ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාව යටතේ ග්‍රාමීය ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති ග්‍රාමීය පාලම් ඉදිකිරීමේ වැඩසටහන යටතේ බෙන්තර ගඟ හරහා ඉත්තෑපාන සහ හොරවල යාකරමින් ඉදිකිරීමට යෝජිත නව පාලම සහ බලපිටිය ප්‍රදේශයේ මාදු ගඟ හරහා ඉදිකිරීමට යෝජිත නව පාලම් ද්විත්වය සඳහා මුල් ගල් තැබීම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක , මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද දින සිදු කෙරිණි.
බලපිටිය ප්‍රදේශයේ මාදු ගඟ හරහා ඉදිකිරීමට යෝජිත නව පාලම් ද්විත්වයේ පළමු පාලමේ දිග මීටර් 330.5 කි. පළල මීටර් 4.8 කි. දෙවන පාලමේ දිග මිටර් 49.55 කි. පළල මීටර් 4.8 කි. මෙම පාලම් දෙක සඳහා වැය කරන මුදල රු.මිලියන 975.9 කි. . මහාමාර්ග අමාත්‍යාංශයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ සෘජු අධීක්ෂණය යටතේ රාජ්‍ය සංවර්ධන හා ඉදිකිරීම් සංස්ථාව ( SD&CC ) මඟින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබයි. මාස 24ක් ඇතුලත මෙම පාලමේ ඉදිකිරීම් කටයුතු නිම කිරීමට සැලසුම් කර ඇත.
බෙන්තර ගඟ හරහා ඉත්තෑපාන සහ හොරවල යාකරමින් ඉදිකිරීමට යෝජිත නව පාලමේ දිග මීටර් 133.2 කි. පළල 10.4 කි. මෙම පාලම ඉදිකිරීම සඳහා රු.මිලියන 590.7 ක මුදලක් වැය කෙරේ. මහාමාර්ග අමාත්‍යාංශයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ සෘජු අධීක්ෂණය යටතේ රාජ්‍ය සංවර්ධන හා ඉදිකිරීම් සංස්ථාව ( SD&CC ) මඟින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබයි. මාස 24ක් ඇතුලත මෙම පාලමේ ඉදිකිරීම් කටයුතු නිම කිරීමට සැලසුම් කර ඇත.











