එම්.සී.සී ගිවිසුම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27 (02) යටතේ ආණ්ඩුවෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.
එම ප්‍රශ්න මෙසේය.
මැතිවරණ සමයේදී ජනතාවට පොරොන්දු වූ පරිදි මෙම ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්ෂේප නොකොට එය සමාලෝචනය කරමින් සිටීමට බලපෑ හේතු මොනවාද?
එම්. සී. සී. ගිවිසුමේ අඩංගු ශ්‍රී ලංකාවට අහිතකර කොන්දේසි මොනවාදැයි රජය විසින් නිශ්චිතව හඳුනාගෙන තිබේද? එසේ නම් ඒ මොනවාද?
එසේ අහිතකර කොන්දේසි හඳුනාගෙන ඇත්නම් එම අහිතකර කොන්දේසි ඉවත් කොට ගිවිසුම සංශෝධනය කිරීම සඳහා එම්.සී.සී ආයතනය සමග රජය සාකච්ඡා පවත්වා තිබේ ද? එසේ නම් එම සාකච්ඡාවල ප්‍රතිඵල රජය විසින් මෙම සභාව හමුවේ තබන්නේ ද?
සංශෝධනවලින් අනතුරුව හෝ මෙම ගිවිසුම අත්සන් කිරීමට රජය අපේක්ෂා කරන්නේද?
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් සංයුක්ත ගිවිසුම පසුගිය ජනාධිපතිවරණ සමයේ ප්‍රධානතම මාතෘකාවක් බවට පත් වූ අතර එය අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරන බවට වර්තමාන රජය නියෝජනය කරනු ලබන පාර්ශ්වයන්ගෙන් ප්‍රකාශ විය. කෙසේ වුවද, ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව රජය විසින් එම ගිවිසුම සමාලෝචනය කිරීමට සූදානම් බව ප්‍රකාශ වූ අතර එම්.සී.සී යෝජනා සමාලෝචනය කිරීම සඳහා කමිටුවක් ද පත් කරන ලදී.