මතකයක් යනු අපගේ හදවතේ වැඩිම ප්‍රමාණයක උරුමකරුවාය. මතකය අහිමි වූ තැන අපි හිස් අවකශයක් දරන්නන් වෙමු. මතකය නම, ද්‍රව්‍ය, ශබ්ද, ගන්ධ, ස්පර්ශ ඔස්සේ පවතින්නක් වේ. මතකය තුළ ආදරය කරුණාව, දුක, සතුට ආදී බොහෝ හැඟීම් ගබඩා වී ඇත. එය විවිධාකාර පදාසයන් තම බූවලු දෑත්වලින් එකතුකොට හදවතට තබා බැඳ තබාගෙන ඇත. ඒ මතක ඔස්සෙ ලෝකය වඩා යහපත් කරන්නට මේ මතක කොපමණ වැදගත්දැයි යන්නට මතක කෞතුකාගාරයක් මට හමුවිය. එය පොතකින් උපන් අපූරු කෞතුකාගාරයක් වග ඔබට විශ්වාස කළ හැකිද? සම්ප්‍රදායික කෞතුකාගාර සම්ප්‍රදායෙන් ඔබ්බට පියාපත් විදහා වෙනස්ම සංකල්ප රැසක් බෙදාහදා ගන්නා මේ කෞතුකාගාරය වෙනස්වූ මතක සංචිතයකි. Sri Lanka Latest News
පහුගිය සිකුරාදාවක මා මාතර සිට කොළොම්පුර මහජන පුස්තකාලයට සේන්දු වූයේ පුස්තකාල සඳහා වන පොත් පරිත්යාගයකටය. ඒ ගිය ගමනේදී මට මගෙ වැඩිමහල් මිතුරියක්, එසේම මීට ටික කාලෙකට පෙර මා රැකියාව කළ ආයතනයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කළ සමන්තා ඩේවිඩ් කරුණාරත්න මාහට හමුවූ අතර, මා ඇය සමග කතාකරමින් උන්නේ ගොඩනැගූ මහජන පුස්තකාලයේ කෞතුකාගාරය පිළිබඳ කතාකරමින් සිටින අතර, ඇය පැවැසුවේ ‘සඳා මෙහෙ තව කෞතුකාගාරයක් විවෘත කළා. ඔයාට බලන්න පුළුවන්. අර අපිට දවසක් බි්රටිෂ් කවුන්සිල් එකේදී මුණගැහුන ඔයාගේ යාළුවා නිතර ඒ කෞතුකාගාරයට එනවා…’ යනුවෙනි. ඇය කී මගෙ මිතුරා මතක එකතූන් සම්බන්ධව පර්යේෂණ කරන්නෙකි. ඔහු නමින් යොහාන් පීරිස්ය.
එසේ කී ඇය මා ඒ නව කටුගෙයට රැගෙන ගියාය. එහි ඇතුළුවන විට අපේ ඇස් පැහැර ගත්තේ ඔන්චිල්ලාවකි. මතක මත පාවෙන එහෙත් දුක්බර ලණු දෙපොටකින් ගැටගැසුණු ඔන්චිල්ලවකි. එහි දකුණු පස මේසයක් අසළ සොඳුරු තරුණියකි. නමින් සෞම්‍යා අමරසිංහ නම් වූ ඇය එහි උපදේශකවරියක් වූවාය. මගේ වැඩිමහල් මිතුරිය ඇයට මා හඳුන්වා දුන්නේ මගේ මිතුරා වූ යොහාන්ගේ හදුනුම්කම් කියමිනි. ඇය බොහෝ කාරුණික ලෙස අපිව පිළිගෙන ඒ අපූරු කෞතුකාගාරය තුළ කාලය හා අවකාශය පවතින අයුරු පැහැදිලි කළාය.
මෙහි විශේෂත්වය නම් පුද්ගලානුබද්ධ මතක මූලාශ්‍ර ඔස්සේ ලියන ලද පොතක් පාදක කරගනිමින් නිර්මාණය වූ මතක මැදිරියක් වීමයි. මාලතී ද අල්විස් හා හසිනි හපුතන්ත්‍රී සංස්කරණය කරන ලද Historical Dialog.lk විසින් ප්‍රකාශයට පත්කරන ලද ‘මතක සංචිත’ කෘතිය කේන්ද්‍ර කොටගත් කෞතුකාගාරය අපෙන් ඇත හැරුණු යුතුකම්, වගකීම් රැසක් ගැන ස්වයං විවේචනයකට අපිව රැගෙන යන්නේය. ඒ පොත සමාජය කණපිට හැරවිය හැකි මට්ටමේ වූවක් බව එය කියවන ඕනෑම අයකුට වැටහෙනු නොඅනුමානය. පුදුමය නම් මීට වසර දෙකකට පෙර මා හිතමිත්‍ර යොහාන් මෙම කෘතිය මාහට තෑගී කොට තිබීමත්, එදා එය කියවද්දී කිසි ලෙසකින්වත් මතු දිනෙක මේ කෘතිය හුස්ම වැටෙන කෞතුකාගාරයක් බවට පත්ව කොළඹ හතේ පැලපදියම් වේ යැයි සිහිනෙකින්වත් නොසිතීමය.

‘ශ්‍රී ලංකාවේ මෑතකාලීන ඉතිහාසය පොදු ජනතාවගේ පෞද්ගලික මතකයන් හා දෘෂ්ටි කෝණ හරහා ඉදිරිපත් කරන කතා සහ වස්තූන් එකතුවකි. එය තරුණ හා වැඩිහිටි පරම්පරාව සංවාදයට අරාධනා කරන වාචික ඉතිහාස ව්‍යාපෘතියකි. හමුවීමට, කියවීමට, සවන්දීමට, මෙනෙහි කිරීමට, බෙදාහදා ගැනීමට සහ එකිනෙකාගෙන් ඉගෙන ගැනීමට අවස්ථාවක් සපයන ආයතනයකි…’ ඒ ඔවුන්ගේ තේමාවයි. එහි වූයේ සාමාන්‍ය ජන ජීවිතයේ උරුමයන්ය. ඒවාට රජ පෙළපත්හි අයිතිවාසිකම් හෝ වාසගම් තිබුණේ නැත. අවුරුදු දහස් ගණන් ඉතිහාසයක්ද නොවීය. ප්‍රභූ නිර්ප්‍රභූ භේයක්ද නොවිණි. එහි වූයේ කතාවක් සමග බැඳුණු හැඟීමකි. ඒ හැගීමට උරුම සංකේතයකි. සැබෑවටම බැලූ කල එහි වුයේ නිදහසින් පසු මෙරට ගෙවී ගිය කාලයේ වූ සංසිද්ධීන්හි අවර්ජනයකි.


එහි තැනක නන්දා මාලිනියගේ පවන කැසට් පටයකි. තවත් තැනක ‘අපි සිංහල’ නමින් ලියැවුණු බෝඩ් ලෑල්ලකි. තවත් තැනක මාළු බනිසයක අනුරුවකි. තවත් තැනක ඔරලෝසුවකි. කණ්ණාඩි කූට්ටමකි, පින්තලියකි. මේ සියලු දේ යමෙකුගේ මතකයක අරක්ගත් දෙයක් විය. මෙවැනි භාණ්ඩ රැසකි. ඒ හැම කතාවකින්ම අවබෝධ වූයේ මිනිස්කම් රැකගැන්ම උදෙසා අනෙකාට ගරු කිරීමේ සදාතන ධර්මයට මේ මතක අවර්ජනා තුළින් කොපමණ බලපෑමක් කළ හැකිද යන්නයි. රජවරුන්ගේ තේජස කියාපාන කෞතුක වස්තුවකට වඩා අප හුස්ම ගන්නා සමාජයට අවශ්‍ය වන්නාවූ සාමකාමී බවක් පළඳන්නට මෙවන් කෞතුකාගාර කියන කතා කොපමණ ප්රයෝජන්වත්දැයි, කොපමණ කාලීනදැයි විමසීම කළ යුතුය. රාජ ධුරාවලියක තෝම්බු මතක තබා ගැනීමට වඩා මිනිසුන් ලෙස එකම කක්ෂයක ගමන් කිරීමට අවැසි මිනිස්කමේ ගුරුත්වාකර්ෂණය මෙවන් සංවේදී කතාවස්තු හරහා සමාජයට දායාද කළ හැකිය. එය බලෙන් පටවන සාම වෑයමට වඩා නව පරම්පරාවේ චින්තනය වෙනස් කරන්නට හේතුවනු ඇත. සංහිඳියාව නිරායාසයෙන් ඇතිකරවිය හැකි මන්තරයකි.
මෙහි තිබූ කතා යුද්ධය, සුනාමිය, කළු ජූලිය, ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ මරණය අවස්ථාවේ අතුරුදන්වූ රණ මයුර සම්මානයෙ අනුරුව, පාන් පෝලිම්, සුදු වෑන් යුගය, නත්තල ආදී බොහෝ මතක මේ මතක සංචිතය නම් ගසෙහි වේ. එහි පිටුවෙන් පිටුව හුස්ම ගන්නා කතාවකි. රූපමය වින්‍යාසයකි.


එහි එක් කතාවක් මෙසේය. එය කොපමණ හදවත සංවේදී කරන්නක්දයි තේරුම් කරනු ඇත. මේ මතකයේ අයිතිකාරිය කොළඹ පදිංචිකාරියක වූ ‘ජොඇනා’ය ඇගේ කතාවේ වූ මතක වස්තුව නත්තල් ගසයි. එය කෙටියෙන් මෙසේය.
‘අපි අවුරුද්දේ ආසම කාලය නත්තල් කාලය. අපි නතතල් සැරසිලි අතර, නත්තල් ගහ සැරසීම කරනවා. ඉතින් 2003 අවුරුද්දේ දෙසැම්බරය ළංවුණා. අපි නත්තල් සමරන්න ලකලෑස්ති වුණා. ඒත් ඒ සියල්ල දුක්බර කරමින් ආරංචියක් ආවා ගංගොඩවිල සෝම හාමුදුරුවෝ අපවත් වුණා කියල. ඉතින් බෞද්ධ කාන්තාවක් වුණු මගෙ අම්ම දුක් වුණා. ඒ හැඟීමට ගරු කරපු නිසා ඒ අවුරුද්දේ අපි නත්තල් සැරසීම නොකර හිටිය. ඒ අවුරුද්දේ අපි පල්ලි යද්දී හැම තැනම කහ කොඩි දකින්න තිබුණේ. පිට රටවල හිම වැටුණු නත්තලට කීවේ වයිට් ක්‍රිස්මස් හෙවත් සුදු නත්තල කියලා. ඉතින් අපි මුළු රටම කහ කොඩිවලින් සැරසුණු නත්තලට යෙලෝ ක්‍රිස්මස් හෙවත් කහ නත්තල කිව්වා.’
තවත් කතාවක් නම් ‘හම්බන්තොට කාන්තාවක් මුස්ලිම් කාන්තාවක් විසින් කියන ලද්දකි. දවසක් එප්පාවල පැත්තේ ගමක ගැහැනු කෙනෙක් වන්දනා නඩයක් එක්ක වන්දනාවේ ඇවිත් අතර මගදී ඒ බස් එකේ හිටපු අම්ම කෙනෙක් මගහැරිලා. එයා අතරමංවෙලා ඉද්දි මගෙ මහත්තයා එයාව මෝටර් සයිකලේ නග්ගගෙන බස් එක පස්සෙන් ගිහින් බස් එක නතර කරලා එයාවේ නඩේට භාර දුන්නා. ඒ වෙලාවේ ඒ ගැහැන කෙනා ස්තුති කිරීමක් විදියට එයාගේ සාරියේ ගහලා තිබුණු අලි පැටියෙක් හොf`ඩ් උස්සගෙන ඉන්න රූපයක් තියන රිදී සාරි කටුව මගෙ මහත්තය අතට දීලා තිබුණා. මහත්තයා ඒක ගෙනත් අපේ අවුරුදු තුනේ දුවට දුන්න. එයා ඒ කටුවට හරිම ආසයි. හැමදාම එයා ඒක ඇඳුමේ ගහගෙන හිටිය. එදා සුනාමි දවසෙ මගෙ දුවත් මුහුදට ගියා. මම ඒකෙන් පිස්සු වැටුණා. දුවගේ නම කියා කියා වැල්ලේ ඇවිද ඇවිද හිටියා. දවසක් මම එහෙම අඬ අඬා වැල්ල පහුරු ගහනකොට අතට යමක් අහු වුණා. ඒක මම අතට අරන් බලන කොට ඒ අර දුවගේ රිදී සාරි කටුව. ඒක මගෙ දුව මට සමාව දෙන්න එව්වා දෙයක් කියල මට හිතුණා. මගෙ ඔළුව හොඳ නැති ගතියත් ඒකෙන් අඩුවුණා…’
මෙවන් කතා සියගණනක් මේ සංචිතය තුළ නැංගුරම්ලා ඇත. මේ සියලු මතක සංචිත දෑසින් බලන්නට සේම හඬ පාට ආශ්රයෙන් මෙම ස්ථානයේදීම අසන්නට ලැබීමද වරප්‍රසාදයක් ලෙස දැක්විය හැක. සිංහල දෙමළ මුස්ලිම් මෙන්ම තවත් ජාතීන් රැසකගේ මතක අකුරුබවට පත්කළ නොහැකි හැගීම් සමුදායකට පාර කැපීමය.
මේ පොතේ ඇති කතා ප්‍රමාණය සියය ඉක්මවා ඇත. මෙම කාර්යයේ බර කරට ගත්තවුන්ගේ අදහස නම් කාලයෙන් කාලයට මේ කතා සියය කොටස් ලෙස ප්‍රදර්ශනය කිරීමය. එහෙන් නොමිලේම ප්‍රදර්ශන කෙරෙන කෞතුකාගාරය විටින් විට නැරඹීමේ වගකීම ඔබට භාරය. ගල්ගැසුණු මතක වෙනුවට හුස්ම ගන්නා මතක අවදි කරන්නට කොළඹ මහජන පුස්තකාලය තම ඉඩ කොටසක් පරිත්‍යාග කොට ඇත. කොළඹ මහා නගර සභාව හා මහජන පුස්තකාලය, බ්රසල්ස්හි යුරෝපා එකමුතුව, බර්ලින්හි ජර්මානු ෆෙඩරල් විදෙස් කාර්යාලය, කොළඹ යුමා පදනම, අධිකරණ අමාත්‍යාංශය එහි බර දරන්නන්ය. එය ඔබට වඩා ඔබේ කුඩා දරුවාට සංවේදී බවෙහි චුම්බක බලය තිලිණ කරනු ඇත. පාසල් අධ්‍යාපන චාරිකාවේ එක් පැය භාගයක් මේ වෙනුවෙන් කැප කළ හැකිනම් ගුරුවරුන් ලෙස ඔබ ගරුකටයුතු තීරණ ගන්නෙක් වනු ඇත. ඒ සියල්ල අවසන සාමකාමී ලොවකට පියාපත් පළඳන්නට මේ ‘මතක’ මංජුසාව පාවඩ එළනු ඇත.

සඳරැසී සුදුසිංහ
[email protected]










