ඓතිහාසික මිහින්තලේ රජමහා විහාරස්ථානයට අයත්, අනුලා චෛත්‍යය ප්‍රතිසංස්කරණය කිරීමට අදාළව බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා සහ හිමිනමක අතර ඇති කරගෙන ඇතැයි කියන දස වසරක ගිවිසුම අවලංගු කරන ලෙස තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහ නාහිමියෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් කරති. Sri Lanka Latest News
ලක්දිව භික්ෂුණී ශාසනයේ ආරම්භක ස්ථානය ලෙස සැලකෙන ඓතිහාසික වටිනාකමකින් යුත් මිහින්තලේ අනුලා සෑය මිහින්තලා විහාරස්ථානය යටතේ පාලනය වන විහාරස්ථානයක් බවත්, එහි භාරකාරත්වය මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණ වැවේ ධම්මරතන හිමියන් යටතේ පවතින බවත් මෙම ලිපියෙන් දක්වා ඇත.
එහෙත් මහානායක හිමිවරුන්ගේ හා මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන්ගේ අනුදැනුමකින් තොරව එම අනුලා සෑය සංවර්ධනය කිරීම සඳහා බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා සහ වෙනත් හිමිනමක සමග දස වසරක ගිවිසුමකට ගොස් ඇති බවත් මහානායක හිමියන්ගේ ලිපියේ සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් කරුණු සොයාබලා එම ගිවිසුම අවලංගු කිරීමටත් එහි සංවර්ධන කටයුතු මහානායක හිමිවරුන්ගේ සහ මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන්ගේ නිසි අනුදැනුම මත විනිවිදභාවයකින් ඓතිහාසික උරුමය ආරක්ෂා වන පරිදි කිරීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙසට මල්වතු මහා නාහිමියන් ජනාධිපතිවරයාට යොමුකළ එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.-ලංකාදීප