අපි දේශපාලන වේදිකාවේ මේ වෙලාවේ එහෙට මෙහෙට මාරුවෙන මූණු ගැන, මාරුවෙන ඔළුගෙඩි ගැන කීප වතාවක්ම කතා කළා. ඒවා හරිම අප්‍රසන්න සහ අපි කතාකරන්න අකැමැති මාකෘතාවක්. මොකද හේතුව එහෙට මෙහෙට පැනීම කියලා කියන්නේ වාසි පාඩු මත තීරණය වෙන ලංසුව මත තීරණය වෙන එකක් කියලා තමයි අපි අහලා තියෙන්නේ. අපි දන්නේ නෑ ඒක මොන විදියටද වෙන්නේ කියලා. කොහොම වුණත් මේ ගැන දයාසිරි ජයසේකර මහත්තයා කියපු අපූරු කතාවක් තමයි මේ ලිපියේ ප්‍රධාන තේමාව බවට පත්වෙන්නේ. ඔහු මෙන්න මෙහෙම කියලා තියෙනවා. (Sri Lanka Latest News)
නුවරඑළියේ මන්ත්‍රීවරයෙක්, ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් තායිලන්තයේ ගිහිල්ලා ඇවිල්ලා කෙළින්ම එක පැත්තකින් තව පැත්තකට මාරුවුණා. ඒ ඩීල් එක සිද්ධ වෙලා තියෙන්නේ තායිලන්තයේ කියලා ඔහු කිව්වා. ඒ වගේම රත්නපුරෙන් රනිල් එක්ක එකතුවුණු නෝනා ඊට කලින් දවසේ සිංගප්පූරු ගිහිල්ලා හවස ආවා. ඇවිල්ලා මේ වැඩේ වුණා කියලා කිව්වා. දැන් අපි දන්නේ නෑ ඇත්තටම ඒ නෝනා සිංගප්පූරු ගියාද, සිංගප්පූරු ගියේ මොකේද? කීයටද? කොයි වෙලාවෙද? කොහොමද? එහෙ ගිහිල්ලා මොනවද කළේ? ආපහු ඇවිල්ලා මොනවද කළේ? සල්ලි දුන්නද? නැද්ද? එතුමිය සිංගප්පූරු ගියේ පෞද්ගලික වුවමනාවකටද? ඒ කිසිවක් අපි දන්නේ නෑ. ඒවා අපට වැඩකුත් නෑ. ඒවා හොයන එක ලොකු වැඩක්. හැබැයි දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා මෙහෙම කිව්වම එතුමා විශ්වාසවන්ත මේ රටේ ඉන්න නීතිඥවරයෙක්. ඒ වගේම එතුමා මේ රටේ හිටපු ප්‍රධාන පෙළේ දේශපාලකයෙක්. එතුමා කියන එක අපි විශ්වාස කරනවා. ඒ නිසා එහෙම නම් තායිලන්තයට ගිහිල්ලා ඇවිල්ලා ආපහු අනිත් පැත්තට පැන්නා නම් සිංගප්පූරු ගිහිල්ලා ඇවිල්ලා අනිත් පැත්තට පැන්නා නම් මේක වුණේ මේ විදියටම නම් මේක ඩීල් එකක් කියලා අපිට පැහැදිලියි.
මේ දෙන්නේ සල්ලි නම්, මේ දෙන්නේ බාර් ලයිසන් නම්, මේ දෙන්නේ වරප්‍රසාද නම්, මේ දෙන්නේ ඇමැතිකම් නම් ඡන්දේ දෙන්න නෙවෙයි තියෙන්නේ පන්නන්න. මොකද ඒකට හේතුව මේවා මේ අපෙන් ආතල් ගන්න වැඩ. මොකද මේ රටේ මහජනතාව අපි. අපියි බදු ගෙවන්නේ. අපියි පීඩා විඳින්නේ. අපිටයි ප්‍රශ්න තියෙන්නේ. අපිටයි සෞඛ්‍ය පහසුකම් නැත්තේ. අපිටයි දුක් විඳින්න වෙලා තියෙන්නේ. අපියි ගෑස් පෝලිම්වල හිටියේ. අපියි තෙල් පෝලිම්වල හිටියේ. අපියි තෙල් නැතුව ගමන් බිමන් නතර කරලා දාලා හිටියේ. එහෙම රටක කාටවත් ඩීල් දාන්න අම්මගේ අප්පගේ දේපළවලින් ගෙනාපු සල්ලිවත්, එහෙම නැත්නම් වත්තේ පොල් කඩලා විකුණලා හොයාගත්ත සල්ලිවත් නෙවෙයිනේ මේ වියදම් කරන්නේ. මේ සල්ලි අපේ. මේගොල්ලෝ තමන්ගේ නඩු ටික බේරගන්න, තමන්ට මොකක් හරි වරප්‍රසාදයක් ගන්න හිතාගෙන නම් මේ වැඩ කරන්නේ මිනිස්සු ඒවට විරුද්ධව පියවර ගන්න ඕනේ.
අපි දන්නවා එහෙට මෙහෙට පැනිල්ල ඔෆීෂියලිම වෙන්න පටන්ගන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක නෝනගේ කාලේ. ඊට කලිනුත් එහෙම දේවල් වෙලා තියෙනවා. ඒ පැත්තේ ඉඳලා මෙහා පැත්තට ඇවිල්ලා පක්ෂයක් හදාගත්තු අවස්ථා, ඒ පක්ෂයෙන් මේ පක්ෂයට ආපුවා, අලුත් පක්ෂ හදපුවා මීට කලිනුත් වෙලා තියෙනවා. හැබැයි චන්ද්‍රිකා නෝනගේ කාලේ මේවා ඔෆීෂියලිම වුණා. හැබැයි ඒ වෙලාවේ කිව්වා යුද්ධය නිසා, දෑත ශක්තිමත් කරන්න ඕනේ නිසා කියලා. ඒ වෙලාවේ අධිකරණය පවා තීරණයක් දුන්නා හෘදය සාක්ෂියට එකඟව කරන දෙයක් කරගන්න පුළුවන් කියලා. ඒ අධිකරණ තීන්දුවත් පූර්ව නිගමනයක් විදියට තියාගෙන තවදුරටත් පක්ෂ මාරුකිරීම් සිදුවෙන්න ගත්තා.
අපිට මතකයි මහින්ද මහත්තයාගේ කාලේ 19 දෙනෙක් දැනට පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීලත් ඇතුළුව කරු ජයසූරිය මහත්තයගේ නායකත්වයෙන් මහින්ද මහත්තයාගේ දෑත ශක්තිමත් කරන්න, යුද්ධයට උදව් කරන්න කියලා ගියා. ඒ ගියෙත් වරප්‍රසාදවලට. ඇමැතිකම්වලට. තාන්නමාන්නවලට තමයි ගියේ. එහෙම ගිහිල්ලා සමහරු ටික දවසකින් ආවා. සමහරු දිගටම හිටියා. ඒ සමහරු නම් අපිට හිතාගන්නත් බෑ පක්ෂය මොකක්ද, පාර්ලිමේන්තු ආවේ මොකෙන්ද කියලාවත්. ඒ තරමටම මේක අවුල් ජාලයක් බවට පත්වෙලා තියෙනවා. සමහර නම් තියෙනවා හැමදාම පාර්ලිමෙන්තුවේ. ඒගොල්ලෝ හැමදාම ඇමැතිවරු. මොන පක්ෂය ආවත්, මොන ආණ්ඩුව ආවත්, මොන විදියට ආවත්. ඒගොල්ලෝ පැරැදුණත් ඇතුළට එනවා. ඉතින් මේවා තමයි ප්‍රශ්න.
2001දී, 2015දී විවිධාකාරයේ කාරණාවලදී සමහර අය එහා පැත්තට පැන්නා. එහා පැත්තට ගියා. හැබැයි මේ ගියපු අය ගියේ නිකන්ම නිකන් නෙවෙයි. අපි දන්නවා මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙවෙයි කියලා. අල්ලේ සීනි නැත්නම් ලෙවකන්නේ නෑ කියලා. හැබැයි ඉතින් මේ අල්ලේ තියෙන සීනිවල අයිතිකාරයා කවුද, ඒවා අපිට බෙදලා දෙන්න තිබුණු සීනි නම්, ඒවා ඔක්කොම එකපාර සුරුස් ගාලා ලෙවකාලා ඉවර කරලා දැම්මාම ගොඩ පිටින් මඩිය තරකර ගත්තාම කිසිම හෘදය සාක්ෂියක් නැතුව දේශපාලකයන්ට උදව් කරන්න ගත්තාම මිනිස්සු රැවැටෙනවා නෝනාවරුනි මහත්වරුනි. ඒක මතක තියාගන්න. ඇත්තටම මනුස්සයෙක් ප්‍රතිපත්ති ප්‍රකාශයක් කියවලා, ඔහුගේ දේශපාලන දැක්ම ගැන හිතලා, දැනගෙන, මොකද අපි දන්නේ නෑනේ සමහර වෙලාවට ඔය දේශපාලකයාගේ හැබෑ කියවීම මොකක්ද කියන එක. ඔවුන්නේ ඒගොල්ලන්ව ළඟින් ඇසුරු කරන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාව ළඟින් ඇසුරු කරන්න අපිට විදියක් නෑ. සජිත් ප්‍රේමදාස මහත්තයව ළඟින් ඇසුරු කරන්න අපිට බෑ. අනුර කුමාර දිසානායක මහත්තයව ළඟින් ඇසුරු කරන්න අපිට බෑ. අනිත් අයවත් එහෙම තමයි.
ඒ අය ගත්තම ඒ අයව ළඟින් ඇසුරු කරන අය ඒ අයව දන්න අය නම් ඒගොල්ලන්ට පුළුවන් අපිට කියන්න මෙතුමා හොඳයි. ඔබ දන්නේ නැති වුණාට මෙතුමා හොඳයි. ඔබට කවුරුවත් කියලා නැති වුණාට මෙතුමා හරි හොඳයි. මෙතුමා හරි හොඳ දේශපාලකයෙක්. මෙයාගේ මෙන්න මේ ප්‍රතිපත්තිවලට මම හරි කැමැතියි. මෙයා රට වෙනුවෙන් කරන මෙන්න මේ වැඩ ටිකට මම කැමැතියි. මෙයා ඉදිරියට කරනවා කියන මේ වැඩ ටිකට මම කැමැතියි. ඒ නිසා මම එතුමා එක්ක එකතු වෙනවා. එතුමාට සහාය දක්වනවා. මට වරප්‍රසාද එපා. අපි අභියෝගයක් කරනවා ‘මව්රට’ විදියට. පුළුවන් නම් ඔය ගියපු මන්ත්‍රීවරු, මන්ත්‍රීවරියෝ වරප්‍රසාද කිසිවක් නොගෙන පෙන්නන්න. බාර් ලයිසන් නොගෙන ඉන්න. පාරවල් හදන කොන්ත්‍රාත් ටික නොගෙන ඉන්න. සහෝදරයෙක්ට යාළුවෙක්ටවත් වරප්‍රසාදයක් ලබා නොදී ඉන්න. පුළුවන් නම් ඇමැතිකමක් නොගෙන ඉන්න. මන්ත්‍රීකම විතරක් තියාගෙන ඉන්න. වරප්‍රසාද කිසිවක් එපා කියන්න. ජාතික ලැයිස්තුවෙන්වත් පාර්ලිමේන්තුවට ගන්න කියලා නොකියා ඉන්න. අන්න ඒ වගේ අයව අපි අගය කරනවා.
එහෙම අය ඇති. නෑ කියලා කියනවා නෙවෙයි. අපි කිසිසේත්ම හැමෝටම චෝදනා කරනවා නෙවෙයි. හැම මන්ත්‍රී කෙනෙක්ම හැම දේශපාලකයෙක්ම නරක මිනිස්සු කියනවා නෙවෙයි. නරක අයත් ඉන්නවා. හොඳ අයත් ඇති. හැබැයි හොඳ නරක කියන එක හරියට තේරුම් අරගන්නයි අපි මේ උත්සාහ කරන්නේ.

ජීවන පහන් තිළිණ










