ව්‍යවස්ථාවෙන් ජනතාවට ලබාදී ඇති ඡන්ද අයිතිය තහවුරු කරන ලෙස බලකරමින් ලබන ජුනි 09 වැනිදා නව අරගලයක් ආරම්භ කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කොට ඇත.
ඉකුත් පෙබරවාරි මාසයේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණද ආණ්ඩුව අවස්ථා ගණනාවකදීම එය කල්දැමීමට කටයුතු කළේ මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් නැති බව රටට දැනුම් දෙමිනි.
විපක්ෂය සහ වෙනත් පාර්ශ්ව ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර තිබූ අතර, එහිදීද ආණ්ඩුව අධිකරණය හමුවේ කියා සිටියේ මූල්‍ය අර්බුදය මුල් කරගෙන මේ අවස්ථාවේදී මැතිවරණයක් පැවැත්වීමට නොහැකි යැයි කියාය.
ඒ අනුව ආණ්ඩුව මූල්‍ය අර්බුදයෙන් මිදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතූ අතර, මේ වන විට එම සහාය හිමිවී මාස 03ක කාලයක් ගෙවීගොස් ඇත.
මේ තත්ත්වය හමුවේ පසුගිය මාස 03ක කාලය පුරාම නිහඬව සිටි ජනතා විමුක්ති පෙරමුණ එම නිහඬතාව බිඳිමින් ලබන ජුනි 09 වැනිදා යළිත් වතාවක් මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා රට ඇතුළේ දැවැන්ත අරගලයක් ආරම්භ කිරීමට තීරණය කොට ඇත.
දිස්ත්‍රික්ක මට්ටමින් රට පුරා දියත් කිරීමට සැලසුම් කර ඇති මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය අවසානයේදී ආණ්ඩුවට දැනෙන ආකාරයේ දැඩි ක්‍රියාමාර්ගයන්ට යොමුවීමටද ජනතා විමුක්ති පෙරමුණ තීන්දු කොට ඇති බව දැනගන්නට ඇත.