අපි කවුරුත් දන්නවා වාගෙම තවත් එක් ජනාධිපතිවරණයක් පසුගිය මස නිමාවුණා. ඉන් පසු සිදුවූයේ කුමක්ද? (Sri Lanka Latest News)
ජාතික ජන බලවේගය දින්නා. අනුර ජනපති වුණා. හරිනිව අගමැතිනිය කළා. ආණ්ඩුව විසුරුවා හැරියා.
‘ඊළඟට අපි මහ මැතිවරණයට සූදානම් වෙනවා….’
එහෙමද? සිදුවූයේ කුමක්ද? කියලා අහපු ප්රශ්නය ඉවරයක් කරන්නේ නැහැ. ඒ ගැන තව කතාකරන්න දේ බොහොම තියෙනවා. අහන්න ප්‍රශ්නත් හුඟක් තියෙන කතාව අපි මෙහෙම පටන්ගමු.
අලුතෙන් පත්වෙන හැම ආණ්ඩුවක්ම ශ්‍රී ලාංකේය ක්‍රමයට කරන්නේ හිටපු ආණ්ඩුවේ කුණුකන්දල් හොයන එක සහ අඩුපාඩු උලුප්පන එකයි. වෙනසක් කරන්නය කියලා ආ ජාතික ජන බලවේගයත් ඔන්න ඒකම කරන්න අරගෙන.
හිටපු ආණ්ඩුවේ වැරැදි උලුප්පන එකයි, රට වට්ටවන තැනට වැඩ කරපු එකයි, රටේ ජනතාවට හෙළිදරව් කරන එක වරදක්ද?
නැහැ. එතැන කිසිම වරදක් නැහැ. හැබැයි කරන්න ඕනේ දේවල් කතාබහට ගතයුතු දේවල් තවත් තියෙනවා.
මොනද ඒ? එකක් කියමු බලන්න මොකක්ද මගහැරුණෙ කියලා.
ඒ කතාව මෙහෙම පටන්ගන්නම්. ජාතික ජන බලවේගය, එහෙමත් නැත්නම් එන්.පී.පී. එක නමින් පෙනීසිටින, දැන් ආණ්ඩු පක්ෂය පිහිටුවලා තියෙන ජනාධිපති අනුර කුමාර දිසානායකලගේ පක්ෂය ඒ කාලේ ප්‍රචලිතව තිබුණේ ජේ.වී.පී. එක නමිනුයි. ජේ.වී.පී. එක ඒ දවස්වල ආණ්ඩුවක් පිහිටුවන්න වෙරදරන කාලේ ඉඳලම ඒ ඒ කාලයට අනුව පවතින ආණ්ඩු සමග වැඩිපුරම හර්තාල් කළේ අතුරුදන් වූ මාධ්‍යවේදීන් ගැන හොයන්නට කියලාය. අතුරුදන් වූවන් ගැන විධිමත් පරීක්ෂණයක් කරන්නට කියලාය. වැඩිමනත්ම ඔවුන් කතාබහට ගත්තේ රිචඩ් ද සොයිසා ගැනය.
රිචඩ් ද සොයිසා කියන්නේ ප්‍රවීණ මාධ්‍යවේදියෙකි. ප්‍රසන්ටර් කෙනෙකි. රංගනවේදියෙකි. ඉතා තරුණ වයසෙහි පසුවූ මේ කඩවසම් කලාකරුවා ජේ.වී.පී. තරුණයන් රට සහ ආණ්ඩුව පෙරළන්නට කලබල කරන කාලේ ඔවුන්ට පක්ෂව කතා කළේය. ලිපි ලිව්වේය. අතුරුදන් වන සහ ඝාතනයට ලක්වන තරුණයන් ගැන මානව හිමිකම් කොමිසමටද නිතර දුක් ගැනවිලි කියමින් ලිපි ලිව්වේය. අතුරුදන් වූවන් මෙන්ම මරණයට පත්වන්නන් ගැන සොයාබලන ලෙස ප්‍රසිද්ධියේ ආණ්ඩුවට බලපෑම් කළේය. අතුරුදන් වූ තරුණයන්ගේ ලැයිස්තු හදමින් ඒ පිළිබඳ කරුණු සොයා බලන්නැයි වගකිව යුත්තන්ට චෝදනා කර සිටියේය. රිචඩ් ද සොයිසාට ඒ මොහොතේදී විශාල ශක්තියක් වූයේ මහින්ද රාජපක්ෂය. මහින්ද එතැන දී රිචඩ්ව විදෙස් මාධ්‍ය හමුවටද මේ පිළිබඳ කරුණු දැක්වීම සඳහා ගෙන ගියේය. හදිසියේම වාගේ රිචඩ් ද සොයිසා අතුරුදන්ව ගියේය. ඊට දින කිහිපයකට පසු වෙරළකට ගොඩගසා තිබූ ඔහුගේ ප්‍රාණය නිරුද්ධ දේහය හමුවිය. එම ඛේදනීය සිදුවීමෙන් පසුව රිචඩ්ගේ මව වූ වෛද්‍ය මනෝරාණි සරවනමුත්තු මහත්මිය තම පුතුට සිදුවූ සාහසික අපරාධය මුල්කොට ගෙන සහ අතුරුදන් වන තරුණ දරුවන් වෙනුවෙන් මහින්ද රාජපක්ෂගේත්, මංගල සමරවීරගේත් උදව් ඇතිව සංවිධානයක් පිහිටුවූයේය. අතුරුදන් වන්නන් ගැන සොයා බැලුවේය. ඒ වනවිට පක්ෂයක් ලෙස එකල තහනමට ලක්ව තිබුණු නිසා එකී සංවිධානය වෙනුවෙන් කිසිවක් කරන්නට ජේ.වී.පී. එකට බලයක් තිබුණේ නැත. එනමුත් අතුරුදන්ව ගිය සහ මරණයට පත්වූවන් අරබයා රිචඩ් ද සොයිසා කළ මෙහෙවර වෙනුවෙන් නැවත පක්ෂයක් ලෙස බලයට පත්වූ වහාම ජේ.වී.පී. එක කතා කරන්නට ගත්තේය. ඔවුන්ගේ හිස මත වූයේ සහ ඔවුනට සුවිශේෂව තිබුණේ රිචඩ් ද සොයිසා ඝාතනය පමණය. කලින් කලට එන ආණ්ඩු පෙරළියත් එක්ක ඔවුහු රිචඩ් ද සොයිසා වෙනුවෙන් සාධාරණය ඉල්ලා සිටියෝය. ඒ ගැන කෑගැසුවෝය. ඒ කෑගැසීම් ඵලක් නොවූයේ එවක විපක්ෂයේ බලයවත් ඔවුන්ට නැති නිසා වන්නට පුළුවන. කාලයාගේ ඇවෑමෙන් ජේ.වී.පී. එක කල්ලි ක්‍රමයට කැඩී ගියේය. අනුර කුමාර සහෝදරයා මූලිකව සීනුව අයින් කරමින් මාලිමාව ඡන්ද ලකුණ කරගෙන ජාතික ජන බලවේගය පිහිටුවිය. දිගින් දිගටම මාධ්‍යවේදීන් ගැන අරගල කරමින් ඔවුහු පෙරළි කළහ.
රාජපක්ෂ පාලනයත්, අහම්බයෙන් ජනපති වූ වික්‍රමසිංහ පාලනයත් නිසා හෙම්බත්ව හිටපු රටේ බහුතරය ‘රට අනුරට’ දෙන්නට ගත් තීරණය නිසා අනුර කුමාර සහෝදරයා ජනපති තනතුරට පත්ව හරිනි අමරසූරිය අගමැතිනිය විය.
දැන් ඉතින් රටට යමක් කරන්නට ඔවුන් දත කමින් මෙතෙක් කාලයක් ඉල්ලූ බලය ඔවුන්ට ලැබී ඇත.
ඉතින් අනුර සහෝදරයාට මෙතෙක් මෙරට අසාධාරණය රජ කළ තැන්, යුක්තිය ඉටු නොවූ තැන් බලා ඒ සියල්ල නීතියට අනුව නිවැරැදි කරන්නට පුළුවන. එහි ආරම්භය සඳහා වැඩිමනත්ම ඔවුන් ඉල්ලා සිටි මාධ්‍යවේදීන්ගේ අතුරුදන් වීම් සහ ඝාතනයන් ගැන හොයන්නට පුළුවන. රිචඩ් ද සොයිසා සහ මෑතකදී සාහසික ලෙස පුලුස්සා මරාදැමූ රගර් ක්‍රීඩක තාජුඩීන් ගැනද හොයනවා කියා ජනාධිපති අනුර පවසා තිබිණි. ඇත්තෙන්ම එය අගය කළ යුතුය. එලෙසම රිචඩ් පමණක්ම නොව, අතුරුදන් වූ සහ ඝාතනයට ලක්වූ අදටත් අබිරහසක්ව පවතින මාධ්‍යවේදීන් තව සිටියි. මාධ්‍ය අරබයා කළ තව මර්දනයන් සහ සාහසික ක්‍රියා ඇත. මේ, එයින් කිහිපයකි.
‘චන්ද්‍රිකා ආණ්ඩුව’ සමයේ චන්ද්‍රිකාට ‘විස්කි මැඩම්’ කියා අපහාසමය ලිපි පළකළ රෝහණ කුමාරගේ ඝාතනය තවමත් අබිරහසකි.
එම ආණ්ඩුව සමයේම ‘තාරකී’ යන ආරූඪ නමින් ප්‍රවේගකාරී දේශපාලන ලිපි ලියූ දමිළ මාධ්‍යවේදී ශිවරාම්ගේ ඝාතනයද තවමත් නොවිසඳුණු ප්රහේළිකාවකි.
සිරසට ගිනි තැබීම, සියත ටී.වී. එකට එල්ල කරපු බෝම්බ ප්‍රහාරය ගැන තවමත් විධිමත් පරීක්ෂණයක් නැත.
තිස්සනායගම්ව අහේතුකව සිර අඩස්සියේ තබා, ඇමෙරිකානු බලපෑම් මත නිදහස් කළා. ඒ සිරගත කිරීම ගැනද හේතු පාඨ හෝ පරීක්ෂණ නැත.
සන්ඩේ ලීඩර් පුවත්පත් ආයතනයට ගිනි තැබීම සහ ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැනද විධිමත් පරීක්ෂණයක් අදටත් නැත. ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය ගැනද කීමට ඇත්තේ එවැන්නකි.
මීට අමතරව රාජපක්ෂ පාලන සමයේදී මාධ්‍යවේදීහු විශාල ප්‍රමාණයක් පහරකෑමට ලක්වූහ. රිවිර කර්තෘ උපාලි තෙන්නකෝන්, කීත් නොයාර්, පෝද්දල ජයන්ත, නාමල් පෙරේරා ඉන් කිහිප දෙනෙකි.
මෛත්‍රීපාල ආණ්ඩු සමයේදී මෙන්ම රනිල් වික්‍රමසිංහ ආණ්ඩු සමයේද ඉහත කිසිදුම සිදුවීමක් වෙනුවෙන් කිසිදු පියවරක් ගත්තේ නැත. හැබැයි ඒ හැම පාලනයකටම විරුද්ධව එදා අනුර සහෝදරයා ඒ සැම වෙනුවෙන් විටින් විට සාධාරණය ඉල්ලා සිටියේය.
අද මෙදවස එවැනි ඉල්ලීම් කොට අනුරට කෑගහන්නට අවැසි නැත. හැමෝම එක්ව රට අනුරට දුන්නෝය. දැන් ඉතින් කාගෙන් බාධාවක්ද? බලපෑමක්ද? මෙතෙක් හඬනගා මොරගසා සාධාරණය ක්‍රියාත්මක කිරීමට අනුර ඇතුළු මාලිමාවට අවස්ථාව පැමිණ ඇත. මේ හොඳම අවස්ථාව වන්නටද පුළුවන.
ඉතින්, අතිගරු ජනාධිපති කියා අමතනවාටත් මනාප නැති අනුර සහෝදරයා, යටපත්ව වැළලී ගිය සෑම අපරාධයකම අසාධාරණයකම සුලමුල හොයන්නට ගනිමු. රිචඩ් ද සොයිසාට, තාජුඩීන්ට පමණක් නොව, සාධාරණයක් ඉටු නොවූ හැමෝම වෙනුවෙන් නීතිය ඉටු කරමු.
මල්මි කෞෂල්‍යා










