• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උතුරු නැගෙනහිරින් ඡන්ද නෑ! මාලිමාව අන්තිම මොහොතේ උතුරටයි නැගෙනහිරටයි ‘ටාගට්’ දෙයි! ඒත් 10% පන්නගන්න අමාරු තත්ත්වයක්! රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

September 15, 2024
in Exclusive, Rajya Rahas
Reading Time: 16 mins read
A A
උතුරු නැගෙනහිරින් ඡන්ද නෑ! මාලිමාව අන්තිම මොහොතේ උතුරටයි නැගෙනහිරටයි ‘ටාගට්’ දෙයි! ඒත් 10% පන්නගන්න අමාරු තත්ත්වයක්! රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සියලු මතවිමසුම්වලින් සජිත් ඉදිරියට!

අන්තිම සති දෙකේ රනිල් පසුබෑමක!

අරුන්දික නොගෙන ගීතාව සජබෙට ගත්තේ ඇයි?

රංගේ ගැන ලොකු හෙළිදරව්වක් එනවා!

අන්තිම සතියට ආවා

මේ ගෙවෙන්නේ ජනාධිපතිවරණයේ තීරණාත්මක අවසන් සතියය. මේ වනවිට ප්‍රධාන අපේක්ෂකයන් හතර දෙනාම තමන්ගේ අතේ ඇති අවසන් දේශපාලන තුරුම්පු එළියට අදින ආකාරයක් දැකගන්නට තිබේ. එමෙන්ම අපේක්ෂකයන් සියලු දෙනාම පාහේ සිය අවධානය යොමුකොට ඇත්තේ ප්‍රධාන ආයතන සහ ඔත්තු සේවා විසින් ලබාදී ඇති අවසන් ප්‍රතිඵලයන්වල පුරෝකථනයන් දෙසටය. පසුගිය මාස කිහිපය පුරාම ‘රාජ්‍ය රහස්’ තීරය දැඩි වගකීමකින් යුක්තව මෙම සමීක්ෂණ වාර්තාවන් මගින් පුරෝකථනය කර ඇති ප්‍රතිඵල පිළිබඳ අනාවරණ කිරීම් සිදුකළෙමු. Sri Lanka Latest News

සාමාන්‍යයෙන් වෙනදා නම් මෙවැනි මත විමසුම්වල ප්‍රතිඵල නිකුත් කරද්දී එය අභියෝගයට ලක්කරමින් යම් යම් පිරිස් කෑකොස්සන් ගැසුවද, පසුගිය මාස කිහිපය පුරා ‘රාජ්‍ය රහස්’ තීරයෙන් අප පළකළ මත විමසුම් ප්‍රතිපල සම්බන්ධයෙන් කිසිවකුත් අභියෝග කරන්නට ආවේ නැත. එම ප්‍රතිඵල අසත්‍යයක් යැයි කියන්නට කිසිවකුත් උත්සාහ කළේද නැත. මන්ද යත් අප එම මත විමසුම්වල ප්‍රතිඵල ඉදිරිපත් කළ මූලාශ්‍රයන් ඉතා ශක්තිමත් වීම ඊට හේතුවය.

පසුගිය මාස කිහිපය පුරා අපගේ ‘රාජ්‍ය රහස්’ තීරය අධ්‍යයනය කරන ඕනෑම අයකුට අප එම මත විමසුම් උපුටා ගත් මූලාශ්‍රයන් පැහැදිලිවම අනාවරණය කළෙමු. ඉන් එකක් වූයේ ඔත්තු සේවාවන් විසින් සතිපතා ලබාදෙන මත විමසුම් ප්‍රතිඵලය. අනෙක් මූලාශ්‍රය වූයේ මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ, බහුජාතික සමාගම්, තානාපති අංශ පමණක් නොව, ජාත්‍යන්තරය පවා පිළිගන්නා අත්දැකීම් සහිත කීර්තිමත් මත විමසුම් සිදුකරන ආයතනයක් මගින් නිකුත් කරනු ලැබ තිබූ මත විමසුම්වල ප්‍රතිඵලයන්ය.

මූලාශ්‍රයන් මෙන්න

ඒ අනුව එම මූලාශ්‍රවලින් අනාවරණ කර තිබූ ප්‍රතිඵල අප ජනතාවට ලබාදෙද්දී තවත් යම් යම් පිරිස් විවිධ කොන්ත්‍රාත්තු මත අතේ රෝල් මත විමසුම් රටට ඉදිරිපත් කරන ආකාරයක්ද දැකගත හැකි විය. ඇතැම් දේශපාලන පක්ෂ පවා මෙම අතේ රෝල් මත විමසුම් ඔවුන්ගේ අතට ගෙන තම අපේක්ෂකයා ජයග්‍රහණය කර ඇති බව කියමින් වේදිකාවල අදහස් දැක්වූ ආකාරයක්ද දැකගත හැකි විය. නමුත් ඒ සියල්ලක්ම පට්ටපල් බොරු මත විමසුම් බව සාක්ෂි උදාහරණ සහිතවම අපි මෙම තීරුවෙන් පෙන්වා දුන්නෙමු. අප හෙළිදරව් කළ ඔත්තු සේවා නිකුත් කළ සමීක්ෂණ වාර්තා සකස් කරනු ලබන්නේ දිනපතාම රට වටෙන්ම ලැබෙන තොරතුරු පදනම් කරගෙන ඒවා විශ්ලේෂණය කිරීමෙන් අනතුරුවය. මත විමසුම් විෂය සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් ඇති විශේෂඥයන් ඊට යොමුකොට තිබීම හේතුකොටගෙන ඒ ලබාදෙන දත්ත වාර්තා අතිශයින්ම නිවැරැදිය.

රටම දන්න ‘පෙපර් කියුබ්’

ඊට අමතරව අප දන්නා ආකාරයට මෙරට ව්‍යාපාරික ආයතන, දේශපාලන පක්ෂ, දේශපාලනඥයන්, තානාපති කාර්යාල, ජාත්‍යන්තර ප්‍රජාව ආදී සියල්ලන්ම පිළිගන්නා ඉතා වෘත්තීයමය ආකාරයේ මත විමසුම් සිදුකරන පෞද්ගලික ආයතනයක්ද තිබේ. ඒ, ‘පෙපර් කියුබ්’ ආයතනයය. මෙම පෙපර් කියුබ් ආයතනය වසර 25ක පමණ කාලයක් තිස්සේ මෙරට විවිධ ක්ෂේත්‍රවල මත විමසුම් සිදුකරන ආයතනයකි. දේශපාලන ක්ෂේත්‍රයේ පමණක් නොව, ව්‍යාපාරික ක්ෂේත්‍රයේද ඔවුහු මත විමසුම් සිදුකොට ඒ ඒ ආයතනවලට එහි ප්‍රතිඵල ලබාදෙති. ඒ සඳහා විශාල මුදලක්ද අයකරන ඔවුන් ජාත්‍යන්තර ප්‍රමිතීන්වලට අනුව මත විමසුම් සිදුකිරීම විශේෂ ලක්ෂණයකි. ඒ අනුව ‘පෙපර් කියුබ්’ ආයතනය මගින් සිදුකොට භාරදෙනු ලබන මත විමසුම්වල ප්‍රතිඵල ඉතා නිවැරැදි බව ක්ෂේත්‍රයේ ඔවුන් ගැන දන්නා සියල්ලන්ගේම මතයය.

ඒ අනුව ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේද අප ඉදිරිපත් කළේ මේ රටේ සියලු දෙනාටම පිළිගත හැකි ආකාරයට මත විමසුම් සිදුකළ ආයතනවල ප්‍රතිඵල මිස එක එක්කෙනාගේ කොන්ත්‍රාත් අනුව, එක එක්කෙනාගේ සල්ලිවලට සිදුකළ මත විමසුම් ප්‍රතිඵල නොවේ. එසේත් නොමැති නම් පාරේ යන අයට මයික් එකක් දික්කොට ‘ඔයා ඡන්දේ දෙන්නේ කාටද?’ යනුවෙන් අසමින් සිදුකරනු ලැබූ මත විමසුම්වල ප්‍රතිඵල නොවේ. ඒ අනුව තවත් සතියකින් අප ඒ අනාවරණ කළ මත විමසුම්වල ප්‍රතිඵල සහ සැබෑ ඡන්ද ප්‍රතිඵලය අතර ඇති සමානකම් මේ රටේ ජනතාවට වටහාගැනීමට හැකි වනු ඇත.

අවසන් ප්‍රතිපල

ඒ අනුව මෙවර අප අනාවරණ කිරීමට සූදානම් වන්නේ මේ ආයතන සහ ඔත්තු සේවා මගින් නිකුත් කර ඇති අවසන් සමීක්ෂණ වාර්තාවල ප්‍රතිඵලයන්ය. එම ප්‍රතිඵලවලට අනුව පැහැදිලිවම ඉදිරියෙන් සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයය. ඒ අනුව සජිත් 40%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනු ඇති බව එහි සඳහන්ය. අනුර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගය 30%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා සජිත් ප්‍රේමදාස මහතාට වඩා 10%ක් පසුපසින් දෙවැනි ස්ථානයේ පසුවන බව වාර්තා කොට තිබේ. තුන්වැනි ස්ථානයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුවන අතර, ඔහුගේ ඡන්ද ප්‍රතිශතය 7%කි. සිවුවැනි ස්ථානයේ නාමල් රාජපක්ෂ මහතා පසුවන බවත්, ඔහු 7%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනු ඇති බවත් එම ප්‍රතිඵලවලින් අනාවරණ කොට ඇත.
මීට අමතරව දේශපාලනයට බර නැති තවත් ඔත්තු සේවාවකින් සකස් කරනු ලැබූ බව කියන ප්‍රතිඵලයක්ද මේ වනවිට ‘රාජ්‍ය රහස්’ තීරය වෙත ලැබී තිබේ. ඊට අනුව සජිත් 38%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනු ඇති බවත්, අනුර 28%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනු ඇති බවත් අනාවරණ කොට ඇත. රනිල් 10%ක්ද, නාමල් 7%ක්ද ලබාගනු ඇති බවද එහි අනාවරණ කොට ඇත.

නිහඬ ඡන්ද නාමල්ටද?

කෙසේ වෙතත් මේ සියලු මත විමසුම්වලට යම් තාක් දුරකට හසු නොවූ තවත් ගුප්තමය තත්ත්වයක් මතුව ඇති ආකාරයක්ද මෙම ජනාධිපතිවරණයේදී දැකගැනීමට පුළුවන. ඒ, නාමල් ලබාගන්නා ඡන්ද ප්‍රතිශතය සම්බන්ධයෙන් තවමත් නිශ්චිත ගණනය කිරීමකට ලක්ව නොමැති නිසාය. මන්ද යත් ගම් මට්ටමෙන් බොහෝ දෙනාගෙන් ජනාධිපතිවරණය පිළිබඳ විමසද්දී ඔවුන් පෙන්වා දෙන්නේ මෙතෙක් පොහොට්ටුවට ඡන්දය භාවිත කළ විශාල පිරිසක් දැඩි නිහඬතාවක සිටින බවය. ඔවුන් තමන් ඡන්දය භාවිත කරන්නේ කාටද යන්න පිළිබඳ කිසිදු ආකාරයකට ප්‍රසිද්ධියේ සඳහන් නොකරන බවය. ඒ සඳහා බලපා ඇති ප්‍රධාන හේතුවක් වන්නේ සමාජය ඇතුළේ නිර්මාණය වී ඇති මතය හේතුවෙන් ගෝඨාගේ ආණ්ඩු කාලය සහ අරගලය හේතුවෙන් පොහොට්ටු සාමාජිකයන් දැඩි නිහඬතාවක සිටීමය. ඒ නිසා නාමල්ගේ ඡන්ද පදනම හඳුනාගැනීම සම්බන්ධයෙන් බොහෝ දෙනාට මේ වනවිට බරපතළ ගැටලුවක් මතුව තිබේ. මේ හේතුවෙන් ඇතැම් විටෙක කිසිවකුත් නොසිතන ඡන්දයක් නාමල්ට වැටීමේ ඉඩකඩක්ද නැතුවා නොවේ. තවමත් ගම්වල මහින්දට ආදරය කරන විශාල පිරිසක් සිටීම ඊට හේතුවය. එසේ වුවහොත් බොහෝ දුරට තුන්වැනි ස්ථානයේ සහ හතරවැනි ස්ථානයේ යම් වෙනසක් දැකබලා ගැනීමට හැකි වනු ඇත.

දිස්ත්‍රික්ක 8ක් කරට කර

මීට අමතරව මේ අවසන් අදියරේදී සිදුකරනු ලැබූ මත විමසුම්වලින් දිස්ත්‍රික්ක කිහිපයක අවසන් ප්‍රතිඵලවල යම් යම් වෙනස්කම් සිදුවීමට ඉඩ ඇති බවක්ද අනාවරණ කොට තිබේ. ඊට අනුව පසුගිය සති කිහිපයක් තිස්සේ මාලිමාවට රැල්ල තිබූ කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුර, පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල අවසන් සති දෙක තුළ සිදුවූ යම් යම් වෙනස්කම් හේතුකොට ගෙන පොළොන්නරුවේ සජබයට යම් වාසිසහගත තත්ත්වයක් මතුව ඇති ආකාරයක් වාර්තා කොට ඇත. ගාල්ලේ සජබය හා මාලිමාව අතර ඇත්තේ 50% – 50% තරමේ කරට කර සටනකි. ගම්පහ සහ කළුතරද මේ වනවිට සජබය හා මාලිමාව අතර 50%-50% කරට කර යන සටනක් මතුව ඇති බව වාර්තා කොට තිබේ. මෙම දිස්ත්‍රික්කවල පසුගිය සති දෙක ඇතුළත සජිත් ශීඝ්‍ර වර්ධනයක් අත්කොට ගෙන තිබීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බව එහි සඳහන් කොට ඇත.

කොළඹ දිස්ත්‍රික්කය ගතහොත් කොළඹ මහ නගර සභාවට අයිති බලප්‍රදේශ වන මැදකොළඹ, උතුරු කොළඹ, දකුණු කොළඹ, බටහිර කොළඹ, නැගෙනහිර කොළඹ සහ බොරැල්ල, දෙහිවල – ගල්කිස්ස, කොළොන්නාව සජිත්ට අතිශයින්ම වාසිසහගතය. නමුත් කැලණිවැලි මිටියාවත නියෝජනය වන කඩුවෙල, මහරගම, හෝමාගම, කැස්බෑව, අවිස්සාවේල්ල යන ආසන මාලිමාවට බරය. වැඩිපුර ඡන්දදායකයන් පිරිසක් සිටින්නේ එම ආසන කිහිපයේය. නමුත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකේම මේ වනවිට මාලිමාව සහ සජිත් අතර කරට කර සටනක් මතුව ඇති ආකාරයක් දැකගන්නට පුළුවන.

යාපනය කාටද?

දකුණේ මෙවැනි තත්ත්වයක් දැකගන්නට ලැබෙද්දී උතුරේ තත්ත්වය මීට හාත්පසින්ම වෙනස්ය. විශේෂයෙන්ම යාපනය ගතහොත් එහි ඇත්තේ සජිත් සහ රනිල් අතර දෙකොන් සටනකි. ඇතැම් විට යාපනයෙන් සජිත් ජයග්‍රහණය කළ හැකි බවත්, ඇතැම් විට රනිල් ජයග්‍රහණය කළ හැකි බවත් එම මත විමසුම්වලින් කියැවෙන තොරතුරක් වී තිබේ.

කෙසේ වෙතත් මාලිමාව පසුගිය කාලය ඇතුළත සිය ඡන්ද ප්‍රතිශතය 23% සිට 33% දක්වා ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කොට ඇති බවක් මෙම මත විමසුම් ප්‍රතිඵලයන් නිරීක්ෂණය කරන විට දැකගන්නට ලැබෙන කරුණකි. එමෙන්ම මෙහිදී වටහාගත හැකි තවත් විශේෂ කරුණක්ද තිබේ. ඒ, ඕනෑම මැතිවරණයකදී යම් අපේක්ෂකයකුට හෝ පක්ෂයකට යා හැකි ඉහළම මට්ටම හෙවත් ‘පීක් එක’ යනුවෙන් තැනක් ඇති බවය. ඒ අනුව මාලිමාවේ ‘පීක් එක’ හෙවත් ඉහළම තැන වී ඇත්තේ මේ 33% ඡන්ද ප්‍රතිශතයය. මොන විපර්යාසයන් කළද ඒ 33% ඉක්මවා යෑමේ හැකියාවක් මාලිමාවට නැති බව එහ දක්වා තිබේ. නමුත් සජිත්, රනිල් සහ නාමල් තවමත් තමන්ගේ උච්චම ස්ථානයන්ට ළඟාවී නොමැති අතර, අවසන් සතියේදී ඔවුන් විවිධ උපායන් හරහා තම අවසන් ස්ථානයන් තහවුරු කරගනු ඇති බව එහි සඳහන්ය.

සජිත්ට හෝදගෙන එනවා

මීට අමතරව මෙම සමීක්ෂණවල දැකගන්නට ලැබෙන තවත් පොදු කාරණාවක් වන්නේ තවමත් තීරණය කොට නොමැති ඡන්ද ප්‍රමාණය 10% දක්වා පහළ බැස තිබීමය. ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ වෙද්දී මෙම ප්‍රතිශතය 35%ක් පමණ වූ ඉහළ අගයක් ගත් අතර, මේ වනවිට එය 10%ටත් වඩා අඩු ප්‍රමාණයක් දක්වා පහත බැස තිබීම විශේෂ සිදුවීමකි. එමෙන්ම සමීක්ෂණවලට අනුව මහනුවර, අම්පාර, ත්‍රිකුණාමලය, මඩකළපුව, වන්නි, මන්නාරම, නුවරඑළිය යන දිස්ත්‍රික්ක විශාල පරතරයකින් යුතුව සජිත් ජයග්‍රහණය කරනු ඇති බවද අනාවරණ කොට ඇත. එසේ වුවද තවමත් කිසිදු අපේක්ෂකයකු 50% ඉක්මවා ඡන්ද ප්‍රතිශතයක් ලබාගනු ඇති බව වාර්තා කොට නොතිබීම මෙහිදී දැකගන්නට ඇති විශේෂිතම සිදුවීමය. ඒ අනුව දෙවැනි මනාපය ගණන් කිරීමේ අවස්ථාවකට යෑමට ඇති ඉඩකඩ බොහෝ වැඩිය. නමුත් 50%ක ඡන්ද ප්‍රතිශතය ගැනීමට ආසන්නම අවස්ථාව හිමිව ඇත්තේ වෙන කාටවත් නොව සජිත්ටය.

විවිධ පිළිගත් ආයතන සහ ඔත්තු සේවා මගින් සිදුකර ඇති මත විමසුම්වල ප්‍රතිඵලයන් ඔය ආකාරයය. යම් අවදානමක් ගෙන හෝ අප මෙම මත විමසුම්වල ප්‍රතිඵලයන් ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ නිරතුරුවම ගෙනහැර දැක්වූයේ පසුගිය වසර 25ක් තිස්සේ මැතිවරණ සම්බන්ධයෙන් ඒ ආයතනයන් විසින් සිදුකළ මත විමසුම් ප්‍රතිඵල සහ අවසන් ප්‍රතිඵල අතර බොහෝ සමානකම් පැවැතීම නිසාය. එම ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසිවකුත් වාද විවාද නොකරන්නේත්, තර්ක විතර්ක නොකරන්නේත්, දේශපාලන පක්ෂ මෙන්ම දේශපාලනඥයන්ද, තානාපති කාර්යාලද මේ මත විමසුම් ප්‍රතිඵල සම්බන්ධයෙන් බොහෝ දුරට දැනුවත්ව සිටීම නිසාය. නමුත් ඡන්දදායකයන්ගේ බුද්ධි මට්ටම් එක එක ස්ථරවල තිබීම නිසා මෙම අපේක්ෂිත මත විමසුම් ප්‍රතිඵලයන් පිළිගැනීම හෝ නොපිළිගැනීම සිදුවේ. නමුත් මේවායේ සත්‍ය අසත්‍යතාව හරියටම තවත් දින 7කින් තහවුරු කරගැනීමට පුළුවන.

රැල්ලක් හදපු විදිහ

මෙහිදී මාලිමාව සම්බන්ධයෙන් අවතක්සේරු කිරීමක් කිසිසේත්ම කළ නොහැකිය. මන්ද යත් රට ඇතුළේ මේ වනවිට ඔවුන්ට යම් රැල්ලක් නිර්මාණය වී තිබීම නිසාය. ඒ නිසා බොහෝ දෙනාට කොහේ ගියත් අසන්නට ලැබෙන්නේ ‘අපි නම් මාලිමාවට, අපි නම් මාලිමාවට’ යැයි කියාය. මේ නිසාම බොහෝ දෙනා සිතන්නේ මාලිමාව ඉහළින්ම ජයග්‍රහණය කරනු ඇතැයි කියාය. ඒ හේතුවෙන්ම මේ දිනවල සමාජ මාධ්‍යවල යම් කණ්ඩායමක් අන් මත නොඉවසමින් ඉතා දරුණු ආකාරයට අනෙකුත් පාර්ශ්වයන්ට ප්‍රතිචාර දක්වන අයුරු දැකගන්නට තිබේ. විශේෂයෙන්ම මාලිමා විරෝධී ප්‍රකාශයක් හෝ ඡායාරූපයක් හෝ පෝස්ට් එකක් පළකළහොත් ඊට එරෙහිව හතර වටින්ම එකවර ප්‍රහාර එල්ල වන ආකාරයක් දැකගන්නට පුළුවන. ඇතැම් විටකදී ඉතා සංවිධානාත්මක දරුණු ආකාරයේ රළු ප්‍රතිචාර දැක්වීමක්ද මෙහිදී දැකබලා ගැනීමට හැකිය. එය බොහෝ දුරට ෆේස්බුක් ත්‍රස්තවාදයක් කරා ඇදීගොස් ඇති ආකාරයක්ද දැකගැනීමට පුළුවන.

මාලිමාව ටාගට් දෙයි

පාක්ෂිකයන් කෙසේ වෙතත් ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය සම්බන්ධයෙන් මාලිමාවේ නායකයන්ට නම් මේ වනවිට යම් අවබෝධයක් තිබීම හේතුවෙන් ඔවුන් මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා යම් යම් සැලසුම් දියත් කරන ආකාරයක් පසුගිය සතියේදී දැකගන්නට හැකි විය. ඒ අනුව ඔවුන් කළේ අම්පාර, ත්‍රිකුණාමලය, මහනුවර, නුවරඑළිය, බදුල්ල, යාපනය යන දිස්ත්‍රික්ක ඉලක්ක කොට ගෙන විශේෂ මෙහෙයුමක් සැලසුම් කිරීමය. ඒ ඒ දිස්ත්‍රික්කවල ඡන්ද ප්‍රතිශතය 10% දක්වා ඉහළ නංවාගැනීමේ ඉලක්කක් පසුගිය සතියේදී මාලිමාවෙන් ඒ ඒ ආසන සංවිධායකවරුන්ට ලබාදීමට කටයුතු කෙරිණි. මීට අමතරව එම දිස්ත්‍රික්කවලට කොළඹින් තවත් කණ්ඩායම් යැවීමටද මාලිමාව පියවර ගත්තේය. ඊට අවශ්‍ය ආකාරයට ප්‍රචාරක ව්‍යාපාරයද සැලසුම් කළේය.

10%ක් ගන්න පුලුවන්ද?

කෙසේ වෙතත් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතින් ඉතා ශක්තිමත් තලයක මාලිමාව සිටියද අපට ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ මෙම දිස්ත්‍රික්කවල 10%ක ප්‍රතිශතයක් හෝ ලබාගැනීම ඔවුන්ට ඉතා අසීරු බවය. මන්ද යත් ඒ පළාත්වල ඡන්දය තීරණය වන්නේ වෙනත් වෙනත් හේතූන් මතය. එම පළාත්වල ජනතාව ඡන්දය ලබාදෙන හේතූන් සහ මාලිමාවේ ප්‍රතිපත්ති අතර ඇත්තේ විශාල නොගැළපීමකි. ඒ අනුව, පසුගිය කාලයේ පැවැති මැතිවරණවලට වඩා මෙම ප්‍රදේශවලින් මාලිමාව යම් ඡන්ද ප්‍රමාණයක් ලබාගත්තද එය 10% ඉක්මවා යා හැකි ඡන්ද ප්‍රමාණයක් නොවනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයය.

රනිල්ට පසුබෑමක්

මේ ආකාරයට සජිත් සහ අනුර තම තමන්ගේ ස්ථානවලට තියුණු සටනක් දියත් කොට තිබියදී පසුගිය සති දෙක තුළ මැතිවරණ ව්‍යාපාරයේ බරපතළම කඩාවැටීම දැකගන්නට ලැබුණේ රනිල්ගේ පැත්තෙනි. ඒ, මැතිවරණ ව්‍යාපාරය අතරදී ජනාධිපතිවරයා ගත් යම් යම් තීරණ සහ ජනාධිපතිවරයා සිදුකළ යම් යම් ප්‍රකාශ මුල්කොට ගෙනය. ඒ අනුව ජනාධිපතිවරයා මෙවර පරාජිතයකු වනු ඇති බව තහවුරු වීමත් සමග ආණ්ඩුව පැත්තෙන් මැතිවරණ ව්‍යාපාරයේ කිසිදු සැලසුම්සහගත බවක් දැකගන්නට ලැබුණේ නැත. එමෙන්ම එහි කිසිදු ගැම්මක්ද තිබුණේ නැත. කොළඹ, යාපනය, ගම්පහ වැනි දිස්ත්‍රික්ක දෙක තුනක් හැරුණු කොට අනෙකුත් කිසිදු දිස්ත්‍රික්කයක ජනාධිපතිවරයාගේ පැත්තෙන් සැලසුම්සහගත මැතිවරණ ව්‍යාපාරයක් ගම් මට්ටමේද දැකගන්නට ලැබුණේ නැත. මේ කඩාවැටීමේ ආරම්භය සනිටුහන් වූයේ මහියංගනයේ පැවැති රැස්වීමකදී ජනාධිපතිවරයාගේ කටින් ‘සජිත් පරදිනවා, අනුර දිනනවා’ යැයි එළියට පැනීමත් සමගය. ඒ හරහා මෙතෙක් ජනාධිපතිවරයා අනුරට හොර රහසේ සහාය දක්වන බවට වූ මතය තහවුරු වූ ආකාරයක් දැකගන්නට ලැබිණි.

එය පසුගිය සතිය වනවිට තවදුරටත් තහවුරු වූයේ අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපතිවරයාගේ පවුලට අයත් මුද්‍රණ ආයතනයකින් මුද්‍රණය කර දී ඇති බවට සජබය පෙන්වා දී තිබීම නිසාය. එමෙන්ම තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර දින රාජ්‍ය නාලිකාවක් මගින් අනුර කුමාරව ගෙන්වා පැය 3කට අධික ගුවන් කාලයක් ඔහුට ලබාදීම හරහාද මෙම රනිල් – අනුර දීගය පිළිබඳ විපක්ෂය විශාල වශයෙන් කතා කරන්නට විය. මේ නිසා මුලින් මුලින් රනිල් – සජිත් එකතු වෙන බවට මාලිමාව පැත්තෙන් ගෙන ගිය මතය අන්තිමට ඔවුන්ටම පාරා වළල්ලක් වී රනිල් – අනුර එකතු වන තරමට කතාව දුරදිග ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි.

ඇතුළේ කචල්

එමෙන්ම ආණ්ඩුව ඇතුළේ අභ්‍යන්තර ගැටුම්ද මේ වනවිට දරුණු අතට පෙරළී තිබේ. විශේෂයෙන්ම ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කෙරෙහි විශ්වාසයක් නොමැති වීම හේතුකොට ගෙන මේ වනවිට රාජ්‍ය අමාත්‍ය තනතුරුවලින් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 9 දෙනකු ඉවත් කිරීමට ජනාධිපතිවරයා පසුගිය සතිය වනවිට කටයුතු කොට තිබිණි. ඒ හරහා ජනාධිපතිවරයා සමග සිටින බව කීවද සැබැවින්ම පොහොට්ටුවේ මැති ඇමැතිවරුන් ජනාධිපතිවරයා සමග සිටිනවාද යන්න පිළිබඳ බරපතළ සැකයක් ජනාධිපතිවරයාට හිතවත් මන්ත්‍රීවරුන් අතර මතුව තිබිණ. මීට අමතරව අනුරට පක්ෂව කළ ප්‍රකාශ හේතුවෙන් ආණ්ඩුව ඇතුළේම යම් යම් ඇමැතිවරුන් පවා ස්ථාන කිහිපයකදීම දැඩි කලකිරීමකින් යුතුව අදහස් ප්‍රකාශ කර ඇති බවක්ද ආරංචිය. ආණ්ඩුව විසින් රට ඇතුළේ ගෙන ගිය අසංවිධානාත්මක මැතිවරණ ප්‍රචාරක කටයුතු සහ විධිමත් අයුරින් ඒවා සම්බන්ධීකරණය නොකිරීම හේතුවෙන් නුදුරේදීම මෙවැනි තත්ත්වයක් මතුවිය හැකි බවට පසුගිය සති කිහිපයේ අප කළ අනාවරණයන් මේ වනවිට තහවුරු වී ඇති බවක් ඒ හරහා දැකගන්නට තිබේ.

7 දැන් 40ක් වෙලා

මීට සති දෙකකට පමණ ඉහතදී තවත් විශේෂ අනාවරණයක් කරමින් අප කියා සිටියේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් 7ක් හොර රහසේම ගොස් බැසිල් හමුවී විශේෂ සාකච්ඡා වටයක් පැවැත්වීමට කටයුතු කොට ඇතැයි කියාය. මේ වනවිට අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මෙම ප්‍රමාණය මේ වනවිට 40 දක්වා ඉහළ ගොස් ඇති බවකි. ඊට ආණ්ඩුවේ සිටින ජ්‍යෙෂ්ඨයන්ද ඇතුළත්ව සිටින අතර, පසුගිය සතිය වනවිට ඔවුන් මහින්දවත්, බැසිල්වත් හමුවී සාකච්ඡා වට ගණනාවක්ම පවත්වා ඇති බව දැනගන්නට ඇත.

බැසිල් උපාය වෙනස් කරයි

කෙසේ වෙතත් මේ වනවිට නාමල්ව ජනාධිපතිවරණ සටනේ තුන්වැනි ස්ථානයට ගෙන ඒමට වඩා බැසිල් සිය උපාය වෙනස් කරමින් ජනාධිපතිවරණයෙන් පසුව එන මහ මැතිවරණය සම්බන්ධයෙන් වැඩි ඉඩක් තබා කටයුතු කරන ආකාරයක් පෙනෙන්නට තිබේ. විශේෂයෙන්ම මෙවර ජනාධිපතිවරණයෙන් කිසිවකුටත් පළමු වටයේදී බහුතර බලයක් ලබාගත නොහැකි වනු ඇති බවට පළව ඇති වාර්තා හමුවේ බැසිල් සැලසුම් කොට ඇත්තේ නව මුහුණු එළියට ගෙන ඊළඟ මහ මැතිවරණයේදී අලුත් පක්ෂයක් ලෙස මහ මැතිවරණයට ඉදිරිපත් වන්නටය. මේ නිසා මේ දිනවල බැසිල් හමුවීමට පැමිණෙන ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ මැති ඇමැතිවරුන්ට බැසිල් දැනුම් දී ඇත්තේ ජනාධිපතිවරණයෙන් පසු මහ ඡන්දය ඉලක්ක කොට යළි පොහොට්ටුවට එක්වන ලෙසටය.

අරුන්දික අතරමං

මෙවැනි වාතාවරණයක් යටතේ පසුගිය සතිය වනවිට බරපතළ ගැටලුවකට මුහුණ දුන්නේ වෙන කවුරුවත් නොව අරුන්දික ප්‍රනාන්දුය. අරුන්දික පාර්ලිමේන්තුවේදී ස්වාධීන වන බව ප්‍රකාශ කළද සජබය හෝ පොහොට්ටුව අරුන්දිකව භාරගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා අද වනවිට අරුන්දික වැටී ඇත්තේ යන එන මං නොමැති තැනකටය. ඒ අතරවාරයේ අරුන්දිකට එරෙහිව මූල්‍ය වංචා චෝදනාවක් මුල්කොට ගෙන පොලිසිය පැත්තෙන් පරීක්ෂණයක්ද ආරම්භ කොට තිබේ. පසුගිය සතියේදී ඔහුගෙන් මේ චෝදනාවට අදාළව පැය 5ක ප්‍රකාශයක් ලබාගැනීමට පියවර ගෙන තිබිණි.
කෙසේ වෙතත් අරුන්දික සජබය සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට පසුගියදා පියවර ගත්තේය. එහිදී අරුන්දික සජබ ජ්‍යෙෂ්ඨයන්ට කියා තිබුණේ මේ වනවිට ආණ්ඩුව ඇතුළේ සිටින මන්ත්‍රීවරුන්ගෙන් 20ක් 25ක් පමණ රනිල් සමග ඉදිරියට යෑමට ගත් තීන්දුව වැරැදි බවට වූ ස්ථාවරයක සිටිනවා යැයි කියාය. අවස්ථාවක් ලබාදෙන්නේ නම් එම මන්ත්‍රීවරු 25 දෙනා සජබය සමග එක්වීමට කැමැත්තෙන් සිටින බවද අරුන්දික කියා සිටියේය. නමුත් සජබය මේ වනවිට සිටින්නේ එන එන සියලු දෙනාම පක්ෂයට එක්කර නොගන්නා බවට වූ ස්ථාවරයකය. ඒ අනුව ආණ්ඩුව ඇතුළේ සිටින මන්ත්‍රීවරුන් 25ක් පමණ එහෙටත් නැති මෙහෙටත් නැති තත්ත්වයකට පත්ව සිටින බවක් ආරංචිය.

ගීතාව ගත්තේ ඇයි?

මේ ආකාරයට අරුන්දිකව සජබයට නොගත්තද පසුගිය සතියේ තවත් විශේෂ චරිතයක් සජබයට එක්කර ගැනීමට පක්ෂ නායකයන් කටයුතු කර තිබිණි. ඒ, වෙන කවුරුවත් නොව ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරියක වූ ගීතා කුමාරසිංහය. එසේ අරුන්දිකව සජබයට එක්කර නොගැනීමටත්, ගීතා සජබයට එක්කර ගැනීමටත් බලපෑ ලොකුම හේතුව වී තිබුණේ ගීතා දේශපාලනයේ සිටියද කිසිදු අවස්ථාවක දූෂණ චෝදනාවලට ලක් නොවූ පිරිසුදු චරිතයක් වීමය. ගීතා ජනප්‍රිය සිනමා නිළියක වුවද ඇයට එදා සිටම දේශපාලන ඉතිහාසයක් තිබිණි. ඇය හැමදාම සිටියේ වාමාංශික දේශපාලනයේ නිරතවය. කාලෙන් කාලෙට වරදාන වරප්‍රසාදවලට, තනතුරුවල එහෙට මෙහෙට පනින කලාකාරයන් වෙනුවට ගීතා හැමදාම සිටියේ වමේ කඳවුර නියෝජනය කරමින් ශ්‍රීලනිපයේය. මේ නිසාම විමල් කුමාර ද කොස්තා, විජය කුමාරතුංග, සුවිනීතා වීරසිංහ වැනි වාමාංශික දේශපාලන කලාකරුවන් අතර ගීතාටද විශේෂ ස්ථානයක් හිමිව තිබිණි. ඇය කෙදිනකවත් යූ.ඇන්.පී. දක්ෂිණාංශික දේශපාලනයක් කළේ නැත. එමෙන්ම ඇය කලාකාරියක වුවද අන් අය මෙන් නොව අතීතයේ සිටම යමක්කමක් තිබූ, ලොකු වත්කමක් තිබූ කලාකාරියක් විය. ඇගේ සැමියා ස්විට්සර්ලන්ත ජාතික ව්‍යාපාරිකයකු වූ නිසාම සැමියාගේ පැත්තෙන්ද ඇයට විශාල ධනයක් හිමිව තිබිණි. එමෙන්ම ස්විට්සර්ලන්ත පුරවැසිභාවයද ඇය සතු විය. නමුත් දේශපාලනය නිසාම ඇය ස්විට්සර්ලන්තය පුරවැසි බව අත්හැරීමට කටයුතු කළාය. ගීතා සජබයට එක්කර ගැනීමේදී සජබ ප්‍රධානීන් බැලුවේ ගීතාගේ මේ ඉතිහාසයය. ඒ නිසාම අවසානයේදී ගාල්ල නියෝජනය කරන ගීතා මහනුවරදී සජබ වේදිකාවට ගොඩවී සජිත්ට සහාය පළකිරීමට පියවර ගත්තාය.

කෙසේ වෙතත් ගීතා මෙම තීන්දුව ගත්තේ වෙන කිසිවක් නිසා නොව ජනාධිපතිවරයා අනුරට සහාය දක්වන බව තහවුරු වීමත් සමගය. විශේෂයෙන්ම සජිත් පරාජයට පත්වන බවටත්, සජිත්ට අනුරව පරාජය කළ නොහැකි බවටත් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය හේතුකොට ගෙන ගීතාට තවදුරටත් ජනාධිපතිවරයා සමග කටයුතු කිරීම තිත්ත වී තිබිණි. මුලින් ජනාධිපතිවරයා ජයග්‍රහණය කරවීමට කොන්දේසි විරහිතව ජනාධිපතිවරයාගේ වේදිකාවට ගොඩවූ ගීතා පසුව සිය ස්ථාවරය වෙනස් කළේ ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයත් සමගය.

අනෙක් පැත්තෙන් ගීතා තම කඳවුරට එක්කර ගැනීමට සජිත්ට බලපෑ තවත් විශේෂ කරුණක්ද තිබිණි. ඒ, සිය පියා ජනාධිපතිවරයා ලෙස කටයුතු කරද්දී කලාව වෙනුවෙන් කළ සේවාව ගීතා විසින් එවකදී පක්ෂ භේදයකින් තොරව අගය කර තිබීමය. එහිදී ඇය සිය වමේ දේශපාලන මතය පසෙකින් තබා රණසිංහ ප්‍රේමදාසගේ මෙහෙවර අගය කළ ආකාරය සජිත්ගේද සිතේ රැඳී තිබිණි. අරුන්දිකව සිය වේදිකාවට ගැනීම ප්‍රතික්ෂේප කරද්දී ගීතාව සිය වේදිකාවට එක්කර ගැනීමට සජිත්ට එයද ප්‍රබල හේතුවක් වී තිබිණි.

අනුරගේ අසනීපය

පසුගිය සතියේදී මාලිමාවේ විශේෂ රැස්වීමක් ගාල්ලේ සංවිධාන කොට තිබූ අතර, එහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් පැමිණීමට නියමිතව තිබුණේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායකය. නමුත් හිටිහැටියේම කොළඹින් ලැබුණු පණිවුඩයකින් කියැවුණේ එදින අනුර ගාල්ලේ රැස්වීමට නොපැමිණෙන බවත්, අනුර වෙනුවට ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා එම හමුව ඇමතීමට කටයුතු කරනු ඇති බවත්ය. මෙම ප්‍රවෘත්තිය ලැබුණු සැණින් සියල්ලන්ම ඊට හේතුව කුමක්ද යන්න සොයා බැලුවත්, ඔවුන්ට ඒ සම්බන්ධයෙන් කිසිදු හේතුවක් සොයාගැනීමට නොහැකි විය. නමුත් අවසානයේදී ඊට බලපා තිබූ හේතුව ඔවුන්ට දැනගන්නට ලැබුණේ රැස්වීමට පැමිණි ටිල්වින් කරනු ලැබූ කතාවෙන්ය. එහිදී ටිල්වින් කියා සිටියේ අසනීප තත්ත්වයක් හේතුකොට ගෙන අනුර කෙටි විවේකයක් ගෙන ඇතැයි කියාය. නමුත් අනුරට වැලඳී තිබූ අසනීපය කුමක්ද යන්න ටිල්වින් කිව්වේ නැත. ඒ නිසා පැමිණ සිටි පිරිසටද මේ සම්බන්ධයෙන් යම් කුතුහලයක් මතුව තිබිණි.
මේ කුතුහලය දෙගුණ තෙගුණ වූයේ පැය 24ක් යෑමට මත්තෙන් සමාජ මාධ්‍යවල පළවූ අනුරගේ අසනීපයට සම්බන්ධ වෛද්‍ය නිශ්චය වාර්තා කිහිපයක් හේතුකොට ගෙනය. පෞද්ගලික රෝහලකින් අනුරගේ නමට නිකුත් කොට තිබූ රෝග නිශ්චය වාර්තාවක පිටපතක් එහි පළව තිබූ අතර, එහි යම් රෝගී තත්ත්වයක් සඳහන්ව තිබූ අතර, ඊට ප්‍රතිකාර ලබාගැනීමට අනුර කටයුතු කොට තිබූ බවද සඳහන්ව තිබිණි. මෙම රෝග නිශ්චය වාර්තාව සත්‍ය එකක්ද, අසත්‍ය එකක්ද යන්න තවමත් තහවුරු වී නැතත්, ඊට සමාජ මාධ්‍යවල විශාල ප්‍රචාරයක් ලැබෙන ආකාරයක් දැකගත හැකි විය.

පසුගිය කාලය පුරාම රනිල්, සජිත්, නාමල් වැනි දේශපාලන නායකයන් ඉලක්ක කරගෙන මෙවැනි ආකාරයේ මඩ ප්‍රචාර විශාල වශයෙන් සමාජ මාධ්‍ය ජාලවල ප්‍රචාරය වුවද ඒවා සම්බන්ධයෙන් ඔවුන් කිසිදු ප්‍රතිචාරයක් දක්වන්නේ නැත. නමුත් ජවිපෙ පැත්තෙන් මෙම සිදුවීම සාමාන්‍ය එකක් ලෙස නොගත් බවක් දැකගන්නට ලැබුණේ පක්ෂයෙන් වහාම ඊට ප්‍රතිචාර දැක්වීමත් සමගය. ඒ අනුව මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කළ මාලිමා නායකයන් කියා සිටියේ මෙය සම්පූර්ණයෙන් සදාචාර විරෝධී කටයුත්තක් බවත්, අදාළ වෛද්‍ය වාර්තා වෙනත් පාර්ශ්වයන්ට ලබාදුන් රෝහල් බලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.

රංගේ ගැන ලොකු හෙළිදරව්වක්

මේ අතර, එජාපයේ ප්‍රබලයකු වූ රංගේ බණ්ඩාර ඉලක්ක කොටගෙන ඉදිරි දින කිහිපය ඇතුළත දැවැන්ත හෙළිදරව්වක් සිදුවීමට නියමිත බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. පසුගිය කාලයේදී රංගේ බණ්ඩාර සම්බන්ධයෙන් විවිධ පුවත් පළවූ අතර ඇතැම් වාර්තාවලින් කියැවුණේ ඔහු එජාප මහලේකම් ධුරයෙන් ඉවත් කොට ඇතැයි කියාය. එමෙන්ම පසුගිය සති දෙක තුළ රංගේ බණ්ඩාර ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වී සිටි බවක්ද දැකගන්නට නොලැබිණි. ඒ සම්බන්ධයෙන් කළ සොයාබැලීම්වලදී දැනගන්නට ලැබුණේ ඔහු සම්බන්ධයෙන් බරපතළ හෙළිදරව්වක් ඉදිරි දින කිහිපය තුළ සිදුවීමට නියමිතව තිබීම හේතුකොට ගෙන රංගේ ප්‍රසිද්ධියේ පෙනීසිටීමෙන් වැළකී ඇතැයි කියාය.

ලොකු ගාණක් කැපුවාද?

පසුගිය අරගල සමයෙන් පසු දේශපාලනඥයන්ගේ ගෙවල් විශාල ප්‍රමාණයක් ගිනිතැබූ අතර, පසුව ඒවාට විශාල වශයෙන් වන්දි ගෙවීමද සිදුව තිබිණි. මෙම වන්දි ලබාගැනීමේදී ඇතැමුන්ට අරගලය ධන උල්පතක් වී තිබූ ආකාරයක්ද දැකගන්නට ලැබිණි. විශේෂයෙන්ම ඇතැම් මැති ඇමැතිවරුන් වන්දි ලබාගැනීමේදී මහජන මුදල් විශාල වශයෙන් වංචා කොට ඇති බවක්ද ආරංචිය. එම වංචාව කොතරම් බරපතළද කියනවා නම් ඒවා කිසිදු ආකාරයේ සමාවක් දිය නොහැකි මට්ටමේ වංචා දූෂණ බව අපගේ හැඟීමය. ඒ අනුව අප මෙම ඉඟිය ලබාදුන්නේ රංගේ බණ්ඩාර සම්බන්ධයෙන්ද මෙවැනි සිදුවීමකට අදාළව ආන්දෝලනාත්මක අනාවරණයක් ඉදිරි දින කිහිපය ඇතුළත සිදුවීමට නියමිතව ඇති නිසාය.

ඊට අදාළ අතිශය රහසිගත ලිපි ගොනුවක් මේ වනවිට විපක්ෂයේ ප්‍රධානියකුගේ අතට පත්ව ඇති අතර, හෙතෙම ජනාධිපතිවරණයට දින දෙක තුනක් තබා එම හෙළිදරව්ව සිදුකිරීමට සූදානමින් සිටින බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ‘රංගේ එජාප මහලේකම්කමින් නෙරපා දැමුවා’, ‘රංගේ එජාපයෙන් පැන්නුවා’ යනාදී වශයෙන් විවිධ පුවත් පළවූයේද මෙම ආන්දෝලනාත්මක අනාවරණය යටගසා ගැනීමේ වුවමනාවෙන් බවද ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට තිබේ.

දෙමළ සන්ධානයේ තීන්දුව

උතුරේ දෙමළ ජාතික සන්ධානය මෙවර ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකරන බව මේ වනවිට අවස්ථා ගණනාවකදී තහවුරු කොට තිබේ. එසේ දෙමළ සන්ධානයට දිගින් දිගටම මෙම කරුණ තහවුරු කිරීමට සිදුවූයේ දකුණේ යම් යම් කණ්ඩායම් සහ යම් යම් මාධ්‍ය විසින් සජිත්ට සහාය පළකිරීමේදී දෙමළ ජාතික සන්ධානය තුළ විශාල මතගැටුමක් මතුව ඇති බවට ගෙන ගිය ප්‍රචාරය හමුවේය. ඔවුන් එහිදී කියා තිබුණේ පක්ෂයේ නායකයා වන මාවෙයි සේනාධිරාජා මෙම තීන්දුවට විරෝධය පළකොට ඇති බවත්, එම හේතුවෙන් නැවත වතාවක් පක්ෂයේ මධ්‍යම කාරකසභාව මේ සතියේ නැවත රැස්වී පක්ෂය සහාය දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කටයුතු කරනවා යැයි කියාය.

කෙසේ වෙතත් දකුණේ මාධ්‍ය වාර්තා කොට තිබූ මෙම පුවතත් සමග දෙමළ සන්ධානය පසුගිය සතියේදී විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කළේය. පක්ෂයේ මහ ලේකම් පී. ධර්මලිංගම් මහතාගේ අස්සනින් යුතුව නිකුත් වූ මෙම නිවේදනයේ සඳහන් වූයේ තවත් සාකච්ඡා කිසිවක් නොමැති බවත්, පක්ෂය දැනටමත් සජිත්ට සහාය දැක්වීමට තීන්දු කළ බවත්, එම තීන්දුවේ කිසිදු වෙනසක් නොමැති බවත්ය.

මීට අමතරව සුමන්තිරන් මහතාද මේ සම්බන්ධයෙන් විශේෂ ට්විටර් පණිවුඩයක් නිකුත් කිරීමට කටයුතු කොට තිබිණි. දකුණේ එක්තරා ප්‍රකට නාලිකාවක පළවූ මෙම අසත්‍ය පුවත උපුටා දක්වමින් සුමන්තිරන් සඳහන් කර තිබුණේ මෙය නොමග යවන සුළු පුවතක් බවත්, පක්ෂය සජිත්ට සහාය දැක්වීමට දැනටමත් තීන්දු කොට අවසන් බවත්ය.

සල්ලි විසි කළේ කව්ද?

මේ අතර, දෙමළ සන්ධානයේ විරෝධය නොතකා උතුරේ සුළු දෙමළ පක්ෂ කිහිපයක් එක්ව පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම පසුපස තිබූ විශේෂ රහසක්ද මේ වනවිට අනාවරණ වී තිබේ. මෙසේ උතුරෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම පසුපස සිටින බව කියැවෙන්නේ උතුරටත්, දකුණටත් හොඳ මුහුණක් පෙන්වාගෙන සිටින එක්තරා දමිළ ව්‍යාපාරිකයෙකි. ඔහුට රූපවාහිනී නාලිකාවක් සහ වෙනත් මාධ්‍ය ආයතන කිහිපයක්ද ඇති බව සඳහන්ය. මෙම ස්වාධීන අපේක්ෂකයා ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදී ඇත්තේ ඔහු විසින් බවත්, ජනාධිපතිවරයාට වාසි වන ආකාරයට උතුරේ ඡන්ද සජිත්ට වැටීම වළක්වාලීමේ අරමුණෙන් එය සිදුකොට ඇති බවත් මේ වනවිට ආරංචිය.

මීට අමතරව දෙමළ සන්ධානයේ ප්‍රධානියකු වන ශ්‍රීධරන් උතුරේ දෙමළ අපේක්ෂකයාට සහාය පළකිරීම සඳහා විශාල වැඩකොටසක්ද මෙම ව්‍යාපාරිකයා විසින් සිදුකොට ඇති බවක් දැනගන්නට තිබේ. ඔහුට අමතරව බාස්කරන් නමැති ප්‍රකට ව්‍යාපාරිකයකුද මෙම මෙහෙයුම පසුපස සිටින බව ආරංචිය.

සජිත්ට ආ පණිවුඩය

පසුගිය සතියේ දේශපාලන ක්ෂේත්‍රයේ රනිල්-අනුර රහස් ගනුදෙනුවක් පිළිබඳ ලොකු සංවාදයක් යද්දී තිරය පිටුපස රනිල් සහ සජිත් එකතු කිරීමේ මෙහෙයුමක්ද දියත් නොවුණා නොවේ. ඊට එජාපය පැත්තෙන් ලොකු උත්සාහයක් දරා තිබුණේ හරීන් ප්‍රනාන්දුය. සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු තරුණ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුටම ඇමතුම් ලබාදෙමින් අනුර ඉදිරියෙන් සිටින බව කියමින් හරීන් සජබ මන්ත්‍රීවරුන් බියවද්දා දෙපාර්ශ්වය එකතු කිරීමට උත්සාහ කළද සජබය එම සියලු ආරාධනා එකහෙළාම ප්‍රතික්ෂේප කිරීමට පියවර ගෙන තිබිණි.

කෙසේ වෙතත් මේ ආකාරයට හරීන්ගේ පැත්තෙන් සජබයට විවිධ යෝජනා එද්දී එකම ආකාරයට තවත් පාර්ශ්ව කිහිපයක් හරහාම එකම ආකාරයේ ප්‍රවෘත්තියක් සජබයට ලැබෙමින් තිබිණි. විවිධ පාර්ශ්වවලින් ලැබුණු එම එකම ආකාරයේ ප්‍රවෘත්තියෙන් කියැවුණේ වෙන කිසිවක් නොව, අනුර මේ වනවිට ඉදිරියෙන් සිටින බවත්, රනිල් සජිත් එකතු නොවුණහොත් අනුර ජයග්‍රහණය කරනු ඇති බවත්ය. මෙම මෙහෙයුම සඳහා විවිධ ව්‍යාපාරිකයන්, විවිධ දේශපාලනඥයන්, මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රධානීන් ඇතුළු ක්ෂේත්‍ර කිහිපයකම පිරිස් උපයෝගී කොට ගෙන තිබෙනු දැකගත හැකි විය. ඒ අනුව අපටද එක්තරා මාර්ගයකින් මෙම පුවත වාර්තා විය. අපට එම තොරතුර ලැබුණු මොහොතේ සැබෑ තොරතුරු දැන සිටීම හේතුකොට ගෙන කට කොණකින් සිනාසී එම තොරතුර බැහැර කිරීමට කටයුතු කළද ඇතැම් පාර්ශ්ව නම් එය හිස් මුදුනින් විශ්වාස කළ ආකාරයක් දැකගත හැකි විය. විශේෂයෙන්ම විවිධ පාර්ශ්ව හරහා සජබයේ ප්‍රාදේශීය මට්ටම දක්වාම මෙම තොරතුර ප්‍රචාරය කොට තිබීම හේතුවෙන් අපටද විවිධ පුද්ගලයන් කතාකොට ඒ පිළිබඳ විමසන්නට පියවර ගෙන තිබිණි.

ඔක්කොම හෙළි කරනවා

ඒ අනුව අපද මෙම එකම ආකාරයේ පුවත විවිධ පාර්ශ්ව හරහා සජබය ඇතුළට ගෙන යෑමේ මෙහෙයුම කුමක්ද, එය පසුපස සිටි පුද්ගලයන් කවුද, එම මෙහෙයුම ක්‍රියාත්මක වුණේ කොතැනින්ද, එම මෙහෙයම සකස් කළේ කවුද, එම තොරතුරු බෙදාහැරීමට කටයුතු කළේ කවුද යනාදිය පිළිබඳ වහාම සොයා බැලීමක නිරත වීමු. ඒ අනුව අපට මෙම මෙහෙයුමේ සියලු අලගිය මුලගිය තැන් සොයාගැනීමට හැකියාව ලැබිණි. ඒ අනුව එය පිටුපස සිටි සියල්ලන් ජනාධිපතිවරණයෙන් පසුව නම්ගම් සහිතව මෙරට ජනතාවට හෙළිදරව් කිරීමට අප සූදානම්ය.

මේ ආකාරයටම අප මීට සති කිහිපයකට ඉහතදී සුදු ඇඳගෙන සමාජය තුළ ප්‍රකට ව්‍යාපාරිකයන් ලෙස පෙනී සිටිමින් හොර රහසේ සිදුකරන ඩීල් පිළිබඳ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ තොරතුරු හෙළි කළෙමු. මේ වනවිට ඔවුන් සම්බන්ධයෙන්ද අපට විශාල වශයෙන් තොරතුරු ලැබෙමින් තිබේ.

මීට අමතරව සජබ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ඇතුළේ ගැටුම් නිර්මාණය කිරීම සඳහා සිදුකළ රහසිගත මෙහෙයුම්වල තොරතුරුද මේ වනවිට අප සතුව තිබේ. විශේෂයෙන්ම අකුරණ වේදිකාවේදී රවුෆ් හකීම් මහතා කතාකරන අවස්ථාවේදී ඒ මහතාට ‘හූ’ තැබීමට සැලසුම් කළේ කවුද, කබීර් හෂීම් මහතාගේ මාවනැල්ල රැස්වීමේදී කලබල ඇතිකිරීමට සැලසුම් කළේ කවුද යනාදී වශයෙන් සියලු තොරතුරු අප සතුව ඇත. ජනාධිපතිවරණයෙන් පසුව ඒ සියලු දෙනාගේම තරාතිරම නොබලා නම්ගම් සහිතව අප මේ සියල්ල හෙළිදරව් කිරීමට කටයුතු කරන්නේ රටට හොඳ මුහුණ පෙන්වාගෙන සිටින ඇතැමුන්ගේ සත්‍ය මුහුණ රටටම පෙන්විය යුතු වීම නිසාය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

ඡන්දෙන් දිනලා ආපු ජනාධිපති කෙනෙක්වත් රනිල් තරම් විධායක ජනාධිපති ධූරය අවභාවිත කළේ නෑ! ගිය අවුරුදු දෙකේම හැමදේටම බෑ බෑ කියලා දැන් ඡන්දෙ ඉල්ලන හින්දා හැමදේම දෙනවා දෙනවා කියනවා! මේ ඡන්දෙන් එයා ගෙදර යන බව දන්න නිසා එයා IMF එකටත් සල්ලි දෙන සයිස් එකෙන් ඉන්නේ! VIDEO I Sri Lanka Latest News

Next Post

ලබන අවුරුද්දේ පෙබරවාරියේ ඉඳන් වාහන ගේන්න දෙනවා කියන කතාව සම්පූර්ණයෙන්ම දේශපාලන වාසි ගන්න කරපු එකක්! ඡන්ද ගුණ්ඩු! විපක්ෂයයි රටේ මිනිස්සුයි විතරක් නෙමෙයි වාහන ආනයනකරුවන්ගේ සංගමයත් ආණ්ඩුව කියපු කතාවට විරුද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.