පුත්තලම මුන්දලම පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට වහාම ස්ථාන මාරුවක් ලබා දෙන්නැයි රාජ්‍ය ඇමති සනත් නිශාන්ත විසින් පොලිස්පතිගෙන් ඉල්ලා ඇත.
එම නිලධාරියා දූෂිත නිලධාරියකු බවත් වහාම ඔහුව ස්ථාන මාරුවක් ලබා දෙන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා ඇතැයි ද දිවයින පුවත්පත වාර්තා කොට ඇත.
මේ සම්බන්ධයෙන් පුවත්පත පොලිස් නිලධාරියාගෙන් විමසූ විට ඔහු සඳහන් කර ඇත්තේ ආරච්චිකට්ටුව ප්‍රදේශයේ තෙත්බිම් ඩෝසර් කිරීම සම්බන්ධ පිරිස් තමන්ට විරුද්ධව බවත් ඔවුන් නීතිය අකුරට ක්‍රියාත්මක කරන තමන්ට මාරු කිරීමට සූදානම් වන බවත්ය.
මීට පෙර පුත්තලමේ හිටපු පොලිස් නිලධාරියකු වූ එරික් පෙරේරා මහතාද ඉවත් ලිපියක් මගින් මාරු කර යැවූ බවට අරුන්ධික ප්‍රනාන්දු ඇමැතිවරයාට චෝදනා එල්ල විය.
එමෙන්ම, පාදුක්ක පොලිසියේ ස්ථානාධිපතිවරයා මාරු කර යවන ලෙසට අමාත්‍ය ගාමිණී ලොකුගේ විසින් පොලිසිය භාර අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබුණු බව පසුගිය දිනවල වාර්තා විය.










