කිසියම් සමාජයක් දේශපාලනික වශයෙන් පරිහානියට පත්වන අවස්ථාවලදී, එකී සමාජය නිරන්තරවම පහසුවෙන් යොමුවන්නේ වඩාත් පරමාදර්ශී මිනිසුන් වෙතය. පවතින දේශපාලනික අරාජිකත්වයට එරෙහි විකල්ප පද්ධති කෙරෙහි අවධානය යොමුවන්නේ ඉන් අනතුරුව වන අතර එයද මන්දගාමීවය. ආයතන අසාර්ථකවී, දේශපාලන ව්‍යුහයන් දුර්වල වීම සාමාන්‍ය දෙයක් බවට පත්වූ විට, මහජන පරිකල්පනය අවංකභාවය, විනය, පරිත්‍යාගය, වැනි සුචරිතවාදී ගුණධර්ම වෙතට යොමුවීම සාමාන්‍ය තත්ත්වයකි. මෙවැනි වටපිටාවක සදාචාරාත්මකව අපි අනෙකාට වඩා උසස් නමින් පෙනී සිටින දේශපාලන ව්‍යාපාර වේගවත් මහජන යුක්තිසහගත බවක් ලබාගැනීමට සමත් වේ. ඒ ඔවුන්ගේ ආකර්ෂණීය පොරොන්දු සහ තමන්ගේ දෑත් අනෙකාට වඩා පිරිසිදු සහ අදූෂිත බවට සිදුකරනු ලබන උත්කර්ෂය නිසාය.Sri Lanka Latest News
ශ්‍රී ලංකාවේ මෙම වට්ටෝරුව අප යුග ගණනාවක් නැවත නැවතත් අත්දැක තිබේ. ජවිපෙ නායකත්වයෙන් යුත් රාජ්‍ය පාලනයේ සමකාලීන අත්දැකීමද විශේෂ එකක් නොව එකී ඓතිහාසික රැල්ලේ නූතන ප්‍රකාශනයකි. නීතිගරුක, සුචරිතවාදී, අදූෂිත, පොහොසත්, ලස්සන රටක වෙනසක් ප්‍රකාශ කරමින් නැගීසිටි පක්ෂයක් දැන් අපේ රට පාලනය කරයි. එහෙත්, වසරකුත් මාස කීපයක් ගතවන විට, සදාචාරවාදයට අනුබල දුන් එකී පාලනයේ හරයාත්මක ආඛ්‍යාන දරුණු ලෙස ඛණ්ඩනය වෙමින් පවතී. මෙහි වඩාත් කැපීපෙනෙන සාධකය වන්නේ, ඔවුන් ගොඩනැගූ ආඛ්‍යාන කෙරෙහිවූ මහජන උද්‍යෝගය ක්‍රමයෙන් මැකී ගියද, එම මතවාදය තුළ ගොඩනගාගත් රාජ්‍ය බලය තවමත් නොවෙනස්ව පැවතීමයි.
එය එසේ සිදුවන්නේ ඇයි? එනම් විධායකය, ව්‍යවස්ථාදායකය ඇතුළු බලයේ මූලයන් නොනැසී පවතින අතරතුර සුචරිතවාදී දෘෂ්ටිවාදය පමණක් දියවී යන්නේ ඇයි? පිළිතුර ඇත්තේ ජනාධිපති හෝ අගමැතිවරියගේ පුද්ගලික අසමත්කමක් නිසා නොව, ව්‍යාජ සුචරිතවාදයක් මත පදනම් වූ දේශපාලනය සහ ඒ මත සංකේන්ද්‍රනය වූ රාජ්‍ය බලය අතර පවතින ගැඹුරු ආතතිය නිසායි.
සුචරිතවාදය දේශපාලනයට කැඳවීම අනතුරුදායකය
සදාචාරාත්මක බව හෝ සුචරිතවත් බව දේශපාලනයේදී වඩාත් බලවත් වන්නේ එය ප්‍රතිපත්තිවලට වඩා මිනිස් හැඟීම්වලට කතාකරන බැවිනි. එනම් මෙම තර්කණය විසින් සමාජය ‘අපි’ සහ ‘ඔවුන්’ ලෙස පැහැදිලි රේඛාවකින් බෙදා වෙන්කරනු ලබයි. තවදුරටත් එය පවසන්නේ නම් අපිරිසිදු, දූෂිත, විනයක් නැති, සහ ජනතාද්‍රෝහී, මහජන මුදල් අවභාවිත කරන ආදී වූ මතවාද තුළින් දේශපාලනය කෙරෙහි කලකිරීමෙන් හෙම්බත්ව සිටි සමාජයකට, මෙම භාෂාව ඉමහත් ප්‍රබෝධයක් සහිත අස්වැසිල්ලක් සහ අවංක හැඟීමක් ඇති කරයි. ජවිපෙ මෙම උපාය මැනැවින් හැසිරවීමට සමත් වූවා පමණක් නොව එලෙස දේශපාලන සාංකාවට පත්ව තිබූ බහුතර මහජන පරිකල්පනයට ‘ජාතික ජන බලවේගය’ නමින් වූ ජවිපෙ නොවන ඕනෑම සාපේක්ෂ අයෙකුට ගොඩවිය හැකි ආකෘතියක් නිර්මාණය කළේය. පසු කලෙක ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශකර සිටියේ, තමන් සැකසූ වේදිකාවට, වෙනත් පක්ෂයක නම් ‘පාපිස්නයකට’ තරම්වත් නොගන්නා අය පවා ගොඩවී ඇති බවයි.
මෙයින් පැහැදිලි වන සත්‍යයක් තිබේ. එනම් දේශපාලන අවකාශයේදී සුචරිතවාදයට ස්ථිර සහ නිශ්චිත බවක් නොමැති අතර, එය වහා බිඳෙනසුලු ස්වභාවයක් ගනී. එනම් දෝෂ නිවැරදි කළහැකි ප්‍රතිපත්තිමය කොන්දේසි මෙන් නොව, සුචරිතවාදය එකිනෙකට සාපේක්ෂ කොන්දේසි මත ක්‍රියාත්මක වේ. ප්‍රතිපත්තිමය වැරැද්දක් මනා පැහැදිලි කිරීමෙන් නිවැරදි කළ හැකිය. එහෙත් සදාචාරාත්මක වැරැද්දක් පාවාදීමක් ලෙස සලකනු ලැබේ.
‘අපි වෙනස්’ යැයි දේශපාලන පක්ෂයක් අවධාරණයෙන් ප්‍රකාශ කළ පසු, එය තමාටම උගුලක් නිර්මාණය කරගනියි. එයින් සිදුවන්නේ ඔවුන් පොරොන්දු වූ සෑම සම්මුතියක්ම, ඒ සඳහා වන සෑම ප්‍රමාදයක්ම, සෑම නොගැළපීමක්ම ඔවුන්ට එරෙහි සාක්ෂියක් බවට පත්වීමයි. අද අන්තර්ජාලයේ, ඕනෑම සමාජ මාධ්‍ය වේදිකාවක් පරිශීලනය කරන අයෙකුට එම සාක්ෂි සපයා ගැනීම එතරම් අපහසු කටයුත්තක් නොවේ.
සුචරිතවාදයෙන් මෝහනය වී බල කේන්ද්‍රය ගොඩනැගුවද, රාජ්‍ය පාලනය ගොඩනැගිය යුත්තේ යම් යම් සම්මුතීන් මතය. එනම් අයි.එම්.එෆ්. කොන්දේසිවලට එකඟව අයවැය සමතුලිත කළ යුතුය, තම සන්ධානයේ ප්‍රතිවිරෝධතා කළමනාකරණය කළ යුතුය සහ ජාත්‍යන්තර පීඩන සාකච්ඡා කළ යුතුය. සදාචාරාත්මක පාරිශුද්ධභාවයට මෙම යථාර්ථයන් මගහැරිය නොහැක.
විපක්ෂ නායකවරයා අයි.එම්.එෆ්. කොන්දේසි ලිහිල් කරගැනීමට අවශ්‍ය අනුග්‍රහය ලබාදීමට යෝජනා කළවිට ජනාධිපතිවරයා ‘අනේ ප්ලීස් අපට ඔබේ උදව් එපා’ යැයි පවසන්නේ මෙම ආතතිය නිසාය. මෙයින් පැහැදිලි වන්නේ, බලය දිනාගැනීමට භාවිත කළ උපක්‍රම බොහෝවිට බලය අඩපණ කරන සාධක බවටද පත්වන බවයි.
බලය යනු හුදෙක් සදාචාරාත්මක හෝ අහිංසක මෙවලමක් නොවේ
බලය බොහෝ විට සලකාබලනු ලබන්නේ සමාජ බලවේගයක මෙවලමක් ලෙසයි. එය අභ්‍යාස කරන්නාගේ ස්වභාවය අනුව යහපත හෝ අයහපත ළඟා කරදෙයි. යථාර්ථයේදී එය බොහෝ විට සමාජ සාධකයක් මෙන් හැසිරුණද, පුද්ගලයකුගේ අධිකාරියක් වටා ඔහුගේ තනතුරට බලය ආරෝපණය වූ පසු, (උදාහරණ ලෙස විධායක බලය) ඔහුගේ තෝරාගැනීම් පුද්ගලික සදාචාරයෙන් ඔබ්බට විහිදී යයි. එයට හේතුව වන්නේ පද්ධතිය තුළ ගොඩනගා ඇති හැඩගැස්වීම්, අවදානම් සහ අපේක්ෂාවන් ඔහුට තෝරාගැනීමට සිදුවේ. සුචරිතවාදී බැඳීම් තඹයකටවත් මායිම් නොකර තමාට ගැළපෙන විගණකාධිපතිවරයෙක් ලැබෙන තෙක් එම පත්කිරීම මගහැරීමට විධායකයට සිදුවන්නේ පෙර කී යථාර්ථය නිසාය.
ශක්තිමත් ආචාර ධර්මවලින් පොහොසත් කැපවීම් ඇති නායකයින් පවා දේශපාලනිකව දිවි ගලවා ගැනීම සඳහා මෙම තර්කනය තුළ ක්‍රියාත්මක විය යුතුය. කාලයත් සමග ඔවුන්ගේ හැසිරීම සකස් වන්නේ ඔවුන් හිතාමතාම ගුණධර්ම අත්හැරීම නිසා නොව, බලය යනු අහිංසක දෙයක් හෝ සදාචාරයට වඩා ඉහළින් පවතින දෙයක් බව ඔප්පු කිරීමෙනි. අද අපි ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලය සම්බන්ධව අත්දකිමින් සිටින්නේ ඒ කටුක යථාර්ථයයි.
තම බලය ගොඩනගාගැනීම වෙනුවෙන් ජනමාධ්‍යයේ ආරක්ෂකයින් ලෙස පෙනීසිටි වත්මන් ආණ්ඩුව, එම බලය වෙනුවෙන් රූපවාහිනී නාලිකා තහනම් කිරීමට, පුවත්පත් කතුවරුන් රහස් පොලිසියේදී ප්‍රශ්න කිරීමට, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට බාධා කිරීමට පෙලඹෙන්නේ ආචාරධර්මවලට වඩා බලය උදාසීන නොවන නිසායි.
සත්ගුණවත් පාලනය ඒකාධිපතිවාදයට පාර කියන අතුරු මගකි
සදාචාරවත් පාලනයක් නමින් පෙනීසිටින බොහෝ පාලන ආකෘතිවල විශාල අනතුරක් තිබේ. කිසියම් අයෙක් ඔවුන්ගේ පාලන මොඩලය සමග එකඟ නොවන්නේ නම් එය දුරාචාරය සමග පටලවා ගැනීමේ පුරුද්දක් ඔවුන්ට ඇත. ජර්මනියේ හිට්ලර්ද එය ගැඹුරින් සලකා බැලූ එකාධිපතිවරයෙකි. එවැනි පාලකයන් සදාචාරාත්මක සත්‍යය නියෝජනය කරන බව සමාජයට ඒත්තු ගැන්වීමට උත්සාහ කරයි. එහෙත් එකී ව්‍යාජය හෙළිදරව් කරන විවේචකයන් වංක, ප්‍රතිගාමී ප්‍රගතියේ සතුරන් හෝ ද්‍රෝහීන් ලෙස නිර්වචනය කරනු ලැබේ. පසුගිය දිනක ප්‍රසිද්ධ ජන හමුවකදී ජවිපෙ ලේකම් විසින් ‘අපේ සතුරන්ට කිසි දවසක සමාව ලබා නොදෙමු’ යනුවෙන් ප්‍රකාශ කළේ, ඒ වෙනුවෙන් මහජන යුක්තිසහගත බව අපේක්ෂාවෙනි.
මෙම තත්ත්වය සැමවිටම විවෘත මර්දනයකට තුඩු නොදෙන නමුත් එය ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය සැලසුම්සහගතව සීමා කරයි. පොලිසිය, රහස් පොලිසිය, වංචා දූෂණ විමර්ශන ඒකකය, ආදී ව්‍යුහයන් ඒ සඳහා භාවිත කරයි. කුමන හෝ මහජන ඒකරාශී වීමක්, විවාදයක් සැකයට බඳුන් වේ. ජාතික ආරක්ෂාව නාමයෙන් ඒවා ප්‍රශ්න කිරීමට පෙලඹේ. අනතුරුව විවේචනය පාවාදීමක් බවට අර්ථකථනය කරනු ලබයි. ඒ සඳහා සංවිධානාත්මක සමාජ මාධ්‍ය බළඇණි නිර්මාණය කරගනී. අපේ රටේ අද සිදුවන්නේ මෙයයි. එනම් සදාචාරාත්මක කඩතුරාව, වගවීමට එරෙහි පලිහක් ලෙස යොදාගැනීමයි.
උත්ප්‍රාසාත්මක ලෙස, දේශපාලන අහංකාරය යොදා ගනිමින් රත්නපුර ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා බැඳුණු ගංජා වැටලීම, සහ ආශ්‍රිත සිද්ධිය මීට කදිම උදාහරණයක් රැගෙන එයි.
බල මූලය ඝනීභවනය වී තිබියදී පරිවාරයේ සදාචාරාත්මක ප්‍රභාව දියවී යන්නේ ඇයි?
සුචරිතවාදයට ආශක්ත වූ 68 ලක්ෂයක් ජනයා සරල, නිර්ප්‍රභූ, අදූෂිත පාලනයක් දෙස බලා සිටියේය. එහෙත් ඔවුන්ට මුණගැසුණේ, කෝටි ගණනින් තැන්පතු ඇති මැති ඇමැතිවරුන්ගේ බැංකු ගිණුම්ය. විනයගරුකව රිය පදවන සමාජයක් අපේක්ෂා කළ ජනයාට දකින්නට ලැබුණේ බිමත්ව රියපදවන හිටපු කථානායකවරුය.
පාර්ලිමේන්තුව සුද්ධ කර උගතුන්ගෙන් සහ බුද්ධිමතුන්ගෙන් එය සවිමත් කළ ජනයාට හෙළිදරව් වූයේ ව්‍යාජ ආචාර්ය උපාධිධාරීන්ය. ලංකාවට ගැළපෙන නැවුම් සංවර්ධන මාවතක් බලාපොරොත්තු වූ සුවහසක් ජනයාට අයි.එම්.එෆ්. සහ නව ලිබරල්වාදයේ තෙවැනි ඉනිම දෙස බලා සිටින්නට සිදුව ඇත.
කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමැතිවරයාගේ බාල බෙහෙත්වලින් දෑස් අන්ධව හෙම්බත් වූ රෝගී ජනතාවට දැන් අසන්නට ලැබෙන්නේ එන්නත් අසාත්මික වීමෙන් මියයන ජනතාව ගැන කතාය.
කලෙක නිදහස් අධ්‍යාපනයේ ආරක්ෂකයන් ලෙස පෙනීසිටි ව්‍යාපාරයක් අද නිදහස් අධ්‍යාපනය රහසේ ප්‍රතිසංස්කරණය කරන බවට චෝදනා එල්ල වෙමින් තිබේ.
මේ එක් දිනෙක පමණක් වාර්තා වූ ප්‍රවෘත්ති කීපයකි.
‘මාලිමාවේ මොරටුව නගරාධිපති නගරසභා සේවිකාවකගෙන් ලිංගික අල්ලස් චෝදනා’
‘නීතිඥවරියකට බැණවැදුණු කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් අදත් පොලිසියට නොඑයි’
‘මාලිමා ඇමැතිවරුන් 06 දෙනකුට විරුද්ධව අල්ලස් කොමිසමට පැමිණිලි’
‘ගංජා වවපු මන්ත්‍රී ඥාතියා නිදොස්. වැටලීම සිදුකළ පොලිස්කාරයා ජොබ් එක නැතුව ගෙදර’
මේවා එතරම් බරපතළ ගණයේ ප්‍රවෘත්ති නොවුණත් ඇතැම් තැන්හි ප්‍රධාන පුවත් ලෙස ජාතික මට්ටමේ කතිකාවකට විවෘතව ඇත. ඒවා ප්‍රධාන කතිකා බවට පත්ව ඇත්තේ වත්මන් ආණ්ඩුව විසින්ම කැඳවාගත් ව්‍යාජ පාරිශුද්ධත්වය නිසාය. එය දෘෂ්ටිවාදයක් ලෙස සමාජගත කළ නිසාය.
එකී ව්‍යාජ සදාචාරය කෙතරම් ප්‍රබල ලෙස ආපසු හැරවී තිබේදයත්, වත්මන් මොහොතේ කැපීපෙනෙන ලක්ෂණයක් වී ඇත්තේ, බල කේන්ද්‍රය වටා ‘එක මිටකට රට අනුරට’ ලෙස රොද බැඳී සුචරිතවාදයෙන් මෝහනය වූ එන්.පී.පී. බල කේන්ද්‍රයේ සිටින පරිවාරයේ ආධාරකරුවන් දැන් නිහඬ වීමට ලක්ව තිබීමයි. මෙම ප්‍රවණතාව තවදුරටත් ඔවුන්ගේ ක්‍රියාකාරීන්ට ශක්තිය ලබා නොදේ. බුද්ධිමතුන් නිහඬවී ඇතුවා පමණක් නොව කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය නිර්මාල් වැනි අය දැන් ආණ්ඩුව කිචවී ඇති බව ප්‍රසිද්ධියේ කියයි. එසේ නම් සාමාන්‍ය ඡන්දදායකයන් මෙම බල ව්‍යාපෘතියෙන් ඉවත් වීම අහම්බයක් නොවේ. ඒ බවට කාලයක් සමාජ මාධ්‍ය ආධිපත්‍ය දරාගෙන සිටි මඩ බළකායේ උදාසීනත්වය තුළින්ද නිරූපණය වේ. එහෙත් ව්‍යවස්ථාපිත රාජ්‍ය බලය තවමත් ක්‍රියාත්මකව පවතී.
එය එසේ සිදුවන්නේ දේශපාලන බලයට පදනම් දෙකක් බලපාන බැවිනි. ඉන් එකක් වන්නේ විශ්වාසයයි. බල ව්‍යුහයේ න්‍යෂ්ටිය තුළ සිටින, මනා ලෙස පුහුණු කළ ජවිපෙ කාඩර්වරුන්ගේ කැපවීමයි. අනෙක වන්නේ පවතින රාජ්‍ය ව්‍යුහයයි. එනම් ආයතන පද්ධති, නීති, නිලධාරිවාදය සහ රාජ්‍ය උපකරණවල බලයයි.
එහෙත් සදාචාරාත්මක ආඛ්‍යාන බිඳවැටෙන විට, විශ්වාසය ඉක්මනින් දියවී යයි. එය විශ්වාස කළ මිනිසුන්ට කෝපයක් වෙනුවට කලකිරීමක් දැනේ. ඔවුන් කැරලි ගසන්නේ නැත. එහෙත් ඔවුහු වේදිකාවෙන් බැස යති. එනම් බලාපොරොත්තුව, අපේක්ෂාව, වෙනුවට නරුමත්වය පෙරට පැමිණෙයි.
නමුත් ආයතන සහ පද්ධති විශ්වාසය මත පමණක් රඳා පවතින්නේ නැත. මැතිවරණ ක්‍රියාවලියකින්, පසුව නිලධාරි තන්ත්‍රයක් හරහා බලය සුරක්ෂිත කරගත්තද, ඒ සඳහා ඇති මහජන විශ්වාසය මැකී ගියත් සැලකිය යුතු කාලයක් එම බලය පැවතිය හැකිය. ජනතාව ඒ පද්ධතීන් විශ්වාස කරන තාක් ආණ්ඩුව බිඳවැටෙන්නේ නැත. එසේ වුවත් ව්‍යුහයන් සහ ආයතන අසමත් වූ විට විකල්ප බල ව්‍යුහයන් මතුවී පවතින ඒවා බිඳවැටීමට ලක්වේ. මෙයින් කියවෙන්නේ, ගුණධර්ම සහිත පාලනයක් පැතූ ආධාරකරුවන් රාජ්‍යයට පෙර වේගයෙන් දියවී යන බවයි.
බොඳවී ගිය සිහින රාජ්‍යය
දේශපාලන හෝ කිසියම් සමාජ ව්‍යාපාරයක් උපත ලබන්නේ, පරමාදර්ශවලින් සහ සදාචාරාත්මක අරමුණක් පිළිබඳ හැඟීමක් සමගිනි. නමුත් එකී ව්‍යාපාර රාජ්‍ය බලය අත්පත් කරගත් පසු, ක්‍රමයෙන් නිලධාරිවාදී පද්ධති බවට පත්වේ. ඉනික්බිතිව පරමාදර්ශ වෙනුවට නීතිරීති ආදේශ කරනු ලබයි. මෙම සීරුමාරුව නොවැළැක්විය හැකි කොන්දේසියකි.
එහෙත් මෙම පරිවර්තනය දරාගත නොහැකි සමාජ ප්‍රාර්ථනයක් සහිත පරිකල්පනීය මානුෂීය වන්දි ගෙවීමකි. සමාජ දේශපාලන ව්‍යාපාරය තුළ ඒකරාශී වූ අය, එහි සදාචාරාත්මක දැක්ම විශ්වාස කරමින් කැපවූ ක්‍රියාකාරීන්ට, දැන් තමන් ඒ තුළ හුදකලා ඇති බවක් දැනෙන්නට පටන් ගනී. ඔවුන්ට තවමත් ගුණධර්මයේ භාෂාව ඇසෙන නමුත්, එහි ආත්මීය ගුණයන් තවදුරටත් අත්විඳිය නොහැක.
අවසානයේ ඉතිරිව ඇත්තේ ඔවුන් සිහින මැවූ ගුණධර්මවලින් පිරුණු මහජන ව්‍යාපාරය නොව, මීට පෙර පැවති ඔවුන්ම ප්‍රතිරාව නැංවූ සදාචාරය වැහැරී ගිය සාමාන්‍ය රාජ්‍ය පාලනයකි.
ගුණයට එරෙහිව බලය පෙරමුණ ගැනීම
සියල්ලට ප්‍රථම ඉදිරියට එන්නේ සාරධර්මවලින් පිරුණු භාෂා ආධිපත්‍යයයි. එය මහජන පරිමණ්ඩලයට පරිත්‍යාගයේ, විනයෙහි සහ සදාචාරාත්මක උසස් බවේ භාෂාවෙන් ආමන්ත්‍රණය කරයි. ඒ බසට හුදී ජනයා ආශාවෙන් සවන් දෙයි. එලෙස මිනිසුන් සවන් දෙන්නේ ඔවුන් වෙහෙසට පත්ව සිටින නිසායි. දූෂණයෙන් වෙහෙසට පත්ව සිටින, පාවාදීමෙන් කලකිරීමට ලක්ව සිටින, හෘදය සාක්ෂියකින් තොරව භාවිතා කළ බලයෙන් දේශපාලන සාංකාවට පත්ව සිටින, මිනිසුන්ට සුචරිතවත් ගුණධර්ම තමා ගලවා ගැනීමට පැමිණි ආශීර්වාදයක් ලෙස දැනෙන්නට පටන් ගනී. ජවිපෙ විසින් උපායශීලීව එම විශ්වාසය ද්‍රව්‍යාත්මකව එක්රැස් කර ගත්තේය. එම ද්‍රව්‍යමය බලය තුළින් ඔවුන් අධිකාරිය දිනාගත්තේය.
එහෙත් බලය සුරක්ෂිතව තහවුරු කරගත් පසු, බොහෝ දේ වෙනස් වීමට පටන් ගෙන ඇත. බලය හුදෙක් ගුණධර්මයන්ට කීකරු වන දෙයක් නොවේ. ඒ නිසා තමයි බලය වෙනුවෙන් අවිචාරවත් ලෙස ජනමාධ්‍ය හිලෑ කරගැනීමට මුට්ටිය දමා බලන්නේ. ඒ නිසා තමයි නිර්ධන පන්තිය පසෙක තබා කුප්‍රකට ව්‍යාපාරික හිතවතුන් ජනාධිපතිවරයාගේ සමීපතම උපදේශකවරු බවට පත්වෙන්නේ. ඒ නිසා තමයි විගණකාධිපති පත්කිරීම චේතනාන්විතවම කල් දමන්නේ. ඒ නිසා තමයි බීමත් යැයි චෝදනා එල්ල වන මන්ත්‍රීවරු රිය පදවා අනතුරු කරගත් විට බැලුම් පරීක්ෂාව නොකරන්නේ. මේ ආදී නිදර්ශන ලැයිස්තුවක් සැපයිය හැකිය. එලෙස පෙර කල පැවැති සදාචාරාත්මක ගුණධර්ම මගහැරීම අද සාධාරණීකරණය කරනු ලබන්නේ එලෙසිනි. එය එසේ සිදුවන්නේ, පාලකයන් හදිසියේම නපුරු වන නිසා නොවේ. තමා විසින් ගොඩනැගූ බල අධිකාරියට පක්ෂපාතීත්වය, සහ රහස්‍යභාවය ඉල්ලා සිටින බැවිනි.
මෙම පීඩනය ඉතාමත් බරපතළ වන අතර ගුණධර්මයන්ට එය තනිව ආරක්ෂා කර ගත නොහැක. ඒ හේතුවෙන් බල සැකැස්ම නිහඬව ඛාදනය වීම වැළැක්විය නොහැක. මාලිමා ආණ්ඩුවේ බල ව්‍යුහයේ පරිවාරය දියවී යන්නේ මෙම යථාර්ථයට අනුකූලවය.
(මතු සම්බන්ධයි)

විජේපාල දිසානායක
[email protected]










