සෙසු නායකයෝ සමග සංසන්දනය කරන විට තමා ළඟ බොරු කතා චාටු කතා නොමැති බවත්, රටට අවශ්‍ය රුපියල් සහ ඩොලර් සෙවීමේ ක්‍රමය පමණක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. (Sri Lanka Latest News)
රටක් ලෙස අප ඇ. ඩොලර් බිලියන 90ක් ණය බවත් මේ ණයබරතාවෙන් මිදෙන්න අපනයන කේන්ද්‍ර සංවර්ධනයක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
ඇගලුම්කම්හල් පවා පුලුස්සා දැමූ කුහක දේශපාලනයක් රට තුළ ඇති බවත් තමා පාසල්වලට බස් රථ ලබා දෙන විට බස් මෑන් යනුවෙන් අන්වර්තනාම පටබැදි බවත් මේවා දේශපාලන කුහකකම් බවත් විපක්ෂයේ සිටින කයියනායකයන්ට පුළුවන් නම් තමා සමග හරිහරියට රට සංවර්ධනය කරන්න එන ලෙසත් තමාට ඔවුන්ට මෙන් කයිවාරු ගැසීමට නම් වෙලාවක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද සක්වල වැඩසටහනේ 101 වැනි අදියර යටතේ අනුරාධපුර ගලෙන්බිදුනුවැව නිකවැව අනුර මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ සහ රුපියල් ලක්ෂයක් වටිනා නර්තන ඇදුම් කට්ටල ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.
කයිය ගහනවට වඩා අපිට ඕන වැඩ කරන්නයි
පාසල්වලට බස් රථ ලබා නොදී සුහුරු පන්ති කාමර ලබා නොදී බස් රථ ගෙනවිත් මිනිසුන් ඒකරාශිකර කයිය ගැසීමට තමාට හැකියාව තිබුණත් පාසල් වෙනුවෙන් සේවය කිරීමට ඇති කැමැත්ත ඊට වඩා වැඩි බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
ජනපති අකැමැති වුණාට මේක මැතිවරණ වසරක්
ජනාධිපතිවරයා මැතිවරණ තියන්න කැමති නැති වුවත් මේක මැතිවරණ වසරක් බවත් මෙහි දි ජනතාව නිවැරදි තීන්දුව ගත යුතු බවත් එසේ වුවහොත් රටේ පාසල් සියල්ලම සුහුරු පන්ති කාමර කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
වමද දකුණද නෙවෙයි ඩොලර් හොයන්නයි ඕන
වාමවාදී වුවත් දක්ෂිණවාදී වුවත් ඩොලර් රුපියල් සොයන්න බැරි නම් ඒ පක්ෂයෙන් වැඩක් නැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
බංකොලොත් රටෙත් හොරා කාපු ආණ්ඩුවක් මේක
එසේම අසූචි පොහොර වංචාව,නැනෝ පොහොර වංචාව නිසා රජයේ ඇමතිවරු විශාල මුදලක් වංචා කළ බවත් බංකොලොත් රටෙත් පොහොරවලින් වංචාකළ ආණ්ඩුවක් රට පාලනය කරණ බවත් මොවුන්ට විරුද්ධව විපක්ෂයේ සිට සමගි ජන බලවේගය අධිකරණය හමුවට ගොස් මොවුන්ව අනාවරණය කළ බවත් මේ දරුවන් මේ ගැන දැනුවත් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අපිට රාජපක්ෂවරු එක්ක ඩීල් නැ
කොටි ත්‍රස්තවාදය අවසන් කර එහි ගෞරවය එක පවුලක් ලබා ගෙන රටම සින්නක්කරව ලියාගෙන ආර්ථික ත්‍රස්තවාදය ඔස්සේ රට බංකොලොත් කළ බවත් තමා කිසිදා රාජපක්ෂවරු සමගි කිසිදා ඩීල් නොදා ඇති බවත් තමාට ඇත්තේ ජනතාව සමග ඩීල් එකක් පමණක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 101ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1002ක් වැය කර තිබේ.





















