ඉන්දියාව ටී20 ලෝක කුසලානය ගත්තා. විවිධ කතා, විවිධ චෝදනා, විවිධ ප්‍රශ්න, විවිධ දේවල් මැද්දේ ඉන්දියාව ප්‍රීති ඝෝෂා පැවැත්වූවා. මුළු ඉන්දියාවම සතුටින් කෑගැහුවා. ක්‍රීඩකයෝ එකිනෙකා බදාගත්තා. ජයග්‍රහණය පිටිපස්සේ හැංගිලා තිබුණු රහස මොකක් වුණත්, ඒ රහස අපි දන්න විදියට ‘කැපවීම’. මේ ක්‍රීඩකයෝ දැක්කම අපිට තේරෙනවා මේ ක්‍රීඩකයෝ කොච්චර කැපවෙනවද කියලා. මේ ක්‍රීඩකයන්ගේ ඇඟවල් දැක්කම අපිට තේරෙනවා මුන් කොච්චර වෙහෙස වෙලාද කියලා. ඇත්තටම රටකට ජයග්‍රහණයක් අවශ්‍ය නම් ඒ රට ඒ වෙනුවෙන් කරන කැපකිරීමට සමානවම ඒ ක්‍රීඩකයොත් කැපකිරීම් කරන්න ඕනේ.Sri Lanka Latest News
සංජු සැම්සන්ගේ කතාව මේකේ තියෙන අතිශය වැදගත් කතාවක්. සංජු සැම්සන් කියනවා ඔහු කිසිම සමාජ මාධ්‍යයක් භාවිතා කරන්නේ නැහැ කියලා. ඔහු ලෝකයේ ඇහෙන කතා අහන්නේ නැහැ, ඒවායින් ඔහුට වැඩක් නැහැ කියලා. මොකද මේ සංජු සැම්සන් කියලා කියන්නේ ඉන්දියාවේ බරපතළ විදියට ප්‍රශ්නවලට ලක්වුණු ක්‍රීඩකයෙක්. ඔහු ඇයි මේ කණ්ඩායමේ ඉන්නේ කියන එක ප්‍රශ්න කරපු ක්‍රීඩකයෙක්. දක්ෂතා අතින් ඔහු ඉතාම පහළට වැටුණා. එක වෙලාවකදී ඔහු ලෝක කුසලානයට එන්න කලින්, ඔහු ක්‍රීඩා කරපු අවසාන තරගයේදී ඔහු අත් ආවරණ පැලඳගන්න ලෑස්ති වෙද්දී ඔහුට ගෞතම් ගාම්භීර් කියනවා ‘ඔයා අත් ආවරණ පැලඳගන්න අවශ්‍ය නැහැ’ වගේ කතාවක්. එදා තරගයේ විකට් රකින්නා බවට පත්වෙන්නේ ඉෂාන් කිෂාන්. ඒ කියන්නේ ඉන්දියාව ඒ වෙලාවේ පෙන්නන්නේ සංජුට තැනක් නැහැ කණ්ඩායමේ. සංජු තවදුරටත් කණ්ඩායමට ඇතුළත් විය යුතු නැහැ. හේතුව ඔහු අසාර්ථකයි. ඔහු පිතිකරුවෙක් විදිහට අසාර්ථකයි. ඒ නිසා කඩුලු රකින්නෙක් විදිහට, පිතිකරුවෙක් විදිහට සාර්ථක වෙන ක්‍රීඩකයෙක්ව එතැනට ගන්න ඕනේ.
ඉෂාන් කිෂාන් ආවේ අහසින්. ඉෂාන් කිෂාන් ඉතාම බරපතළ විදියට කණ්ඩායමේ තැනක් නැතිවෙන තැනට පත්වෙලා, අසාර්ථක ක්‍රීඩකයෙක් බවට පත්වෙලා, ඔහු පළමු පෙළ තරගවල විනාශකාරී ඉනිම් කීපයක් ක්‍රීඩා කරනවා. ඒ දිහා බලාගෙන ඉන්න තේරීම් කමිටුව වහාම ඉෂාන් කිෂාන්ව කණ්ඩායම ඇතුළට දාගන්නවා. ඉන්දියානු කණ්ඩායමේ අපිට පේන්නේ නැහැ ෆේවරේෂන්. ඉන්දියානු කණ්ඩායමේ ගිල් තමයි ඉන්දියාවේ ඉන්න සුපර් ස්ටාර්. ඊළඟ කෝලි, ඊළඟ රෝහිත්. හැබැයි ගිල් කණ්ඩායමේ නැහැ. ඔහු ටී20 ක්‍රීඩා නොකරන ක්‍රීඩකයෙක් නෙමෙයි. ගිල්ව කණ්ඩායමෙන් එළියට දාන්න ගෞතම් ගාම්භීර් බය වෙන්නේ නැහැ. කවුරුවත් අහන්නේ නැහැ. ෆේස්බුක් එකේ විරෝධතා නිර්මාණය වෙන්නේ නැහැ. විරෝධතා නිර්මාණය වුණත් ඒගොල්ලෝ ඒවා බලන්නේ නැහැ, ඒවා දකින්නේ නැහැ.
හැබැයි අපේ නායකයෝ ඇවිල්ලා කියනවා ‘අනේ අපිට දුකයි, අපිට මේ සමාජ මාධ්‍යවල බණිනවා, අපිව විවේචනය කරනවා, රජය හරි මැදිහත් වෙලා අපිව බේරගන්න, අපේ අය දුක හිතිලා ඉන්නේ…’ කියලා. හැබැයි සංජු සැම්සන් කියනවා මට සමාජ මාධ්‍යවලින් වැඩක් නැහැ කියලා. ඔහු සමාජ මාධ්‍ය දිහා බලන එක පැත්තකට දාලා ඒකෙන් දුක හිතෙන එක පැත්තකට දාලා ඉන්නේ. සංජුගේ ටැටූ නැහැ, සංජුගේ හෙයාර් ස්ටයිල් නැහැ, සංජු කොණ්ඩේ කපලා නැහැ ලස්සනට. සංජුට විලාසිතාවක් නැහැ. ටී20 වර්ල්ඩ් කප් එකට එන්න කලින් සංජුගේ ෆොටෝ ඇල්බම් එකක් රිලීස් වුණේ නැහැ සංජු කොණ්ඩේ කපන හැටි, සංජු ෆැෂන් කරන හැටි, සංජු ටික්ටොක් කරන හැටි. ඒගොල්ලෝ ටික්ටොක් කළොත් ඒගොල්ලන්ට ක්‍රිකට් ගහන්න ඕනේ නැහැ ජීවත් වෙන්න. හේතුව බිලියන ගණන් ඒගොල්ලන්ගේ ඒවා බලන්නේ. හැබැයි ඒගොල්ලෝ ඒවා කරන්නේ නැහැ. ඒගොල්ලෝ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෝ.
ඉන්දීය කණ්ඩායමේ විලාසිතා කරන ක්‍රීඩකයෝ ඉන්නවා. සූර්යකුමාර් යාදව් මුළු ඇඟේම පච්ච ගහගෙන ඉන්නේ. හර්දික් පාණ්ඩ්‍යා විලාසිතා ලෝකයක්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ විලාසිතාවල නෙමෙයි, ඔවුන්ගේ ශරීර සෞඛ්‍යය ඔවුන් පවත්වාගෙන යන විදිහ. ඔවුන් විලාසිතා කරන අතරතුරේදීම ඔවුන් දවස තිස්සෙම මේ ක්‍රිකට් වෙනුවෙන් මහන්සි වෙනවා. මාසයක් තිස්සේ, අවුරුද්දක් තිස්සේ, මුළු ජීවිතයම ක්‍රිකට් වෙනුවෙන් කැප කරනවා. ඒගොල්ලෝ බිලියන ගණන් හම්බ කරලා තියෙනවා. ඒගොල්ලෝ විවාහ කරගන්න ඉන්දියාවේ ඉන්න ප්‍රසිද්ධම නිළියෝ පොර කනවා. ඒකට හේතුව ඒ අයගේ තියෙන ජයග්‍රාහී මානසිකත්වය සහ ඒ අයගේ තියෙන කැපකිරීම, ඒ අයගේ තියෙන වෙහෙසීම.
අපේ ක්‍රීඩකයෝ ගාව නැත්තේ අන්න ඒකයි. අපි බෝඩ් එකට චෝදනා කරනවා, ශම්මිට චෝදනා කරනවා. හරි, වැරදි ප්‍රශ්න ඇති. හැබැයි මේ ක්‍රිකට් බෝඩ් එකටවත්, තේරීම් කමිටුවටවත්, වෙන කාටවත් නිකන් චෝදනා කරලා වැඩක් නැහැ. තමන්ගේ ක්‍රීඩාව වෙනුවෙන් තමන් කැපවෙන්න ඕනේ. අපිට මේ ක්‍රීඩකයෝ ගාව ඒ ලක්ෂණය පේන්නේ නැහැ. පබ්ජී ගහලා, මැච් එක අතරතුරේ ඕමි ගහලා, රෑ වෙනකන් පිස්සු කෙළලා, චොක්ලට් කකා ඇවිදලා, හෝටලයෙන් පැනලා පාරවල්වල ඇවිදිද්දී එක් එක්කෙනා වීඩියෝ කරගෙන ඇවිල්ලා මේ වගේ පිස්සු නටනකොට කණ්ඩායමක් හදන්න බැහැ.
කණ්ඩායමේ ක්‍රීඩකයෝ පිට වෙලා යන්නේ ක්‍රිකට් ගහන්න, හැබැයි අන්තිමට වෙන වෙන සුද්දියෝ නටවන්න, වෙන වෙන ප්‍රශ්නවලට, ක්‍රිකට් ක්‍රීඩාව සඳහා පිටත් වෙලා යන මිනිස්සුන්ට අපි හැම පහසුකමක්ම දෙනවා. ටී ෂර්ට් එකේ ඉඳලා කලිසමේ ඉඳලා, වාහනයේ ඉඳලා කෑම බීම ඉඳුම් හිටුම් සියල්ල සපයලා, කෝටි ගණන් සල්ලි ගෙවලා, මිලියන ගණන් වත්කම් තියාගන්න ඉඩ දීලා, සත පහක කරදරයක් ඇති වෙන්න දෙන්නේ නැතුව, අතේ පයේ තියෙන සියලු වේදනාවලට, තුන්දොස්වලටම රජයේ ගානේ බෙහෙත් කරලා මේ අයව රැකගන්නේ අපේ රට වෙනුවෙන් ක්‍රිකට් ගහන්න අවශ්‍ය නිසා.
ඔබට මතක ඇති අපේ රටේ ඉන්න ප්‍රබල ක්‍රීඩකයෙක්, අපි අද මේ ගුණ වයන කවි කියන ක්‍රීඩකයෙක්, ඔහුගේ තිබිච්ච ශරීර ආබාධයක් සම්බන්ධයෙන් ප්‍රතිකාර ගත්තේ නැහැ. හේතුව ඔහු කිව්වා ‘මට අතේ සල්ලිවලින් බෙහෙත් කරගන්න බැහැ, ඒකට වියදම් කරන්න අනේ දෙන්න’ කියලා ඉල්ල ඉල්ලා හිටිය කාලයක් අපිට මතකයි. ඉතින් මේ සියල්ලත් එක්කම ඉන්දියාවේ ජයග්‍රහණයට අත්පුඩි ගහන ගමන් අපේ පරාජයට හේතුව මොකක්ද කියලා ඉන්දියානු කණ්ඩායම දිහා ටිකක් වෙලා බලන් හිටියොත් ඔබට අඳුනගන්න පුළුවන්.
ඉන්දියාවේ ඉන්නේ ඉතාම පහළ තැනක ඉඳන් ආපු ක්‍රීඩකයෝ, මුළු ඉන්දියාවෙන්ම ආපු ක්‍රීඩකයෝ. වර්ග කිලෝමීටර් 65,610ට වඩා චුට්ටක් වැඩියෙන් තියෙන ලංකාව වගේ නෙමෙයි, ඉන්දියාව කියන්නේ ලංකාව වගේ 60 ගුණයක් තියෙන රටක්. හැබැයි ඉන්දියාවේ එහා කොනේ ඉඳලා මෙහා කොන දක්වාම ක්‍රීඩකයෝ මේ කණ්ඩායම ඇතුළේ ඉන්නවා. හැබැයි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ඉන්නේ මේ මැද තියෙන පුංචි රවුමක් ඇතුළේ ඉන්න ක්‍රීඩකයෝ ටිකක්. මීගමුව, කොළඹ, ගාල්ල. මහනුවරින් එක්කෙනෙක් දෙන්නෙක්. අනුරාධපුරයෙන්, පොළොන්නරුවෙන්, යාපනයෙන්, මඩකළපුවෙන් ක්‍රීඩකයෝ කණ්ඩායමට එන්නේ නැහැ. මේක ප්‍රසිද්ධ තර්කයක්, මේ තර්කය ආයෙ ආයෙ කියලා වැඩක් නැහැ, මේක නිතරම කියන කාරණයක්.
ඒ නිසා පුළුවන් නම් අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට මේ සංජු සැම්සන්ලා පෙන්වන්න. ඒ අය වැටුණු තැනින් නැගිට්ට හැටි පෙන්වන්න. බුම්රාව පෙන්වන්න. බුම්රාගේ රැවුලෙන්වත් බුම්රා විලාසිතාවක් කරලා නැහැ. බුම්රා රඟපාන්නේ පිට්ටනියේ පන්දුවලින්, එළියේ නෙමෙයි. අපේ කට්ටියට පන්දු යවාගන්න බැහැ. කැච් එකක් අල්ලගන්න බැහැ, බෝලෙකට දුවාගන්න බැහැ, බඩවල් ඇවිල්ලා. සමහරු බඩදරු අම්මලා වගේ, දකිද්දී හරි කැතයි. හැබැයි ටික්ටොක් එකේ වීරයෝ, ෆේස්බුක් එකේ රඟනවා. මැච් එකක් දින්නම ප්‍රේක්ෂකයන්ට තමයි පළමුවැනි උත්තරය දෙන්නේ. මැච් එක පැරදුණාම කියන්නේ ‘එහෙම තමයි පරදිනවා තමයි, ක්‍රිකට් කියන්නේ පරදින ජාතියක්’ කියලා. නැහැ, ක්‍රිකට් කියන්නේ පරදින ජාතියක් නෙමෙයි, ක්‍රිකට් කියන්නේ දිනන-පරදින එකක්. හැමදාම පරදින්න බැහැ.
ලෝකයේ පළමුවැනි වතාවට ක්‍රිකට් ගහපු රටවල්වල එවුන්ටත් අමාරුවෙන් ගහලා, වහසිබස් දොඩවලා හරියන්නේ නැහැ. ලකුණු 200ක් විතර දීලා ඉවර වෙලා අන්තිම ඕවරේ කැච් එකක් අල්ලලා ඒකට පොඩි ෂෝ පාරක් දාන එක නෙමෙයි ක්‍රිකට් කියලා කියන්නේ. රටකට අවශ්‍ය කරලා තියෙන්නේ රට වෙනුවෙන් කැක්කුමට ක්‍රිකට් ගහන එවුන්. අපි දන්නවා අරවින්දලා, මුත්තයියලා, වාස්ලා, අර්ජුනලා, සනත් ජයසූරියලා ඒ කාලේ ක්‍රිකට් ගැහුවේ වෙන රස්සාවල් කරගෙන. චමින්ද වාස්ලා කියනවා ජීවත් වෙන්න විදිහක් නැහැ ක්‍රිකට් ගහලා ජීවත් වෙන්න බැහැ කියලා. මුත්තයියලා කොළඹ ඇවිල්ලා නැවතිලා තැන් තැන්වල ඉන්න ගමන් ක්‍රිකට් ගැහුවේ. සනත් ජයසූරිය අරවින්දගේ වාහනේ කොළඹ එන්නේ. අරවින්දලා වුණත් ක්‍රිකට්වලින් රඟපෑවා මිසක එළියේ රඟන්නේ නැහැ. අදටත් විලාසිතාවලින් රඟන්නේ නැහැ.
අර්ජුන රණතුංගගේ දේශපාලනය මොකක් වුණත්, අර්ජුන රණතුංග කියලා කියන්නේ ලංකාවේ ක්‍රිකට් එකේ විනය හදලා ලංකාවේ ක්‍රිකට් එකක් හදපු මිනිහෙක්. රටට ගහන ක්‍රිකට් අර්ජුනලා හැදුවේ. තමන්ට ගහන ක්‍රිකට්වත්, ක්ලබ් එකට ගහන ක්‍රිකට්වත්, අරයාට ගහන ක්‍රිකට්වත්, මෙයාට ගහන ක්‍රිකට්වත් නෙමෙයි. සෝෂල් මීඩියාවල, පත්තරවල, ටීවීවල, රේඩියෝවල යන දේවල් ගැන බලමින් දුක් වෙමින් ‘අපිට බණිනවනේ, අපිව විවේචනය කරනවනේ’ කියලා අඬ අඬා හිටියේ නැහැ. ඉන්දියානු කණ්ඩායමේ බොහෝ ක්‍රීඩකයන්ට චෝදනා තිබුණා. සූර්යකුමාර් යාදව් නායකයා වුණාට පස්සේ ඉන්දියාවේ මිනිස්සු විරෝධය පළකළා. ඉන්දියාවේ මිනිස්සු ආසා නැහැ සූර්යකුමාර් යාදව්ට. මොකද මේ කෝලිලා හිටපු, රෝහිත්ලා හිටපු, දෝනිලා හිටපු කණ්ඩායමේ නායකයා. හැබැයි සූර්යකුමාර් යාදව් ඒ ගැන හිත හිතා දුක් වෙවී කවි සින්දු කියා කියා අඬ අඬා ‘අනේ මාව බේරගන්න, රජය හරි මැදිහත් වෙන්න’ කියාගෙන හිටියේ නැහැ.
කණ්ඩායමේ සංයුතිය සම්බන්ධව බරපතළ ප්‍රශ්න ඇති වුණා. අභිෂේක් ෂර්මා තරග ගානක ෆේල්. මිනිස්සු කිව්වා ඇයි අභිෂේක්ව කණ්ඩායමේ තියාගෙන ඉන්නේ, ඔහු අසාර්ථකයි, ඔහුට ක්‍රිකට් බැහැ කියලා තර්ජනය කළා. ඉන්දියාවේ ක්‍රිකට් කියන්නේ මාර වෙනස් තැනක තියෙන දෙයක්. ඉන්දියාවේ මිනිස්සු අපි තරම් බුද්ධිමත් නැහැ. ඉන්දියාවේ මිනිස්සු ටක් ගාලා වෙනස් වෙනවා. මැච් එක පරදිද්දී පිට්ටනියට ගිනි තියනවා. ඉන්දියාවේ මිනිස්සු ගෙවල්වලට ගහනවා, ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවල්වලට ආරක්ෂාව දාන්න ඕනේ මැච් එකක් පරදීගෙන එද්දී. එහෙම රටකයි අභිෂේක් ෂර්මාලා ජීවත් වෙන්නේ. හැබැයි අභිෂේක් ෂර්මා අන්තිම තරගයේදී අවශ්‍යම වෙලාවෙදී සුපර් නොක් එකක් ගහලා මැච් එක ජයග්‍රහණය දක්වා අරගෙන යනවා. කෑල්ලෙන් කෑල්ල ගියත් දිනනවා කියන චේතනාවෙන් මේ ක්‍රීඩකයෝ පිට්ටනියට එන්නේ. ඒ අයට චෝදනා තියෙනවා, ඒ අය දන්නවා ඒක. තමන්ගේ ප්‍රේක්ෂකයෝ බලාගෙන ඉන්නවා, ඒ වෙනුවෙන් උන් ක්‍රිකට් ගහනවා. ප්‍රේක්ෂකයන්ට පිස්සු හැදෙන්න තරග දිනනවා. 10ක් 20ක් 30ක් 40ක් නෙවෙයි. බිලියන ගණනක් මිනිස්සු බලාගෙන ඉද්දී ලකුණු 150ක 160කට නතර වෙන්නේ නැහැ. 250න් උඩට ලකුණු ටිකක් අරගෙන ගිහිල්ලා එක තප්පරයක්වත් ‘අරුන් දිනයි අනිත් පිල දිනයි’ කියලවත් නොහිතන තරමටම ජයග්‍රහණ තමන්ගේ පැත්තට ගේනවා.
ඔබ දන්නවද දන්නෑ මේ තරගාවලියේදී වැඩිම දුරක් ට්‍රැවල් කරන්නේ ඉන්දියාව. ඔවුන් ලංකාවට එනවා, ආපහු එහේ යනවා, ආපහු ලංකාවට එනවා. මේ සියල්ලත් දරාගෙන ඔවුන් ජයග්‍රහණය කරලා. පුළුවන්නම් අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට පෙන්වන්න ඉන්දියාව කියලා කණ්ඩායමක ක්‍රීඩකයෝ ක්‍රිකට් ගහන හැටි. අයි.පී.එල්. වෙනුවෙන් විවේක අරගෙන, අයි.පී.එල්. වෙනුවෙන් නිවාඩු දාලා, අයි.පී.එල්. එක නැති වෙයි කියලා බය හින්දා පොඩි ඉන්ජරි එකක් අරගෙන එහෙම රඟපාලා ක්‍රිකට් ගහනවට වඩා හොඳයි ජාතික කණ්ඩායමෙන් අයින් වෙලා ගහන මැච් එකක් ගහගන්න එක. මොකද හැඟීමක් නැත්නම්, ආදරයක් නැත්නම්, දිනන්න වුවමනාවක් නැත්නම්, රට ගැන හැඟීමක් නැත්නම් මේ වැඩේ කරන්න බැහැ. මේක මගේ රට, මේ මගේ රටේ ප්‍රේක්ෂකයෝ, මුන් මං වෙනුවෙන් තමයි පිට්ටනියට එන්නේ, අපිව බලන්නයි ඇවිත් තියෙන්නේ, අපිට අත්පුඩි ගහන්න ඇවිත් තියෙන්නේ, අපිට චියර් කරන්න ඇවිත් තියෙන්නේ කියන හැඟීම ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට දැනෙන්න ඕනේ. මැච් එක ඉවර වෙද්දී කුණුහරුපෙන් බැනලා යන්නේ පිට්ටනියේ නාඩගම් නටන හින්දා. දිනන්න හැඟීමක්, දිනන්න වුවමනාවක් නැති නිසා කුණුහරුප අහගන්න අකැමැතියි නම් වෙන වෙන මඟුල් නොගහා ක්‍රිකට් ගහපල්ලා. ඉන්දියාවෙ උන් දිහා බලාන හිටපල්ලා…

ජීවන පහන් තිළිණ










