එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 47 වන සැසිවාරය ජිනීවාහිදී අමතමින් එහි කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය විසින් ලංකාවට එරෙහිව තවත් චෝදනාවක් එල්ල කොට ඇත.
එහිදී ඇය සදහන් කොට ඇත්තේ පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් මිය යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවය.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකර වසර දෙකක කාලයක් රඳවා තබා ගැනීමට දැනට පවත්නා නීති අනුව අවසර පවතින බව පෙන්වා දෙන මානව හිමිකම් කොමසාරිස්වරිය පොලිස් අත්අඩංගුවේදී සැකකරුවන් මිය යාම් සම්බන්ධයෙන් ද අදහස් පළ කොට ඇත.
පොලිස් භාරයේදී සිදුවන මියයාම් මෙන්ම පොලීසිය හා අපරාධ කල්ලි අතර ගැටුම්වලදී පුද්ගලයින් මිය යන බවට තමන් නිරීක්ෂණය කර ඇති බවද ඇය ප්‍රකාශ කළාය.
මේ පිළිබද පුළුල් හා ස්වාධීන විමර්ශනයක් පැවැත්විය යුතු බව සදහන් කරන මානව හිමිකම් කොමසාරිස්වරිය ඒ සඳහා රජය සමඟ එක්ව කටයුතු කරන බව කියා සිටියාය.
එමෙන්ම, මෙරට මානව හිමිකම් පිළිබද වාර්තාවක් ලබන සැප්තැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ එහිදී කියා සිටියාය.