තවත් විශේෂ කරුණක් මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ රටට හෙළිකිරීමට අප සූදානම්ය. ඒ, පොහොට්ටුවේ සමුළුව පැවැත්වීමට දින කිහිපයකට පෙර බැසිල් පැවැත්වූ විශේෂ සාකච්ඡාවන් කිහිපයක් සම්බන්ධයෙන්ය. මෙහිදී බැසිල් පසුගිය කාලය පුරා රනිල්ට අතිශය හිතවත් ලෙස කටයුතු කරමින් පොහොට්ටුවේ සංවිධාන කටයුතු අඩපණ කළ මැති ඇමැතිවරුන් සිටින දිස්ත්‍රික්කවල සහ ආසනවල දෙවැනි පෙළ ආසන සංවිධායකවරුන් ගෙන්වා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගෙන තිබිණි. මෙහිදී බැසිල් ඔවුන්ට යම් ඉඟියක් ලබාදෙමින් කියා තිබුණේ ඉදිරි මැතිවරණයකදී පොහොට්ටු ප්‍රබලයන් කිහිප දෙනකු රනිල් සමග එක්ව කටයුතු කළ හැකි බවත්, එසේ වුවහොත් එම සංවිධායක ධුර මෙම දෙවැනි පෙළ නායකයන්ට ලබාදීමට තීරණය කර ඇති බවත්ය. එම නිසා දැන් සිටම සිය ආසනවල සංවිධාන කටයුතු ආරම්භ කරන ලෙසද මෙහිදී බැසිල් මෙම දෙවැනි පෙළ ආසන සංවිධායකවරුන්ට දැනුම්දීමක්ද සිදුකොට තිබිණ.Sri Lanka Latest News
ඇයි එහෙම කළේ!
මෙහිදී බැසිල් ඉලක්ක කර සිටින මැති ඇමැතිවරුන් කිහිප දෙනකුගේම නම් මේ වන විට ‘රාජ්‍ය රහස්’ තීරය සතුව තිබේ. මේ අවස්ථාවේදී අප එය හෙළිදරව් නොකරන්නේ ඒ හරහා ඔවුන්ට යම් අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති නිසාය. කෙසේ වෙතත් බැසිල්ගේ මෙම සාකච්ඡාව පිළිබඳ ආරංචි වූ පොහොට්ටු ප්‍රබලයන් කිහිප දෙනකුම පක්ෂ මූලස්ථානයට පැමිණ එවැනි සාකච්ඡාවක් කළේ ඇයිදැයි බැසිල්ගෙන් අසා සිටීමට පියවර ගෙන තිබිණි. එහිදී බැසිල් ඒ සියලු දෙනාට දුන්නේ අපූරු පිළිතුරුකි.
‘ඕගොල්ලෝ ඉතින් ආසනවල වැඩ කරන්නේ නෑනේ. ඕගොල්ලන් පොහොට්ටුවෙන් පත්වුණු මන්ත්‍රීවරු. ඇමැතිකම් දරන්නේ පොහොට්ටුව හින්දා. හැබැයි ඕගොල්ලෝ ලෑස්ති වෙන්නේ රනිල් එක්ක සන්ධාන ගහන්න. දැන් එන්නේ ඡන්ද වසරක්. ඉතින් අපි ඒකට වැඩ පටන්ගන්න ඕනේ. ඕගොල්ලෝ හරියට වැඩ කරන්නේ නැත්නම් අපට සිද්ධ වෙනවා එතැනට අපේ වෙන කෙනෙක් දම්මලා සංවිධාන කටයුතු කරන්න.’ යනුවෙන් බැසිල් කෙළින්ම කියද්දී එක් ඇමැතිවරයකු බැසිල්ගෙන් විමසා සිටියේ, ‘ඔබතුමා කියපු නිසයි අපි ගිහින් ඇමැතිකම් ගත්තේ. ඔබතුමා කියනවා නම් අපි ඒ ඇමැතිකම්වලින් ඉල්ලා අස්වෙන්නම්’ යැයි කියාය. එහිදී බැසිල් ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ මේ මොහොතේ ඇමැතිකම්වලින් ඉල්ලා අස්වීමේ අවශ්‍යතාවක් නොමැති බවකි.
‘නෑ නෑ, ඕගොල්ලේ අස්වෙන්න ඕනේ නෑ. මම කියන්නේ ඕගොල්ලෝ පෙහොට්ටුවෙන් ආපු නිසා පොහොට්ටුවට වැඩ කරන්න කියලයි. එහෙම නැති වුණොත් අපටත් වෙන දේශපාලන තීන්දු ගන්න වෙනවා’ යන්න එහිදී බැසිල් දී තිබූ පිළිතුරය.










