අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද වත්කම් බැරකම් ප්‍රකාශයේ දක්වා ඇති පරිදි ඔහු සතුව Crypto currency ඇති බව පසුගියදා හෙළිදරව් වුණා. එම කරුණ සම්බන්ධයෙන් Lanka Voice යූටියුබ් නාලිකාවේ මාධ්‍යවේදී කුලශ්‍රී කාරියවසම් මහතා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගෙන් විමසූ අතර, එහිදී ටිල්වින් සිල්වා මහතා ලබාදුන්නේ මෙවැනි පිළිතුරකි.Sri Lanka Latest News
ප්‍රශ්නය
අමාත්‍ය වසන්ත සමරසිංහගේ වත්කම්වල ක්‍රිප්ටෝ කරන්සිවලින් උපයා ගත්ත මුදලක් තියෙනවා කියලා කියනවා. ක්‍රිප්ටෝ කරන්සි ලංකාවේ වලංගුයිද?
පිළිතුර
ලංකාවේ ගොඩක් අය ඒක කරනවා. ඉතින් ඒක නීතියෙන් තහනම් වෙච්ච එකක් නෙවෙයි. ඉතින් තහනම් නම් නොදා ඉන්න පුළුවන්නේ ඒකට. දැන් ප්‍රශ්නේ තියෙන්නේ, වසන්ත සහෝදරයා හෝ අපේ කවුරුවත් වත්කම් හංගලා තියෙනවද සත පහක්වත්? සමහර ඒවා දාන්නේ නැතුවත් ඉන්න තිබ්බා. ඇත්තටම ක්‍රිප්ටෝ කරන්සි වගේ ඒවා. අපිට එහෙම හංගන්න ඕනේ නෑ. හංගන්න දෙයක් නැහැ. ඒ නිසා ඔක්කොම දාලා තියෙන්නේ. ඉතින් නීති විරෝධී මොකක් හරි තියෙනවා නම් නීතියෙන් වැඩකරන එකනේ කරන්න තියෙන්නේ. ෆේස්බුක් එකේ ලියලා වැඩක් නෑනේ. කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මෙයාගේ මේ දේපළ නීති විරෝධී කියලා, ඔබ මොකද කරන්න ඕනකම තියෙන්නේ? වහාම ගිහිල්ලා පැමිණිල්ලක් කරන්න ඕනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. ස්ථිරවම හොයනවා. හැබැයි එහෙම නැතුව නිකන් ෆේස්බුක්වල ලියලා, මම හිතන්නේ නැහැ තේරුමක් තියෙයි කියලා.
ප්‍රශ්නය
පක්ෂයේ ලේකම්වරයා හැටියට ඔබේ වත්කම් අපිට දැනගන්න, රටට දැනගන්න කියන්න පුළුවන්ද?
පිළිතුර
මගේ වත්කම් මම භාරදීලා තියෙන්නේ.
ප්‍රශ්නය
මැතිවරණ කොමිසමට?
පිළිතුර
නෑ නෑ නෑ. කොමිසමටත් දීලා, කොපියක් යවලා තියෙන්නේ අපි. ඔක්කොම දෙනවා.
ප්‍රශ්නය
අල්ලස් කොමිසමට?
පිළිතුර
අල්ලස් කොමිසමට නෙමෙයි, ඔය වංචා දූෂණ විරෝධී එකට. ඉතින් මගෙත් එකක් එළියට දාලා ඇති. බලන්න පුළුවන්කම තියෙනවා. මට වත්කම් නැහැ පුද්ගලිකව. මට තියෙන්නේ ඉතින් ඔය පක්ෂ වත්කම්වල භාරකාරත්වය දරන එක තමයි තියෙන්නේ.
ප්‍රශ්නය
ඊළඟ කාරණය පක්ෂයේ වත්කම් පිළිබඳ ප්‍රශ්නය. මේ ගොඩනැගිල්ල හදපු වෙලේ ඉඳන් ලොකු ප්‍රශ්න මතුවුණා, කොහෙන්ද ජේවීපී එකට මේ සල්ලි හම්බවුණේ? මෙච්චර වත්කම් තියෙනවා? කොහෙන්ද මේවා ආවේ?
පිළිතුර
මම කියන්නේ මෙහෙමයි. මේක අපි සෑහෙන කාලයක් පැහැදිලි කරලා තියෙනවනේ. මේ ගොඩනැගිල්ල හැදුවේ අපේ ආණ්ඩුවක් යටතේ නෙවෙයි. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව තියෙන කාලේ. මේ ගොඩනැගිල්ල රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව තියෙන කාලෙත් තිබ්බා. ගෝඨාභයගේ ආණ්ඩුව තියෙන කාලෙත් මේක තිබ්බා. මේකේ ප්‍රශ්නයක් තිබ්බා නම් ඒගොල්ලෝ ඔක්කොටම පරීක්ෂණ කරන්න තිබ්බා. ඒගොල්ලෝ එහෙම කළේ නෑනේ මොකක්වත්. ඒ කියන්නේ මේකේ ගැටලුවක් නැහැ. වෙන පක්ෂවල නායකයෝ, සාමාජිකයෝ තම තමන්ට ගෙවල් හදාගත්තා. පක්ෂයට ගොඩනැගිලි හදාගත්තේ නැහැ. අපි කළේ මොකක්ද? අපි ඔක්කොම එකතු වෙලා, සල්ලි හොයලා, අපි පක්ෂයට ගොඩනැගිල්ලක් හැදුවා. අපිට ආඩම්බරයක් මේක. මොකද ලංකාවේ හැමෝම කියනවා, ලංකාවේ තියෙන ලස්සනම, හොඳම ගොඩනැගිල්ල තියෙන්නේ ජේවීපී එකේ කියලා. අපිට ඒකට ආඩම්බරයක්. මොකද අපි කුලියට හිටිය කාලයක් යනකන්ම. මම හිතන්නේ 2008 වගේ වෙනකන්ම කුලියට හිටියේ. කුලී ගෙවල් හොයාගන්නත් අමාරුයි. කුලිය වැඩියි. අපිට ඕනෙ විදියේ තැනක් ඇත්තෙත් නැහැ, මේ වගේ වැඩක් කරන්නත් බැහැ එහෙම නොතිබුණා නම්. ඉතින් අපි මේ ඉඩම් කෑල්ලක් අරගෙන, අපේ දිස්ත්‍රික්කවල සහෝදරවරු මැදිහත් වෙලා, විවිධ අමුද්‍රව්‍ය හදලා, අපි මැදිහත් වෙලා, අපේ මේසන් වැඩ කරන කට්ටිය, ඇවිල්ලා ශ්‍රමදානයෙන් වැඩ කරලා මේක හැදුවේ. මේක අමුතු ගොඩනැගිල්ලක්. එහෙම හදපු ගොඩනැගිල්ලක්. රටක් හදන්න ඕනේ මෙහෙම තමයි කියලා අපි හිතනවා, කවුරුත් එකතු වෙලා. මේක විස්තර කරන එකේ තේරුමක් නැහැ. කාට හරි කෙනකුට මේ ගොඩනැගිල්ල ගැන හරි, ජනතා විමුක්ති පෙරමුණේ දේපළ පිළිබඳ හරි, අපේ පුද්ගලික දේපළ පිළිබඳ හරි ගැටලු තියෙනවා නම්, කරුණාකරලා යන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, අල්ලස් කොමිසමට පැමිණිලි කරන්න, හොයන්න කියලා. කිසි බාධාවක් අපෙන් නෑ. වැරැද්දක් තිබුණොත් දඬුවම් ලැබේවි.
ප්‍රශ්නය
ඔව්, ඔබ එහෙම කිව්වට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යන්න, අල්ලස් කොමිසමට යන්න කියලා නීතිය සැමට ක්‍රියාත්මක වෙනවා කිව්වට, රජයේ ඇතැම් අය සම්බන්ධයෙන් නීතියේ ටිකක් ප්‍රමාදයක් තියෙනවා වගේ එකක්. වසන්ත ඇමැතිවරයා සම්බන්ධයෙන් තියෙන නඩුවක කාරණයක් තියෙනවා. ඊට පස්සේ විදුලිබල ඇමැතිවරයා සම්බන්ධයෙන් චෝදනාවක් මතුවෙලා තියෙනවා. අල්ලස් කොමිසම ඒ ගැන තාමත් මුකුත් පියවරක් අරගෙන නැහැ?
පිළිතුර
වසන්ත සහෝදරයාගේ නඩුව බොරු නඩුවක්. ඒක උසාවියෙන් අහන නිසා මම ඒ ගැන කියන්න යන්නේ නෑ. උසාවිය අහනවා ඒක. නවත්තගෙන නැහැ. විදුලිබල ඇමැතිවරයාගේ ප්‍රශ්නය අපිට ඕනෙ නම් හංගන්න තිබ්බා එළියට දාන්නේ නැතුව. එළියට ආවේ කොහොමද කියන්නකෝ. එළියට ආවේ මේ අපේ ආණ්ඩුව යටතෙනේ. අපි මැදිහත් වෙනවා නම්, එහෙම එකක් ඔබ දන්නේ නැහැ. ඒක හංගන්න තිබ්බා. අපි එහෙම කළේ නැහැ. ඉතින් එයාට මොකක් හරි චෝදනාවක් තිබුණා. ඒක බොරු එකක්. අපි කිව්වා ඒක දාලා අහන්න දෙන්න කියලා. ඉවරයිනේ එතකොට ඒක.
ප්‍රශ්නය
විදුලිබල ඇමැතිවරයාගේ චෝදනාව බොරුවක් නෙවෙයි. ඔහු රජයේ සේවකයෙක් හැටියට ඉන්නකොට….?
පිළිතුර
පුද්ගලිකව වගකියන්න ඕනේ නැති, නමුත් තනතුරට වගකියන්න ඕනේ එකක් තියෙනවා. ඉතින් ඒක, නීතියෙන් බේරගනීවි. අපි ඒකට මැදිහත් වෙලා නැහැ. මොකද අපි ඒකට මැදිහත් වෙනවා නම්, ඔහොම එකක් ඔබ දන්නේ නැහැ, එළියට එන්නේ නැහැ. අපි එහෙම කරලා නැහැ. ඒ නිසා කවුරු හරි වැරැද්දක් කරලා තියෙනවා නම්, ඉතින් එයාට නීතියෙන් ඒ වගකීම දරන්න වේවි. ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි කිසිවෙක් ආරක්ෂා කරන්නේ නැහැ. ඔබ දන්නවා අපි ආණ්ඩු නැති කාලේ, පක්ෂයක් ලෙස ඉන්න කාලෙත්, පක්ෂය බරපතළ වැරැදි කළාම, අපට සිද්ධ වෙන හානිය නොසලකා අපි පක්ෂයේ මිනිස්සු අයින් කරලා තියෙනවා. එහෙම පක්ෂයක්. එහෙම සංස්කෘතියක් අරන් ගියපු පක්ෂයක්. ඒ නිසා, මම හිතන්නේ කාට ඔය චෝදනා තිබ්බත් අපිට ඒ චෝදනා කරන එකේ කිසිම තර්කානුකූල බවක් නැහැ කියලයි අපි හිතන්නේ.










