මෝටර් රථ ආනයනය කිරීම සඳහා අවසර ලබාදෙමින් ආණ්ඩුව පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනය හරහා වාහන මිලෙහි සිදුවිය හැකි වෙනස්කම් සම්බන්ධයෙන් ආර්ථික විශ්ලේෂක ජයන්ත කෝවිලගොඩගේ මහතා දැක්වූ අදහස් පහත සඳහන් කරමු. Sri Lanka Latest News
මේ ලිපියෙන් අපි විමසා බලන්න සූදානම් වෙන්නේ මෝටර් රථ ආනයනය ලිහිල් කිරීම සඳහා ඉදිරිපත් කරපු ගැසට් එකෙන් පස්සේ මෝටර් රථ වෙළෙඳපළට මොන වගේ වෙනස්කම් ඇතිවෙන්න පුළුවන්ද කියන කාරණාව සම්බන්ධයෙන්. බොහෝ දෙනෙක් මිල වැඩිවෙයි කියලා අදහස් පළකරනවා. නමුත් අපේ අදහස ඊට වඩා වෙනස්. ඔබ ඉතා බුද්ධිමත්ව අපේ මේ අදහස විමසා බලන්න කියලා ආරාධනා කරනවා.
මේ ගැසට් එක බැලුවාම අපට පෙනෙන දේ තමයි වර්තමානයේ ලංකාවේ තිබෙන බොහෝ මෝටර් රථ 2019දී ලංකාවට ආනයනය කරපු ඒවා බව. හැබැයි මේ ගැසට්ටුවත් සමග 2023, 2024, 2025 වගේ අලුත් මෝටර් රථ ලංකාවට ආනයනය කිරීම සඳහා අවස්ථාව ලැබෙනවා. තවමත් හරි හැටි මේ බදු පිළිබඳ අවසන් නිගමනයක් නැති වුණත් අපිට සඳහන් කරන්න පුළුවන් යම් නිශ්චිත කාරණා කීපයක් වෙළෙඳපළේ ඇතිවෙන්න පුළුවන් කියලා.
වෙළෙඳපළට ප්‍රධාන වශයෙන් බලපානවා ඉල්ලුම හා සැපයුම. වෙළෙඳපළේ ඉල්ලුම තීරණය වෙන්නේ ඉහළම ධනවතුන්, මධ්‍යමපාන්තිකයන්, පහළ මධ්‍යමපාන්තිකයන් කියන අය. ඔවුන් තමයි වෙළෙඳපළේ ඉල්ලුම තීරණය කරන කණ්ඩායම. සැපයුම තීරණය කිරීම සඳහා ජපන් මෝටර් රථ පමණක් නෙවෙයි, ඉන්දියාවෙන් සහ චීනයෙන් ගෙන්වන මෝටර් රථ වගේම ලංකාවේ දෙවැනි වෙළෙඳපළේ තියෙන මෝටර් රථත් බලපානවා. බදු වැඩියි තමයි. නමුත් ඒකට දැන් කරන්න දෙයක් නෑ. හැබැයි අපි බලමු මේ දැන් පවතින තත්ත්වයත් එක්ක මොන වගේ වෙනස්කම් ඇතිවෙන්න පුළුවන්ද කියලා.
මේ ගැසට්ටුව බැලුවාම අපට පෙනෙන දේ තමයි සමහර මෝටර් රථ කාණ්ඩ තිබෙනවා දැනට ලංකාවේ දෙවැනි වෙළෙඳපළේ තියෙන මිලට සමානව හෝ ඊට වඩා අඩුවට ලංකාවට ගේන්න පුළුවන්. දැනට ලංකාවේ දෙවැනි වෙළෙඳපළේ තියෙන මෝටර් රථ අවුරුදු 4ක්, 5ක් පැරැණි ඒවා. නමුත් ආනයනය කරන්නේ අලුත්ම මෝටර් රථ. ජපානයේ පාවිච්චි කරපු මෝටර් රථ විදියට ආනයනය කරන්නේ කි.මී. 25,000ක් 30,000ක් දුවපු මෝටර් රථ. ඊට අමතරව ඉන්දියාවෙන්, චීනයෙන් බ්‍රෑන්ඩ් නිව් මෝටර් රථ ගෙන්වන්නත් අවස්ථාව තිබෙනවා. මේ තුළ පැහැදිලිවම මෝටර් රථ පැමිණීමේදී දෙවැනි වෙළෙඳපළ තුළ යම් කිසි මිල අඩුවීමක් සිදුවෙන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඒ මිල අඩුවීම විශාල මිල කඩාවැටීමක් හෝ විශාල මිල අඩුවීමක් නෙවෙයි. හැබැයි සැලකිය යුතු මට්ටමකින් මිල ගැළපීමක් සිදුවෙන්න පුළුවන් කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. මේ මිල ගැළපීම සිදුවෙන්නේ ඇයි කියන එක අපි පැහැදිලි කරන්නම්.
බ්‍රෑන්ඩ් නිව් මෝටර් රථ ලබාගැනීම ඉතා අසීරුයි. ඉතාම විශාල මුදලක් ඒ සඳහා වැය වෙනවා. හැබැයි ඉහළම ධනවතුන්ට හැකියාව තිබෙනවා බ්‍රෑන්ඩ් නිව් මෝටර් රථ මිලදී ගැනීම සඳහා ඉදිරිපත් වෙන්න. ඔවුන් සතුව මුදල් තිබෙන නිසා ඉතාම ඉක්මනින් මේ ඉල්ලුම ඇතිකරලා බ්‍රෑන්ඩ් නිව් මෝටර් රථ මිලට ගැනීමේ හැකියාව ඔවුන්ට තිබෙනවා. බ්‍රෑන්ඩ් නිව් මෝටර් රථ මිලදී ගන්නකොට ඔවුන්ගේ ගෙදර දැනට පාවිච්චි කරපු වාහනයත් තියෙනවා. දැනට පාවිච්චි කරපු වාහනය තිබුණත් ඔවුන්ට අලුතෙන් එස්.යූ.වී. රථ (ඉහළ එන්ජින් ධාරිතාවක් සහිත සුඛෝපභෝගී රථ) මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ සුඛෝපභෝගී රථ සමහරු තමන් ළඟ තිබෙන රථය විකුණලා මිලදී ගන්නත් පුළුවන්. නමුත් අපි හිතනවා ඒක එක වරම කරන්න බැරි දෙයක්. ඒ නිසා තමන්ගේ අතේ තියෙන මුදලින් ඔවුන් ඒ සුඛෝපභෝගී රථය මිලදී ගන්නට පුළුවන්. ඔවුන්ගේ ගෙදර තියෙන මෝටර් රථය මධ්‍යකාලීනව වෙළෙඳපළට පැමිණීමට තියෙන ඉඩකඩ වැඩියි. සමහරු ඒක තියාගන්නත් පුළුවන්. නමුත් වාහන යම්කිසි ප්‍රමාණයක් නැවත වෙළෙඳපළට එන්න ඉඩ තියෙනවා.
මධ්‍යම පන්තිය ගැන කතා කළොත්, ඔවුන් සතුව දැනට එස්.යූ.වී. රථයක් තියෙනවා. හැබැයි ඒ රථය විකුණලා තමයි ඔවුන්ට අලුත් සුඛෝපභෝගී මෝටර් රථයක් මිලදී ගන්න සිදුවෙන්නේ. අලුත් මෝටර් රථයක් මිලදී ගැනීම සඳහා යම්කිසි උත්ප්‍රේරකයක් තිබෙනවා මේ බදු ව්‍යුහය තුළ. මොකද, දැනට තිබෙන මෝටර් රථයට වඩා අලුත්, අඩු කිලෝමීටර් ප්‍රමාණයක් ධාවනය කරපු රථ මේ විදියට ආනයනය කරන නිසා. ඔවුන් තමන්ගේ එස්.යූ.වී. රථය විකිණීම සඳහා උත්සුක වෙන්න පුළුවන් කෙටිකාලීනව සහ මධ්‍යකාලීනව. එතකොට මේ ඉහළ එන්ජින් ධාරිතාවක් සහිත සුඛෝපභෝගී එස්.යූ.වී. රථවල මිල මට්ටම් සැලකිය යුතු ලෙස ඉදිරියේ අඩුවෙයි කියලා අපි හිතනවා. මෙතැන සැලකිය යුතු ලෙස කියන්නේ විශාල කඩාවැටීමක් නෙවෙයි. හැබැයි අපිට හිතෙනවා වැඩිම මිල අඩුවීමක් සිදුවෙන්න පුළුවන් මෙන්න මේ කාණ්ඩයේ. මොකද දැනට බොහෝ වාහන එන්න පුළුවන් මේ අංශයට. එතකොට දැනට භාවිත කරපු අංශයේ වාහනත් මේ දෙවැනි වෙළෙඳපළට එන්න පුළුවන් පවතින මිලට වඩා අඩු මිලකට.
මධ්‍යමපාන්තිකයෙක්ටත් හිතෙන්න පුළුවන් අපිත් මේ වගේ මෝටර් රථයක් මිලදී ගන්න අවශ්‍යයි කියලා. හැබැයි ඒ මිලදී ගැනීම සිදුකරන්න වෙන්නේ තමන් දැනට භාවිත කරන මෝටර් රථය විකුණලා. එතකොට ඒක එක පාරටම කරන්න පුළුවන් දෙයක් නෙවයි. ඒ අනුව මේ මෝටර් රථ වෙළෙඳපළට එනවා. එතකොට ඒවා විකිණීම සඳහා ඉදිරිපත් කිරීම් වැඩි වෙන්න පුළුවන්. ඒ අනුව සැපයුම් අංශය වැඩිවෙන්න පුළුවන්. සැපයුම් අංශය වැඩිවීම තුළත් ඒ මෝටර් රථවල මිල යම්කිසි මට්ටමකින් අඩුවෙන්න පුළුවන්. උදාහරණයක් විදියට වැගන් ආර්, විට්ස්, ඇල්ටෝ රථයක් භාවිත කරපු කෙනකුට තමන් සතුව අතිරික්ත මුදලක් තිබෙනවා නම්, තමන් සතුව දැනට තිබෙන මෝටර් රථය විකුණලා තමන්ගේ අතිරික්ත මුදල හෝ ලීසිං පහසුකම් අරගෙන අලුත් මෝටර් රථයකට යෑමේ නැඹුරුතාව ඇතිවෙන්නට පුළුවන්. හැබැයි 100%ක් සියලු දෙනාම ඒ නැඹුරුතාවට යන්න හැකියාවක් නෑ ආර්ථික අර්බුදයත් එක්ක බොහෝ දෙනකුගේ ආර්ථිකය පසුගාමීභාවයකට ලක්වෙච්ච නිසා. දැනට එවැනි කුඩා මෝටර් රථ භාවිත කරන පිරිසෙන් යම්කිසි පිරිසක් අලුත් මෝටර් රථ මිලට ගැනීම සඳහා ඉදිරිපත් වෙන්න පුළුවන්.
එතකොට ඒ කුඩා මෝටර් රථ, පවතින මිලට වඩා යම්කිසි අඩු මිලකට දෙවැනි වෙළෙඳපළට පැමිණීමේ හැකියාවත් තිබෙනවා. එතකොට යම්කිසි මිල අඩුවීමක් දෙවැනි වෙළෙඳපළේත් සිදුවෙන්න පුළුවන් කියන එක තමයි අපි විශ්වාස කරන්නේ. නැවත නැවතත් සඳහන් කරන්න අවශ්‍යයි, මේ හරහා විශාල අඩුවීමක් සිදුවෙන්න කිසිසේත්ම හේතු නොවන බව. මොකද මේ ඉල්ලුම හා සැපයුම දෙස බැලුවාම අපිට පේන දේ තමයි ඩොලර් බිලියන 1ක් තමයි වැය කරන්නේ. ඩොලර් බිලියන 1 ඇතුළේ තමයි මේ සියලු දේවල් සිද්ධ වෙන්නේ. බ්‍රෑන්ඩ් නිව් විශාල මුදලක් වැයකරන්න පුළුවන් කණ්ඩායම විශාල මෝටර් රථ ප්‍රමාණයක් එක වරම ගෙනාවට පස්සේ කුඩා මෝටර් රථ සඳහා තිබෙන අවකාශය අඩුවෙනවා. එතකොට ඒ අඩුවීම තුළ කුඩා මෝටර් රථවල මිල දෙවැනි වෙළෙඳපළේ අඩුවීම සිදුවිය හැකි වුවත්, එස්.යූ.වී. වගේ සුඛෝපභෝගී රථවල මිල විශාල ලෙස අඩුවීමක් සිදුවෙන්නේ නැහැ කියන එකයි අපේ විශ්වාසය. ඉදිරියේදී මේ ගැළපුම අනිවාර්යයෙන්ම සිදුවේවි. ඒකට හේතුව, අලුත් වාහන තොගයක් ලංකාවට පැමිණීම නිසාම පැරැණි වාහන ඒ මිලටම විකිණීමට හැකියාවක් නොලැබෙන නිසා.
අපිට දැනට තිබෙන තොරතුරුත් සමගයි මේ අදහස් ඔබට ඉදිරිපත් කළේ. ඉදිරි දින කිහිපය තුළ රජය නිශ්චිත වශයෙන්ම මේ බදු ව්‍යුහයන් තුළ නිරාකරණය නොවූ තැන් නිරාකරණය කරගෙන ජනතාවට ඉදිරිපත් කළාට පස්සේ අපිට හරියටම මේ සම්බන්ධයෙන් අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි ඉතාම කෙටි කාලයකදී ලොකු ඉල්ලුමක් නිර්මාණය වෙන්න පුළුවන්. එහෙම ඉල්ලුමක් ඇතිවුණත් මධ්‍යකාලීනව මේ ඉල්ලුම යම් ස්ථාවර මට්ටමකට පැමිණෙන්න පුළුවන්. අපි විශ්වාස කරන්නේ නෑ ආර්ථික අර්බුදයකින් පීඩාවට පත්වෙච්ච ලංකාවේ ජනතාවට විශාල වශයෙන් වාහන මිලදී ගැනීමේ හැකියාවක් මේ නව මිල ගණන් යටතේ තිබේවි කියලා.
විශේෂයෙන්ම ජපන් මෝටර් රථවලට තිබෙන ඉල්ලුම වැඩිවෙලා ඉදිරියේදී ජපානය තුළ වෙන්දේසිවලින් ලබාගන්නා මෝටර් රථවල මිල වැඩිවේවි කියලා යම් අදහසකුත් තිබෙනවා. නමුත් ජපානයේ සැපයුම් ජාලය අපි අවතක්සේරු කිරීම සුදුසු නැහැ. මොකද ඔවුන්ට ඒ හැකියාව තිබෙන බව අපි විශ්වාස කරනවා. අපි පසුගිය දින කිහිපය තුළ ජපානයේ වාහන වෙන්දේසිවලින් විමසීමක් කළා මේ සම්බන්ධයෙන්. ඔවුන් අපිට සඳහන් කරපු දේ තමයි ජපානය තුළ ඒ ඉල්ලුම ලබාදීම සඳහා හැකියාවක් තිබේවි කියන එක. ඒ අනුව බැලුවාමත් අපිට පෙනෙනවා මෝටර් රථ වෙළෙඳපළේ මේ මිල ගණන් කෙටිකාලීනව යම් වැඩිවීමක් වෙන්න පුළුවන්. නමුත් මේක මධ්‍යකාලීනව ස්ථාවර මට්ටමකට පැමිණෙන්න ඉඩ තිබෙන බවත් අවසන් වශයෙන් සඳහන් කරන්න අවශ්‍යයි.
Lanka Business TV යූටියුබ් නාලිකාවෙනි










