පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරය ඔස්සේ අප හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඇමෙරිකානු සංචාරය පිළිබඳ තොරතුරු රටට අනාවරණ කළෙමු. එහිදී අප කියා සිටියේ මෙරට ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් හට අවස්ථා කිහිපයකදීම කළ පෙරැත්ත කිරීම්වලින් පසු ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් සමග සාකච්ඡාවක් සංවිධාන කරගැනීමට මෛත්‍රීට හැකිවූ බවකි. එම සාකච්ඡාව මෛත්‍රීට ලැබුණේද රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවීමේ අවශ්‍යතාව කුමක්ද යන්න පිළිබඳ ඇමෙරිකාවෙන් කරනු ලැබූ විමසීමකින් පසුවය. එහිදී මෛත්‍රීපාල දැනුම් දී සිටියේ අලුතෙන් බිහිකිරීමට නියමිත සන්ධානයක් පිළිබඳ තමන්ට ඇමෙරිකානු බලධාරීන් හා සාකච්ඡා පැවැත්වීමට අවශ්‍ය යැයි කියාය. මෛත්‍රීගේ මේ පෙරැත්ත කිරීමෙන් පසුව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සාකච්ඡාවක් මෛත්‍රීට ලබාදුන්නද ඊට ඔවුන්ගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කර තිබුණේ දෙවැනි පෙළ රාජ්‍ය නිලධාරිනියකි. ඒ, ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර නියෝජ්‍ය සහකාර ලේකම් අෆ්රීන් අක්තර් මහත්මියය. එමෙන්ම තවත් හමුවක් මෛත්‍රීපාලට වෙන්කර තිබුණද අවසාන මොහොතේ කිසිදු හේතුවක් නොදක්වාම එය අවලංගු කිරීමටද ඇමෙරිකානු බලධාරීන් කටයුතු කර තිබිණි. අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට මෛත්‍රීපාලගේ දේශපාලන ජනප්‍රියත්වය සම්බන්ධයෙන් ලද අතිශය රහසිගත වාර්තාවක් මුල්කරගෙන එම හමුව ඇමෙරිකානු බලධාරීන් අවසාන මොහොතේ අවලංගු කළා යැයි කියාය.Sri Lanka Latest News
සන්ධානය කොට උඩ!
කෙසේ වෙතත් ඇත්තටම මෛත්‍රී ඇමෙරිකාවට ගොස් එරට දෙවැනි පෙළ නිලධාරීන් සමග සාකච්ඡා කළේ කුමක්ද? මෛත්‍රී කලින් නම් කියා තිබුණේ ජනාධිපතිවරයාට සහාය පළකරන සන්ධානයක් පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට කටයුතු කරනවා යැයි කියාය. නමුත් ඇත්තටම මෛත්‍රී ඇමෙරිකානු දෙවැනි පෙළ බලධාරීන් හමුවී දැනුම් දී තිබුණේ ජනාධිපතිවරයා සමග ගොඩනගන සන්ධානයක් පිළිබඳ නොව, ශ්‍රීලනිපය මුල්කොට ගෙන පිහිටුවන සන්ධානයක තමන් ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග කිරීමට සූදානම් වනවා යැයි කියාය. එමෙන්ම ජනාධිපතිවරයාගේ අඩුපාඩු පෙන්වමින් සහ ජනාධිපතිවරයාගේ නුදුසුසුකම් පමණක් නොව, ආණ්ඩුවේ වැරැදි පවා මෙහිදී මෛත්‍රී ඇමෙරිකානු බලධාරීන්ට දැනුම් දී සිටීමට පියවර ගෙන තිබිණි. එපමණක් නොව ජවිපෙ සම්බන්ධයෙන් බරපතළ විවේචනයක්ද එහිදී මෛත්‍රී ඇමෙරිකානු බලධාරීන්ට සිදුකොට තිබිණි.
මේ ආකාරයට මෛත්‍රී ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ශ්‍රීලනිප සන්ධානයකින් තරග වැදීමට බලාපොරොත්තුවෙන් සිටින තොරතුර තහවුරු වන සිදුවීමක්ද පසුගිය සතියේදී සිදුවිය. ඒ, ශ්‍රීලනිපයේ හිටපු ප්‍රබලයකු වන කුමාර වෙල්ගම මාධ්‍යයට කර තිබූ ප්‍රකාශයක් හරහාය. එහිදී වෙල්ගම කියා තිබුණේ චන්ද්‍රිකාගේ ප්‍රධානත්වයෙන් දේශපාලන සන්ධානයක් බිහිවීමට නියමිතව තිබුණත්, මෛත්‍රීපාලගේ ක්‍රියාකලාපය නිසා එය බිඳවැටී ඇති බවකි. එම සන්ධානයෙන් තමන්ට ජනාධිපති අපේක්ෂකයා වශයෙන් තරග කළ යුතු බවට මෛත්‍රීපාල සඳහන් කර සිටීම නිසා එම සන්ධානය ලත් තැනම ලොප් වී ඇති බවද වෙල්ගම එහිදී සඳහන් කර තිබිණි.