මේ දිනවල ආන්දෝලනාත්මක පුවතක් වුණේ 18 හැවිරිදි සිසුවියක් පුද්ගලයකු විසින් පැහැරගනු ලැබීමයි. බොහෝ දෙනකු විමසා සිටියේ මෙහෙම දෙයක් කරන්න හේතුව මොකක්ද කියලායි. ඔහු මේ දැරියගේ ජීවිතයට හානියක් සිදුකළොත් ඒ මවුපියෝ ඒ වේදනාව කොහොම දරාගනීවිද යන්නයි. (Sri Lanka Latest News)
සිසුවිය පැහැරගන්නා ආකාරය සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබුණා. පසුගිය 12 වැනිදා උදෑසන 7.15ට පමණ මිතුරියක් සමග උසස් පෙළ පෞද්ගලික පන්තියකට සහභාගි වීම සඳහා මහනුවර දවුලගල ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදීයි මෙම පැහැරගැනීම කර තිබුණේ. පාර අයිනේ නවතා තිබූ කළු පැහැති කුඩා වෑන් රථයකින් බැසගත් පුද්ගලයකු එකවරම ඉදිරියට පැන දැරියන් දෙදෙනාගෙන් එක් අයකු වෑන් රථයට බලහත්කාරයෙන් නංවා ගන්නා ආකාරය ආරක්ෂිත කැමරා දර්ශනවල පැහැදිලිව සටහන්ව තිබුණා. එම අවස්ථාවේම පාරේ ගමන් ගත් තරුණයකු වහා පැමිණ සිසුවිය බේරාගැනීමට උත්සාහ දැරුවේ මේ පැහැරගත් පුද්ගලයා සමග පොරබදමිනි. නමුත් එම උත්සාහය ව්‍යර්ථ වෙමින් වෑන් රථය ඉදිරියටම ඇදෙන්නට වුණා. බේරා ගැනීමට පැමිණි තරුණයාද එම වෑන් රථයේම එල්ලී මීටර 500ක දුරකට ගියත් ඔහුගේ වෑයම අසාර්ථක වුණේ ඇයව බේරාගැනීමට වෙනත් කිසිවකු නොපැමිණි නිසයි. නමුත් ඔහු රැකියාව සඳහා යන ගමන නවතා දමා, තම බෑගයද මහමඟ දමා සිසුවිය බේරාගැනීමේ උත්සාහය අත් නොහළ මේ තරුණයා පැසසුමට ලක්කළ යුතුයි යන්න බොහෝ දෙනෙකුගේ අදහස වුණා. අනෙකා ගැන හිතන, මෙවැනි නිර්භීත පුද්ගලයන් තමයි අපේ රටට අද අවශ්‍ය කරන්නේ.
සිසුවිය සහ පැහැරගත් පුද්ගලයා පිළිබඳ මුලින් සැකකර තිබුණේ දෙදෙනා අතර කලක සිට ප්‍රේම සම්බන්ධතාවයක් පැවති බවටයි. පැහැරගැනීම කළ පුද්ගලයා සිසුවියගේ ඥාතියෙක්ද වන බවයි. කෙසේ වෙතත් මෙම පැහැරගැනීම සිදුවූ අවස්ථාවේදී ඇයව පෙම්වතා විසින් පැහැරගත් බවට තොරතුරු වාර්තා වූ නමුත් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ඇය විවාහ කරගැනීමේ අපේක්ෂාවෙන් කලක පටන් පසුවූ මස්සිනා විසින් මෙම පැහැර ගැනීම සිදුකර ඇති බවයි.
ඇය පැහැර ගැනීමෙන් පසුව මොහු සිසුවියගේ පියාගෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක් කප්පම් වශයෙන් ජංගම දුරකතන ඇමතුමක් ලබාදී ඉල්ලා තිබුණා. මිට අදාළ ඇමතුමේ හඬපටයද පොලිසිය විසින් මාධ්‍ය වෙත මුදාහැර තිබුණා.
සිසුවියගේ පියා : දැන් ඔයාට මොකද්ද ඕනේ කියලා කියන්න…
පැහැරගැනීම සිදුකළ පුද්ගලයා : මගේ ගිණුමට දාන්න සල්ලි ලෑස්ති කරන්න. ලක්ෂ 50ක මුදලක්. සිසුවියගේ පියා : මගේ දරුවට මුකුත් කරන්න එපා. ලක්ෂ 50ක් ලෑස්ති කරන්නම්.
පැහැරගැනීම සිදුකළ පුද්ගලයා : ඔයාගේ දුව මගේ පණ. මුදල් බැංකුවේ මගේ ගිණුමට දාන්න.
පැහැරගැනීමෙන් අනතුරුව සිසුවිය සහ ඇගේ පියා දුරකතනයෙන් සම්බන්ධ වූ හඬ පටයක්ද පොලිසිය මාධ්‍ය වෙත මුදාහැර තිබුණා.
දියණිය : තාත්තේ මාව බේරගන්න.
පියා : ඔයා කොහේද ඉන්නේ?
පියා : කියන්න රත්තරං මොකද වුණෙ?්
දියණිය : මම පාරේ ඇවිදගෙන එද්දී…
පියා : දැන් සල්ලි දාන්න කියලා කියනවා. සල්ලි මම ලෑස්ති කරගෙන ඉන්නේ. ඔයා අඬන්නේ නැතුව ඉන්න.
දියණිය : හරි තාත්තේ.
පියා : ඔයා අඬන්නේ නැතුව ඉන්න… යනුවෙන් පියා පැවැසුවේ පියවරුන් දරුවන්ගේ ජීවිතය රැකගැනීමට කෙසේ හෝ මුදල් සොයාගැනීම හදවතේ නැගෙන වේදනාව දරාගෙනයි. තම දියණියගේ ජීවිතය කෙසේ හෝ බේරාගැනීමේ උත්සාහය හිතේ ඇතිවයි.
සිසුවිය පැහැරගෙන ගොස් රඳවා තබාගෙන සිටි මෙම ඥාති සහෝදරයා මුලින් රුපියල් ලක්ෂ 50ක කප්පම් මුදලක් ඉල්ලා තිබූ අතර, පසුව ඔහු එය ලක්ෂ 30 දක්වා අඩුකර තිබෙන බවටයි තොරතුරු අනාවරණය වී තිබුණේ.
මේ සිදුවිම සම්බන්ධව විමර්ශන ආරම්භ කළ පොලිසියට පොළොන්නරුව ප්‍රදේශයේ වාහනය දමාගොස් තිබියදී සොයාගැනීමට හැකිවුණා. මේ අවස්ථාවේ වෑන් රථයේ රියැදුරුද අත්අඩංගුවට ගත් අතර, ඔහු ගම්පොළ කහටපිටියේ පදිංචිකරුවෙකි. මෙම වාහනය කුලී පදනම මත ලබාගත් වාහනයක් බවටද අනාවරණය වී තිබුණා. පැහැරගත් සිසුවිය සහ පැහැරගැනීම සිදුකළ පුද්ගලයා සිටින ස්ථානය පැය 24ක් යනවිට සොයාගැනීමට පොලිසියට හැකිවුණා. මේ සඳහා පොලිස් කණ්ඩායම් 3ක් ක්‍රියාත්මක වූ බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා මාධ්‍ය වෙත පවසා සිටියා.
පසුදින දැරිය සහ පැහැරගැනීම කළ පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. ඒ, මේ පුද්ගලයාගේ ජංගම දුරකතනයේ දත්ත විශ්ලේෂණය කිරීමේදී ඔහු අම්පාර ප්‍රදේශයේ සිටින බවට තොරතුරු ලැබීමෙනි. පසුව මේ බව අම්පාර පොලිසිය දැනුවත් කර තිබුණා. ඒ අම්පාර සිට මහනුවර දක්වා දිවෙන වායුසමීකරණ කරන ලද බස් රථයක් තුළිනි. දැරියව අම්පාර ප්‍රදේශයට ගෙනගොස් තිබුණේ මාරුවෙන් මාරුවට යොදාගත් ත්‍රිරෝද රථ 3ක් මාර්ගයෙනි. අනතුරුව 13 වැනිදා උදෑසන දැරිය තම නිවෙසට ඇරලවන බව පවසා අම්පාර සිට මහනුවර දක්වා දිවෙන බස් රථයකට ගොඩව ඇති අතර, එහිදී තමාට නිහඬව සිටින ලෙස තර්ජනය කර ඇති බවටයි අනාවරණය වි තිබුණේ. ඒ අවස්ථාවේ අම්පාර පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණා. සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අම්පාර රෝහල වෙත යොමු කෙරුණා.
මෙම පුද්ගලයා විසින් දැරිය පැහැර ගැනීමට හේතුව හෙළිකරනු ලැබුවා. වසර 2ක් තමා ජපානයේ සේවය කළ බවත්, එහිදී උපයාගත් මුදල් තම මාමාට දුන් බවත්, දැරිය විවාහ කරගැනීමේ බලාපොරොත්තුවෙන් සිටි බවත්, මුදල් නැවත තමාට ලබානොදීම හේතුවෙන් මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කළ බවත් ඔහු පවසා තිබුණා. මේ අතර පොලිසිය අනාවරණ කර තිබුණේ මේ පුද්ගලයා මත්ද්‍රව්‍යවලට දැඩිලෙස යොමුව ඇති බවයි.
අනතූරුව දැරියගේ පියාද පොලිසිය වෙත පැමිණ තිබුණා. පියා මාධ්‍ය වෙත පැවැසුවේ මෙවැන්නකි.
‘මම එච්.එම්.එම්. හිල්මි. මම පදිංචි වෙලා ඉන්නේ ගම්පොළ මරියාවත්තේ. මගේ දුව දවුලගල බෝඩ් වෙලා උසස් පෙළට ඉගෙනගන්නවා. 2025 විභාගය කරන්න ඉන්නේ. එයාව පැහැරගෙන ගිහිල්ලා සල්ලි ලක්ෂ 50ක් ඉල්ලුවා. මේ මගේ අක්කාගේ පුතා. අනිත් අය මම කවුද කියන්න දන්නේ නැහැ. තව එක්කෙනෙක් වාහනේ ඉඳලා තාම එයා අල්ලලා නැහැ. මේගොල්ලෝ ප්ලෑන් කරලා ලක්ෂ 50ක් ඉල්ලුවා. ඊට පස්සේ පෝය දවස නිසා ලක්ෂ 50ක් දාන්න බැනේ. කොහොම හරි මම සල්ලි ලෑස්ති කරන්නම් ඉවසගෙන ඉන්න කියලා කිව්වා. දුවටත් තර්ජනය කරලා තියෙනවා ‘කියන විදියට හිටපත් නැත්නම් මරනවා’ කියලා. 13 උදේ 7.30ට පැමිණිල්ල දැම්මේ. මම පොලිසියේ 8.30 වෙනකල් හිටියා. මමයි මස්සිනායි ඇවිත් කිව්වා පොලිසියේ සටහන් කරගන්න අපි පනස් දහක්වත් දානවා, නැත්නම් දුවගේ ජීවිතේට හානියක් වෙයි කියලා කිව්වා. එයා කිව්වා ලක්ෂ 50ක් බැරිනම් ලක්ෂ 30ක් හරි දාන්න කියලා. අපි ඊට පස්සේ ඔන්ලයින් එකෙන් පනස්දාහ දැම්මා. මගෙන් ඇහුවා ඉතිරි සල්ලි දාන්නේ කවද්ද කියලා.’
‘මම කිව්වා මට ඔන්ලයින් පහසුකම නැහැ. එහෙම කෙනෙක් අල්ලගන්න ඕනේ, පෝය දවසනේ කියලා කල් ගත්තා. උදේ දාන්නම් තව පොඩ්ඩකින් දාන්නම් කියලා අපි සී.අයි.ඩී. එකටත් කොල් කරලා කිව්වා. දරුවාට හානියක් වෙයි ක්‍රියාමාර්ගයක් ගන්න කියලා. එයාලා කිව්වා විස්තර මුකුත් එළියට දාන්න එපා අපි අල්ලමු කියලා. අපි ඊට පස්සේ ඉතිරි සල්ලි දෙන්නේ කොහොමද තව පොඩ්ඩකින් දෙන්නම් කිය කිය ෆෝන් එක ට්‍රැක් කළා. කවුරුත් ඒක දන්නේ නැහැ. වෙලාව දුන්නේ 13 දවල් 12ට කලින් දාන්න ඕනේ කියලා. කොහොම හරි හවස 7ට ගත්තා. පොලිස් කණ්ඩායම් ගොඩක් මේ සිදුවීමට අදාළව මෙහෙයෙව්වා. මේ දෙන්නා අතර කිසිම ආදර සම්බන්ධයක් නැහැ. මට 100%ක්ම විශ්වාසයි. එයාගේ බේරුමට එහෙම කියනවා. මගේ දුවව රූම් එකකට දාලා එහා පැත්තේ කතාකර කර ඉන්නවා දුවට ඇහිලා තියෙනවා. අපි මේක දවස් 5ක් ප්ලෑන් කරපු ප්ලෑන් එක කියලා. දුවව උස්සන්න තිබිලා තියෙන්නේ උස්සපු දවසට ඉස්සෙල්ලා දවසේ. පහුවදා ඇවිත් තමයි උස්සලා තියෙන්නේ. ඒක දුවලා දැකලා තියෙනවා. දුවට තාම 18යි. එයාට වයස 32යි දුවගේ හිතේ තාම එහෙම අදහසක් නැහැ.’
‘තව එකෙක් අතේ ටැටූ ගහගෙන හිටියා. එයා තමයි කෑගහන්න එපා කියලා ගොඩක් තර්ජනය කරලා තියෙන්නේ. කොහොම හරි සල්ලි දානවා දැන් දානවා කියලා ට්‍රැක් කරලා අල්ලගත්තේ. ඇත්තෙන්ම මගේ දරුවා බේරගන්න ගිය තරුණයා ලොකු දෙයක් කළේ. ඔහුට බොහොම ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ බේරගන්න ගිය තරුණයාව යටකළා නම් එතැනත් තව ප්‍රශ්නයක්. මේ වාහනය දවුලගල ඉඳන් පොළොන්නරුව වෙනකල් ගිහින් තියෙනවා. අහුවුණාට පස්සේ අක්කාගේ පුතා අර සල්ලි මේ සල්ලි කියලා බේරෙන්න හදනවා. මේක 100%ක්ම පැහැරගැනීමක්. එහෙම ණය ගනුදෙනුවක් තිබුණේ නැහැ. අනිවාර්යයෙන් දඬුවම් දෙන්න ඕනේ. නැත්නම් ඉදිරියේදී මීට වඩා ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා අපිට…’ යනුවෙන් පියා පවසා සිටියා.
පැහැරගත් සිසුවිය සොයාගෙන පැය 24ක් ගතවන්නටත් මත්තෙන් මෙවැනිම සිදුවීමක් දැරණියගලින් වාර්තා වුණා. ඒ තරුණයන් දෙදෙනකු විසින් තරුණියක් පැහැරගෙන තිබීමයි. මෙයට හේතු වී තිබුණේ තරුණිය සමග ඇතිකරගත් ප්‍රේම සම්බන්ධතාවකට මවුපියන්ගේ අකැමැත්ත පළවීමයි. මිත්තණියට සහ මවගේ හිසට ගිනි අවි තබා බිය ගන්වමින් එම පැහැරගැනීම සිදුකර තිබුණා. ඊට අදාළ තරුණයන් දෙදෙනාව මෙම මස 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
දවුලගල සිසුවිය බේරාගැනීමට උත්සාහ දැරූ පුද්ගලයා ගැන සමාජය ඇගයිය යුතුයි. මොකද ඔහු තමන්ගේ ජීවිතය පරදුවට තියලයි මේ සිසුවිය බේරාගැනීමට ඉදිරිපත්ව තිබුණේ. වාහනය ඉදිරියට ඇදී ගියද ඔහු උත්සාහය අත්හලේ නැතිව පොරබදමින්ම වාහනය ඉදිරියට ඇදී ගියා. අද සමාජයේ මෙවැනි ගතිගුණ ඇති තරුණයන් දුර්ලභයි. වෙන තරුණයෙක් නම් අත්මාර්ථකාමීකමින් මෙවැනි දේකට ඉදිරිපත් වෙන්නේ නැහැ. සමාජය ඔහුව පැසසුමට ලක්කළ යුතුයි. මේ තරුණයා මාධ්‍ය වෙත මේ සිද්ධිය පිළිබඳ පවසා තිබුණේ,
‘මම ගිහිල්ලා ගැහුවා. අතඅරින්න කිව්වා. මම අතහැරියේ නැහැ. ඊට පස්සේ මම ට්‍රයි කළා. තව චුට්ටක් වාහනය ඉස්සරහට ගිහිල්ලා මාව තල්ලු කරලා ගියා. වාහනේ තුන්දෙනෙක් හිටියා. මගේ අත තුවාල වුණා. මගේ එක ඇඟිල්ලක් හැපුවා. මාව තල්ලු කළ නිසා තුවාල වුණා…’ යනුවෙන් ඔහු මාධ්‍ය වෙත පැවැසුවා.
ඔහුට සමාජ මාධ්‍යයේ බොහෝ දෙනෙක් මෙලෙස තුති පුදා තිබුණා.
‘පිරිමිකමට වටින නියම කොල්ලෙක් පුතා ඔයා’
‘කාගේ වුණත් නිර්භීත දරුවෙක්. මෙවැනි දරුවකු බිහිකළ දෙමාපියන්ටත් පිං’
‘ඔයා කළ ක්‍රියාව හදවතින්ම අගය කරනවා. අද කාලේ පිරිමි නැහැ. මේ වගේ දේවලට හැංගෙනවා කොන්ද පණ නැහැ…’
‘එකම වීඩියෝ එකකින් විපතේදී පලායන යාළුවෙක් දැක්කා. විපතකදී පිහිටට එන වීරයෙක් දැක්කා…’
මෙවැනි අපරාධවලට දැඩි දඬුවම් පැනවිය යුතුයි. එසේ නොවුණ තැන අහිංසක තරුණ ජීවිත පරිහානියට පත්වීම වැළැක්විය නොහැකියි. ඇත්තටම සිසුවිය බේරාගැනීමට ඉදිරිපත් වූ තරුණයා පොලිස් දෙපාර්තමේන්තුව විසින් ඇගයීමට ලක්කළ යුතුය. එහෙම කරනකොට මෙවැනි අපරාධ කිරීමට තරුණයන් බියවෙයි. මේ වගේ කොල්ලෝ අද සමාජයේ හිටියා නම් ගෑනු ළමයි ඇත්තෙන්ම පාරේ යන්න බියවිය යුතු නැහැ. සමාජයම තමයි මෙවැනි සිදුවීම්වලට ප්‍රධාන හේතුව. නියම පිරිමි කියන්නේ මෙවැනි පිරිමින්ටයි. තව පිරිමියෙක් මෝටර් සයිකලයක ඉඳගෙන සිදුවන දෙය බලා සිටියා. ඇගේ එකම පන්තියේ මිතුරියත් ඇයට විපතක් වෙනකොට දාලා දිව්වා. ඇයටත් තිබුණා ඇගේ මිතුරිය කෑගසා බේරාගන්න. සමාජ මාධ්‍ය වුණත් ක්‍රියා කරන්නේ තමන්ගේ වෙබ් සයිට් එකේ හිට් වැඩිකරගන්න. ගොසිප් සිදුවීම ප්‍රසිද්ධ කරන්න. මෙවැනි තරුණයන්ව අගයන්නේ ඉතාම අඩුවෙන්. නමුත් මේ පුද්ගලයා දෙපාරක් හිතුවේ නැහැ. මේ ලබපු මනුස්සකමට ණය නැති වීර පුතෙක් ඔයා. ශරිරයෙන් ඔහු පොඩි වුණාට උඹ පතාක යෝධයෙක්.

නිලන්ති රේණුකා










