හිටපු විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාරගේ සොහොයුරා වන තිසර ඉරෝෂණ නානායක්කාර විදෙස් රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 657 ක් වංචා කර තිබෙන බව මෙතෙක් කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (06 වැනිදා) දන්වා සිටියේය.Sri Lanka Latest News
මෙම සිද්ධියට අදාළ නඩුව ගම්පහ මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා හමුවේ ඊයේ කැඳවූ අවස්ථාවේදී සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර නොතිබුණි. සැකකරු වෙනත් නඩුවකට ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ගොස් තිබීම හේතුවෙන් එලෙස බන්ධනාගාරය මගින් ඔහු ඉදිරිපත් කර නොතිබුණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද ජයසුන්දර විමර්ශනයේ ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් මෙසේ පැවැසීය. මෙම සැකකරුට එරෙහිව ප්‍රකාශ ලිවිය නොහැකි මට්ටමින් දිනපතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ලැබෙමින් පවතිනවා. මේ වන විට පැමිණිලි 37 ක් ලැබී තිබෙනවා. නවසීලන්තය, ඔස්ටේ්‍ර ලියාව, ෆින්ලන්තය, කැනඩාව, ඊශ්‍රාලය ආදී රටවල් 20 කට ආසන්න සංඛ්‍යාවකට විදේශ රැකියා සඳහා යවන මුවාවෙන් මෙම මුදල් වංචාව සැකකරු විසින් සිදුකර තිබෙනවා.
සැකකරුට එරෙහිව ලැබී ඇති පැමිණිලි ගැන අධ්‍යයනයේදී දැනට සිදුවී ඇති වංචාව රුපියල් හය කෝටි පනස් හත් ලක්ෂයකට වැඩි බවත් අනාවරණය වුණා. සැකකරුගේ වංචාවට වැඩිපුරම ලක්වී ඇත්තේ රාජ්‍ය නිලධාරීන් බව ද අනාවරණය වුණා. සැකකරුට එරෙහිව තවදුරටත් විමර්ශන සිදු කරන හෙයින්, ඔහුට ඇප ලබාදීම කෙරෙහි විරෝධය පළකරනවා. සැකකාර තිසර නානායක්කාර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හස්තික දේවේන්ද්‍ර කරුණු ඉදිරිපත් කරමින් මෙසේ පැවැසීය.
මෙම සිද්ධියට අදාළ පැමිණිලිකරුවන්ගෙන් මාගේ සේවාදායකයා මුදල් ලබාගත් බව සත්‍යයක්. නමුත් එම මුදල් ඩුබායි රාජ්‍යයේ සිටින කාන්තාවකට යවා තිබෙනවා. මාගේ සේවාදායකයා පොරොන්දු වූ පරිදි රැකියා අවස්ථා ලබාදීමට නොහැකි වුණා. නමුත් මේ වන විට එම මුදල් මාගේ සේවාදායකයා සතුව නැහැ. එම නිසා ඕනෑම කොන්දේසියක් යටතේ මාගේ සේවාදායකයා ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටිනවා. එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරිය, සැකකරු මෙම මස 17 වන දින තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කළාය.









