මේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය. නම දිග වුණාම අග කෑලි කෑලිවල එක එක කොන් අහුවෙනවා. රටක මහජනතාවට ආරක්ෂාව සැපයීම ආණ්ඩුවේ කාර්යභාරයක්. මහජනතාවට අමතරව විවිධාකාරයේ තනතුරු තාන්න මාන්න තියෙන අයට විවිධාකාරයේ කාර්යභාරයන් මෙහෙයවන අයට ආරක්ෂාව ලබාදීමත් ඒ රටේ සිද්ධ වෙන්න ඕනේ. ආරක්ෂාව කියන එක තීරණය වෙන්නේ ඔහුට හෝ ඇයට තියෙන තර්ජනය මත. යම්කිසි පුද්ගලයෙක් තමන්ට තර්ජනයක් ඇති බව අධිකරණය ඉදිරියේ ඔප්පු කළොත් ඔහුට අවශ්‍ය ආරක්ෂාව ලබාදීම රටේ වගකීමක්. බන්ධනාගාරගත වූවන්ට පවා එහෙම විශේෂ ආරක්ෂාවක් ලබාදීලා තියෙනවා ඔවුන්ගේ ඉල්ලීම මත. සමහර විට සමහර පුද්ගලයන්ගේ නිවාසවලට ආරක්ෂාව ලබාදීලා තියෙනවා. සමහර අයට විශේෂ වැඩපිළිවෙළක් දියත් කරලා තියෙනවා. ඒක ලෝකේ හැම රටකම තියෙන තත්ත්වයක්. මොකද හේතුව පුද්ගලයෙක්ට යම් ජීවිත තර්ජනයක් හෝ වෙනත් තර්ජනයක් තියෙනවා නම් ඔහු ආරක්ෂා කිරීම ඒ රටේ වගකීමක් හින්දා.
මේ ආණ්ඩුව පත්වුණාට පස්සේ ගත්තු ඉතා ප්‍රසිද්ධ තීරණයක් වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීම. අපිට දැන් පහුගිය කාලේ එහෙම විවිධාකාරයේ මන්ත්‍රීවරු මුණගැහිලා තියෙනවා පරණ පුරුදු විදියටම ජීවත් වෙන. දිලිත් ජයවීර ඒ අතර එක්කෙනෙක්. ඔහු බොහොම සාමාන්‍ය විදියට සාමාන්‍ය පුද්ගලයෝ ඇසුරු කරගෙන සාමාන්‍ය විදියට ගමන් යනවා අපි දැක්කා, අපිට ඔහුව මුණගැහුණා. රුවන් මාපලගම කියන පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා තවමත් පරණ පුරුදු විදියට තමන්ගේ වාහනය තමන් විසින්ම පදවගෙන, තමන්ගේ පාඩුවේ ජීවත් වෙනවා. මෙහෙම ගොඩක් අය ඉන්නවා. ඇත්තටම අපි ප්‍රාර්ථනා කරපු වෙනසත් ඒක තමයි. රටක දේශපාලකයෙක් වුණාම ලොකු කාර්ය මණ්ඩලයක් දීලා, ඒගොල්ලන්ට සල්ලි ගෙවලා, වෙන වෙන දේවල් දීලා සුරංගනා ලෝකෙක ඉන්නවා වගේ මහපොළොවට ඈත දුරක ඉන්න පුද්ගලයෙක් වගේ වැඩකරන මිනිස්සුත් එක්ක මේ රට කරන්න බෑ කියලා අපි තේරුම් අරගෙන හිටියා. ඒ නිසා තමයි මේ ආණ්ඩුව මේ විදියට මේ ගෞරවය තාමත් ආරක්ෂා කරගෙන යම් යම් පලුදු වීම් තිබ්බත් මිනිස්සුන්ගේ ආදරයත් එක්ක ඉස්සරහට යන්නේ. ඒ සියල්ල හරි. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ආරක්ෂාව අවශ්‍ය නැද්ද?
රාමනාදන් අර්චුනා කියලා කියන්නේ නැට්ටේ ඉඳන් ගොම ගාගත්තු මනුස්සයෙක්. ඒක වෙනම කතාවක්. හැබැයි අර්චුනාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට ලැබිලා තියෙන ආරක්ෂාවක් නෑ. ඔහුට පහරදෙනවා වගේ එක සිද්ධියක් අපි දැක්කා. ඒක සමහර විට නාට්‍යයක් වෙන්න පුළුවන්. නාට්‍යයක් වුණත් අපිට ඒකෙන් ගතයුත්තක් තියෙනවා. ඇයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට විශේෂ ආරක්ෂාවක්? පහුගිය දවසක ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක ප්‍රසිද්ධියේ මේ ගැන කතා වුණා. ඉතින් ඇයි ආරක්ෂාව කියන එකට උත්තරයක් දීගන්න කාටවත් බැරි වුණාට අපිට තියෙනවා උත්තරයක්. ඒකට හේතුව තමයි අපරාධකාරයන්ට එරෙහිව, මාෆියාකාරයන්ට එරෙහිව, තක්කඩින්ට එරෙහිව, හොරුන්ට එරෙහිව තීන්දු තීරණ ගැනීමේ බලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තියෙනවා. එහෙම තක්කඩියෙක්ට එරෙහිව තීන්දුවක් ගත්තට පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, ඔහු එළියට බැස්සම ඔහුට විරුද්ධව තර්ජන තියෙන්න පුළුවන්. කුඩු ගෙන්වන මිනිහෙක්ට විරුද්ධව ඔහු පාර්ලිමේන්තුවේ හඬ නගනවා. කුඩු ගෙන්වන මිනිහා ඔහුව මරන්න තර්ජනයක් කරනවා. එතකොට ඔහු පාරේ යද්දී සාමාන්‍ය මනුස්සයෙක් පාරේ යනවා වගේ යන්න බෑ. සමහර තීන්දු තීරණ ගත්තට පස්සේ ඒවායින් ව්‍යාපාරිකයන්ට, ඇතැම් ධනවතුන්ට හානි වෙන්න පුළුවන්. එතකොට ඒ අයට මේ මිනිහව මරලා දාන්න හේතුවක් හැදෙනවා. ඉතින් මරන්න කලින් ආරක්ෂා වීම තමන්ගේ වගකීම නිසා, තමන්ට ඒ සම්බන්ධව රාජ්‍ය වශයෙන් තමන් ගත්ත තීන්දුවේ බලපෑමක් තියෙන නිසා ඔහුට හෝ ඇයට ආරක්ෂාව ලබාදිය යුතුයි.
මේ ආණ්ඩුව දැන් දිගින් දිගටම ආරක්ෂාව සැපයීම පැහැර හරිනවා. ආරක්ෂාවක් අවශ්‍ය නෑ කියලා හිතනවා. නෑ එහෙම නෑ. අපි දැක්කා මාලිමා ආණ්ඩුවේ සමහර මන්ත්‍රීවරු යම් ආන්දෝලනාත්මක කටයුතුවලට පැටලෙනවා. ඔවුන්ට ඒ තැන්වලදී චෝදනා එල්ල වෙනවා. ගහන්න යනවා. පහරදීම්වලට ලක්වෙන්න සිද්ධ වෙනවා. සමහර විට තර්ජන ගර්ජනවලට ලක් වෙන්න සිදුවෙනවා. ඔවුන් ඇත්තටම ගියේ මොකටද කියලා අපි දන්නේ නෑ. අපි දැක්කා පහුගිය දවසක ඇඟලුම් කම්හලක් ඇතුළේ යම් ප්‍රශ්නයක් සිද්ධ වුණා. සමහර නගරවල මේ වගේ සිද්ධි වුණා. තවත් පුද්ගලයෙක් නිවසකට ගිහින් යම් සිද්ධියක් වුණා. මේ හැම තැනකදීම අපි දකින දෙයක් තමයි මේ ගොල්ලන්ට ආරක්ෂාව ලබා නොදීම කියන ගැටලුව. ඇත්තටම මේ මිනිස්සුන්ට ආරක්ෂාව ලබාදුන්නම ඒක රටට වෙන හානියක් කියලා සමහරු හිතනවා. නැත්නම් ඒක රාජ්‍ය මුදල් නාස්තියක් කියලා සමහරු හිතනවා.
අපි හිතනවා පොලිසියේ නිලධාරියෙක් දෙන්නෙක් ඒ කාර්යයට යෙදෙව්වාම ඒක රාජ්‍ය මුදල් නාස්තියක් වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න අපිට බුද්ධියක් නැද්ද කියලා. ඒකට හේතුව තමයි ඒගොල්ලන්ට විශේෂ පඩියක් ගෙවන්නේ නෑ. පොලිසියෙන් ගෙවන සාමාන්‍ය පඩියම තමයි ගෙවන්නේ. ප්‍රශ්නයක් තියෙනවා පොලිසිය සාමාන්‍ය රාජකාරිවල නිලධාරීන් හිඟ වෙලා තියෙද්දීත් මෙහෙම අයව ඒවාට නිදහස් කළාම ගැටලුවක් මතුවෙනවා කියලා. හැබැයි අපි දන්නවා ශ්‍රී ලංකාවේ ක්‍රමවේදයක් තියෙනවා විනිසුරුතුමෙක්ට, අධිකරණ ක්‍රියාදාමයේ නියැළෙන කෙනෙක්ට පොලිස් නිලධාරීන් ලබාදීම. ඒ ආරක්ෂාව ලබාදිය යුතුයි. එහෙම ලබාදෙන්නේ ඔහු අපරාධකාරයන්ට විරුද්ධව තීන්දු දෙන කෙනෙක්. අපරාධකාරයෙක්ගෙන් ඔහුට මරණ තර්ජනයක් වුණත් එල්ල වෙන්න පුළුවන්. ඔහුට ස්වාධීනව වැඩකරන්න බැරි වෙනවා තමන්ට ආරක්ෂාව නැත්නම්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාටත් ඒක ඒ විදියම තමයි.
තමන්ට මරණ තර්ජන තියෙනවා, තමන් පාරේ යන්න ඕනේ, තමන්ගේ දරුවෝ ආරක්ෂා වෙන්න ඕනේ, බිරිඳ ආරක්ෂා වෙන්න ඕනේ කියලා බයෙන් පාර්ලිමේන්තුව ඇතුළේ වැඩ කරන්න බෑ. අපි දැක්කා අරගල කාලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව මහ දවාලේ නගරයක් මැද ගහලා මරනවා. ඒ ආරක්ෂාව තියෙද්දී. ඒ නිසා ආරක්ෂාව කියන දේ සම්බන්ධයෙන් නම් මේ විදියට දිගටම ගියොත් අපිට හිතෙනවා මේක ලේසි වෙන්නේ නෑ, මේක ප්‍රශ්නයක් වෙන තැනට පත්වේවි කියලා.

ජීවන පහන් තිළිණ










