.
මත්ද්‍රව්‍ය කියලා කියන්නේ අද වෙද්දී අපේ පුංචි රට ගිලගන්න ආපු මාරයෙක් විදියට හඳුන්වන්න පුළුවන්. මත්ද්‍රව්‍ය උවදුර, මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය නතර කරන්න රජය කොයි තරම් ක්‍රියාමාර්ග ගත්තත් මොන විදියකට හරි මේ මත්ද්‍රව්‍ය ජනතාව අතරට ගේන්න ජාවාරම්කරුවන් කටයුතු කරනවා. ඒ නිසාම තරුණ වැඩිහිටි භේදයකින් තොරව හොර රහසේ මේ භයානක මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිස එන්න එන්නම වැඩිවෙමින් තිබෙනවා. ඒවායේ භයානක ආදීනව හේතුවෙන් වටිනා මිනිස් ජීවිත අකාලයේ රටට අහිමි වීමත්, පවුල් ජීවිත බිඳවැටී දරුවන් අනාථ වීමත් ඉහළ යමින් තිබෙනවා. මත්ද්‍රව්‍ය ගැන කියද්දී තවත් විශේෂම දෙයක් සඳහන් කරන්න ඕනේ. ඒ තමයි පාසල් වයසේ දරුවන් මේ මත්ද්‍රව්‍ය මාරයාට ගොදුරුවීමේ ප්‍රවණතාව එන්න එන්නම ඉහළ යමින් තිබෙන බව. මත්ද්‍රව්‍ය රැගෙන පාසලට ඇවිත් ගුරුවරුන්ට හොර රහසේ ඒවා පාසල තුළදී පානය කිරීම අද වෙද්දී ඇතැම් පාසල්වලින් වාර්තා වෙනවා. මෙවැනි ඇතැම් සිදුවීම් ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට පවා වැළැක්වීමට නොහැකි මට්ටමට වර්ධනය වූ පිළිලයන් බවට පත්ව තිබෙන බවත් වාර්තා වෙනවා. මත්ද්‍රව්‍ය රැගෙන පාසල් එන දරුවන්ට එරෙහිව විනය පියවර ගන්නා ගුරුවරුන්ට මග රැක සිට පහර දීමටත්, ජීවිත තර්ජන එල්ල කිරීමටත් ඇතැම් සිසුන් කල්ලි ගැසී සංවිධානාත්මක වී සිටින බවයි පැවසෙන්නේ. (Sri Lanka Latest News)
මත්ද්‍රව්‍ය භාවිත කරන තැන් අතරින් ප්‍රධාන තැනක් ගන්නේ සාද අවස්ථා. ඒ අතරිනුත් ෆේස්බුක් සාද විශේෂයෙන් සඳහන් කරන්න පුළුවන්. එලෙස මත්ද්‍රව්‍ය භාවිත කරමින් විනෝද වීම සඳහා සංවිධාන කරන ලද ෆේස්බුක් සාදයක් වටලා එහි සිටි පාසල් යන වයසේ දරුවන් කිහිප දෙනකු කොටුකර ගැනීමට රාගම පොලිසිය පසුගියදා කටයුතු කර තිබුණා.
මේ සිදුවීමට මුහුණ දුන්නේ කවුද, ඔවුන් කුමන තරාතිරමක අයද යන්න නෙවෙයි සෙවිය යුත්තේ. අහිංසක දරුවන් මත් රකුසාගෙන් මුදා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටයි හැම අම්මෙක් තාත්තෙක්ම සිහිතබා ගත යුත්තේ. දරුවෙකුගේ ජීවිතය වරදින්න යන්නේ ඉතා කෙටි වෙලාවක්. ඒ නිසා තමන්ගේ දරුවන් ආරක්ෂා කරගැනීමට මවුපියන් දැඩි සේ අදිටන් කරගත යුතුයි.
රාගම ප්‍රදේශයේ පැවැති ෆේස්බුක් සාදයේදී අත්අඩංගුවට පත්වුණු දරුවකුගේ අම්මා කෙනෙක් තම පුතු මත්ද්‍රව්‍ය රකුසාට ගොදුරුවීම ගැන මාධ්‍ය වෙත මෙලෙස අදහස් දක්වා තිබුණා.
‘මෙයා යාළුවෝ ආශ්‍රය කරන්න ගිහින් එක එක ටැබ්ලට් ජාති බොන්න පුරුදුවෙලා සල්ලි ඉල්ලලා ගෙදර රණ්ඩු කරනවා. ගෙදර බඩුමුට්ටු පොළොවේ ගහනවා. බැරිම තැන මම සල්ලි දෙන්නේ නැති නිසා දෙපාරක් මන්නේ උස්සගෙන ආවා ගහන්න. ඉස්සරහ අම්මලාගේ ගෙදරටත් ගිහිල්ලා ඔක්කොම කොල්ලෝ ටික ටැබ්ලට් ජාතියක් බොනවා. මෙයා හොඳට හිටියා. යාළුවෝ ආශ්‍රයට ගියාට පස්සේ තමයි විනාශ වුණේ. පාලනය කරන්න බැහැ. මට ගහනවා. පොඩි පුතාට ගහනවා. අපි අපේ කොළඹ ගෙදර කුලියට දීලා රාගමට ආවේ දරුවෝ හොඳට හදාගන්න හිතාගෙන. අන්තිමට ඉස්කෝලේ ගමනත් නැවැත්තුවා. අහල පහළ මිනිස්සුත් පැමිණිලි කරන්න ඇති. මාව පස්පාරක් මරන්න ප්ලෑන් කරලා තිබුණා. මම ඒක නිසාම පොලිසියේ පැමිණිල්ලක් දැම්මා….’
අම්මා කෙනෙක් කවදාවත් පුතෙකුට විරුද්ධව පැමිණිල්ලක් දාන්නේ නැහැ. මේ අම්මාට බේරෙන්න බැරිම තැන තමයි පොලිසි යන්නේ. සමහර විට මේ දරුවා අහිංසක දරුවෙක් වන්නට පුළුවන්. මිතුරන්ගෙන් බේරෙන්න බැරිම තැන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙන්න ඇති. යාළුවෝ කරන සමහර වැරදි නිසා අමාරුවේ වැටෙන්නේ අහිංසක දරුවෝ.
ලෝක ළමා දිනය යෙදී තිබුණු පසුගිය 01 වැනිදා මීට සමාන තවත් සිදුවීමක් වාර්තා වුණේ කතරගම ප්‍රදේශයේ ප්‍රධාන පාසලකින්. ඒ පාසලේ 11 හැවිරිදි දරුවෙක් කසිප්පු භාගයක් පාසලට අරන් ඇවිත් තිබුණේ ලෝක ළමා දිනය සමරන්නයි. මේ දරුවා මිතුරන්ට පවසා ඇත්තේ තමා කසිප්පු රැගෙන එන බැවින් ඒවා පානය කිරීමට අවශ්‍ය බයිට් රැගෙන එන ලෙසයි. කෙසේ වෙතත් පාසල් ප්‍රධානීන් සිදුකළ විමර්ශනයේදී හෙළිව තිබුණේ අදාළ දරුවා සිය මාමා නිවසට රැගෙනවිත් තිබුණු මත්පැන් බෝතලයකින් අඩක් වෙනත් බෝතලයකට දමාගෙන පාසල් රැගෙන විත් තිබූ බවයි.
මවුපියන්, දරුවන් ගැන සිහින මවනවා තමන්ගේ දරුවා කවදා හරි රටේ ඉහළින්ම වැජඹෙන කෙනෙක් බවට පත්කරන්න. ‘අනේ අපිට දුවෙක් ලැබුණා’ ‘අනේ අපිට පුතෙක් ලැබුණා’ ‘අපි කොයිතරම් වාසනාවන්තද?’ යැයි සිතමින් ඔවුන් දරුවන් ගැන සිහින දකිනවා. අම්මා තාත්තා හැම දෙයක්ම කරන්නේ තමන්ගේ දරුවන් වෙනුවෙන්. දුක් මහන්සියෙන් උපයන හැම සතයක්ම කැපකරන්නේ දරුවන්ටයි. ඒත් දරුවන් උස්මහත් වෙනකොට මවුපියන් ඔවුන් වෙත යොමුකරන අවධානය ගිලිහුණොත් එක මොහොතක් ඇති දරුවකුගේ ජීවිතයක් විනාශ වෙන්න. ස්මාර්ට් ෆෝන් එකක් දරුවෙක්ගේ අතට දෙනකොට දෙපාරක් හිතන්න. තාක්ෂණය දියුණු වුණාට දරුවන්ට මේවායේ හොඳ නරක තේරුමක් නැහැ.
මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක් පවුලක සිටිනවා නම් ඒ පවුල තුළ තිබෙන පීඩනය ඉතා විශාලයි. ගතවෙන හැම තත්පරේම ඉන්නේ බියෙන් ගින්දරෙන්. කොයි වෙලාවේ රණ්ඩු වෙයිද කොයි වෙලාවේ මුදල් ඉල්ලා අඬදබර කරයිද බඩුමුට්ටු පොළොවේ ගහයිද කියලා අවිනිශ්චිත බවක් ගෙදර අයගේ හිතේ තියෙන්නේ.
දරුවන් ඇසුරු කරන්නේ කාවද කියා අවධානයෙන් සිටීම හැම අම්මා කෙනෙක්ගෙම තාත්තා කෙනෙක්ගෙම වගකීමක්. බුදුරජාණන් වහන්සේ පවා දේශනා කරලා තියෙන්නේ පවිටු ඇසුරෙන් දරුවන් මුදාගෙන යහපත් ඇසුරට යොමුකළ යුතු බවයි. ඇසුර වැරදුණොත් සසරම වරදිනවා. ඒ නිසා කුඩා අවධියේදිම දරුවන්ව දහම් පාසල් අධ්‍යාපනයට යොමුකිරීම හරිම වැදගත්.
දරුවන් රැකගැනීම මවුපියන්ගේ වගේම මාධ්‍යයේත් වගකීමක්. මත් රකුසාගෙන් තරුණ පරපුර මුදාගැනීම වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෑම මාධ්‍ය ආයතනයක්ම පියවර ගත යුතුයි.
බොහෝ මව්පියන් දරුවන් ඉල්ලන හැම දේම ලබාදෙනවා. නමුත් ඔවුන් හිතන්නේ නැහැ ඒ නිසා දරුවාට සිදුවන හානිය මොන වගේ වේවිද කියලා. උදාහරණයක් ලෙස ජංගම දුරකතනය ගැන හිතන්න. ඒ හරහා දරුවා පාප මිත්‍ර ඇසුරට යොමුවීමට සහ අසභ්‍ය වීඩියෝ දර්ශන නැරඹීමට යොමුවිය හැකියි. ඒ නිසා තමන්ගේ දරුවා හොඳ නරක වටහා ගැනීමට සුදුසු වයසට එළඹෙන තෙක් ස්මාර්ට් ජංගම දුරකතනක් ඔවුන්ට ලබාදීමට හදිසි වෙන්න හොඳ නැහැ.
මෙරට තුළ බන්ධනාගාරවල සිටින රැඳවූවන්ගෙන් 65%ක්ම මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා ලැබූ අය. විෂ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක් සන්තකයේ තබාගන්නා ඕනෑම කෙනකුට මරණ දණ්ඩනයට ලබාදීමයි අපේ රටේ නීතිය වන්නේ. සිතා බලන්න මත්ද්‍රව්‍යවල භයානකකම කොයි තරම්ද කියලා.
කොළඹ නගරය ආශ්‍රිත පාසල්වල පමණක් දරුවන් 230,982ක් මත්ලෝලීන් බවට බත්ව ඇති බව පසුගිය වර්ෂයේ පොලිස් වාර්තාවලින් හෙළිව තිබෙනවා. අපේ රටේ අහිංසක දරුවන් මෙලෙස මත්ද්‍රව්‍යවල ගොදුරු බවට පත්වන විට දරුවන්ට අනාගතයක් තියේවිද යන්න ප්‍රශ්නාර්ථයක් බවට පත්ව තිබේ.
පසුගිය කාලයේ දිනපතා පුවත්පත් කිහිපයක සිරස්තල දැකගන්න ලැබුණේ මේ විදියටයි.
‘අයිස් ගැහුවොත් අවුරුදු 2ක් කම්මුතුයි’
‘පාසලේ දුම් බිව්ව කෙල්ලා සොයයි’
‘පාසල් සිසුන් හරහා අයිස් ප්‍රචලිත කිරීමේ කුමන්ත්‍රණයක්’
‘අප රටේ මත්ද්‍රව්‍ය සුලබව පවතී – මේ විනාශයෙන් දරුවන් මුදාගැනීමට නව නීති සම්පාදනය කළ යුතුයි’
‘ලෝක ළමා දිනයදා අවුරුදු 11ක දරුවෙක් කසිප්පු භාගයක් ඉස්කෝලේ අරන් ඇවිත්’
මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන් හඳුනාගත හැකි ලක්ෂණ කිහිපයක් තිබේ. ඒ අතරින්, ආහාරවලට කැමැත්තක් නැතිවීම, ඇස් රතුවීම, මුඛය වියළීම, දත්මිටි කෑම, අධික ලෙස දහඩිය දැමීම, හෘද ස්පන්දනය ඉහළ යාම, වේගයෙන් හුස්ම ගැනීම, කෙට්ටු වීම, අසාමාන්‍ය කෙන්තිය හඳුන්වා දිය හැකිය. ඔබේ ආදරණීයයන් මේ ලක්ෂණවලින් යුක්ත නම් ඔවුන් ගැන විමසිල්ලෙන් කටයුතු කරන්න. මත්ද්‍රව්‍ය කියන්නේ මාරයෙක්. තරුණ දරුවන්ගෙන් ඉල්ලන්නේ ඔබේ ජීවිතයට මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කිසිවෙක් ළං කරගන්න එපා කියන ඉල්ලීමයි.
මත්ද්‍රව්‍යවලට ගොදුරු වී සිටින දරුවන්ව සමාජයෙන් කොන් කරන්න හොඳ නැහැ. කවුරු ඔවුන්ව කොන් කළත් අම්මා තාත්තා කවදාවත් තමන්ගේ දරුවන්ව කොන් කරන්නේ නැහැ. අවසානයේ තනි නොකර රැකගන්නේ අම්මා විතරමයි. තාත්තා විතරමයි. ඔවුන්ට ජීවිතවල ධානාත්මක පැතිකඩ වටහා දී යහමඟට ගැනීම අප කාගේත් වගකීමක්. පාසලක ඕනෑම දරුවෙක් යහමඟට ගන්න ගුරුවරයකුට පුළුවන්. විෂය දැනුම දෙන්න විතරක් නෙවෙයි දරුවන්ගේ හදවතට කතාකරන්නත් ගුරුවරුන්ට පුළුවන්. ඒ නිසා මේ රටේ ආදරණීය ගුරු මවුපියවරුන්ගෙන් ඉල්ලන්නේ ගුරු භූමිකාව තේරුම් ගෙන දරුවන්ට ආදරය කරුණාව දෙන්න. දරුවන් හොඳට හැදුවොත් ගුරුවරුන්ට ඒ පිනම ඇති.
අපේ රටේ දරුවන් මත්ද්‍රව්‍යවලින් මුදාගැනීමට නොමිලයේ උපදේශනය සපයන ආයතනයක් ලෙස ‘සුමිත්‍රයෝ’ හඳුන්වා දිය හැකියි. ඔබ දන්නා කවුරුන් හෝ මත් රකුසාට ගොදුරුවී සිටිනවා නම් පහත දුරකතන අංකවලින් සුමිත්‍රයෝ අමතන්න.
0112 696666 / 0112 692909 / 0112 683555
මානසික සහන උපදෙස් 1926
නීති විරෝධී මත්පැන් වැටලීම – 1913

නිලන්ති රේණුකා










