගත්තේය. එම ගීතාවලිය එකල්හී මතු නොව අද දක්වාම අප රටේ සිදුවෙමින් පැවති බිහිසුණු, අසීලාචාර ක්‍රියාවන් කවිකොට කීමක් බඳු විය.
එහි එන ‘යදමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යන්න’ ගීතය අසද්දී 87- 89 භීෂණ සමයේ පැහැරගෙන ගොස් දෙතිස් වධ බන්ධනයට ලක් කොට ඝාතනය කළ තම දරු පැටවුන්ගේ ගීතයයි. ඒ ගීතය ඇසෙද්දී මරාදැමූ දරුවන් සිහිකොට වැලපෙන අම්මලා අදත් ඕනෑ තරම්ය.
පවන ප්‍රසංගයේ එන ‘අවුරුදු දෙදහස් පන්සියයක් වයසයි මට මගෙ දූපුතුනේ’ ගීතය වර්තමානයේද ක්‍රියාත්මක ජතික සම්පත් විකුණන කොල්ලකාරී දේශපාලන රටාව පිළිබඳ කෙරෙන අපූරු විවරණයකි. එය පවන බිහිවූ යුගයට වඩා අද කාලයට ගැළපෙන බව පැවසීම සාධාරණ වන්නේය.
නන්දා මාලනිය පවනට ගැයූ ‘කවදා පායත්ද අප දිනිසුරානෝ’ ගීයද එසේම කාලීන වටිනාකමක් සහිත එකකි. එදා පවන නැරඹූ අප මෙන්ම අද ගාලුමුවදොර අරගල බිමේ තරුණ තරුණියන්ද දෑස් දල්වා බලා සිටිනුයේ ‘නිදුකින් ඉන්න මඟ පෙන්වන වෙදාණන්’ බඳු ජනහිතකාමී නායකයකු බිහිවන තෙක්ය.
පවනේ ගැයෙන ‘රණ දෙරණේ ගිනි අවිගත් යුද සෙබළුණි අසනු මැනව…. වෙඩි උණ්ඩය වැයකර නුඹ රැකගත යුතු ජන පිරිසය…’ යන ගීය ඊයේ පෙරේදා රඹුක්කනදී තරුණ ජීවිතයක් උදුරා ගන්නට ගිනි අවිය ක්‍රියාත්මක කළ පොලිස් භටයාට මෙන්ම රතුපස්වලදී, කටුනායකදී ජීවිත බිලිගන්නට ගිනිඅවි ක්‍රියාත්මක කළ සෙබළුන්ටද අදාළ වන්නේය. එමතුදු නොව එම ගීතයේම තවත් තැනක ඇය ‘අයුක්තියේ අණ පිළිපැද කුමකට නුඹ පලඳින තරු’ යයි ප්‍රශ්න කරන්නීය. ඉහළ නිලධාරීන්ගේ හෝ දෙශපාලනඥයන්ගේ අනීතික අණ පිළිපදින්නට සැදීපැහැදී සිටිනා සියලු ආරක්ෂක නිලධාරීන් ගිනි අවිය ක්‍රියාත්මක කරවීමට පෙර සිය හෘදය සාක්ෂියෙන් ඒ පැනය විමසා සිටිය යුතු නොවේද.
පවන ගීතාවලිය ගාලුමුවදොර අරගල බිමටද ගැළපෙන බව බොහෝ දෙනා කියති. වර්තමානයේ රට පුරා ක්‍රියාත්මක ආර්ථික දේශපාලන අරාජිකත්වය විමසා බලන කොයි කාටත් එසේ සිතීම සාධාරණය. වසර 35කට පෙර ගැයූ ගීතාවලියේ අපූරුවට අනාගතය පුරෝකථනය තිබුණේ යැයි කෙනෙකුට සතුටු වීමටද බැරි නැත. එහෙත් තම ගීතාවලිය දශක තුනකට පසු අදටත් එකසේ වලංගු වීම අන් කාගේ නැතත් නන්දා මාලනියගේ හිත නම් පාරන බව ඉරහඳ මෙන් පැවසිය හැක. මන්ද යත් ඇය තිස්පස් වසරකට පෙර ජීවිතය පරදුවට තබා පවන ජනගත කළේ අනාගත පරපුරට වඩාත් සුරක්ෂිත රටක් සැදීමටය. අවාසනාවකට මෙන් ඒ රට අදටත් බිහිව නැත. ගාලුමුවදොර අරා තරුණ බළමුළු අදටත් අරගල කරන්නේ රට බිහිකර ගැනීමටය.
අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු










