ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පිළිබඳ තමා කණගාටුව පළකරන බව අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.
සරත් වීරසේකර මහතා විසින් පොලිස් ස්ථානාධිපතිවරයෙකුගේ ස්ථාන මාරුවක් සිදුකිරීම සම්බන්ධයෙන් ඇතිවු ගැටලුවක් මත තමන් පාදුක්ක සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ජගත් කුමාර මන්ත්‍රීවරයා ඊයේ (17) ප්‍රකාශ කළේය.
දින 10ක් ඇතුළත තමා පීඩාවට පත්වී ඇති ගැටලුවලට විසඳුමක් නොලැබුණහොත් එලෙස ඉල්ලා අස්වීමට පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා ප්‍රකාශ කළේ, එම මන්ත්‍රීවරයා පිළිබඳ කණගාටුව ප්‍රකාශ කිරීම හැර වෙනත් කිසිවක් නොමැති බවය.
වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
“ජගත් කුමාර මහතා ගැන බොහෝම කණගාටු වෙනවා. මොකද අපේ සමහර උදවිය ඉන්නවා ඉස්සර කටුස්සන්ට රත්‍රං බැන්ඳහම අං එනවා නේ. අන්න එහෙම අං ආව කෙනෙක් විදියට මං දකින්නේ. එහෙම නැතුව එතුමයි මායි අතර කිසිම ගැටුමක් තිබුණේ නෑ. එතුමායි මායි අතර ප්‍රශ්නයක් තිබුණේ නෑ. නමුත් එතුමාට මාත් එක්ක බොහෝම කේන්ති ගිහින් තියෙනවා. මං එතුමාට කියන්න කැමතියි මම කොළඹ දිස්ත්‍රික්කයේ, මන්ත්‍රීවරයෙක් හැටියට එක දවසක් නෙමෙයි 1983 සිට අද වෙනකල් සෑම මැතිවරණයකින් ම ජයග්‍රහණය කරලා ඇවිල්ලා තියෙන්නේ. එතුමා සරත් වීරසේකර මහතාට දොස් කියලා තිබුණා. එතුමාට පුළුවන් පොලිස් නිලධාරීන්ව මාරු කරන්න කවුද ඉල්ලලා තියෙන්නේ නැත්තේ කියලා ලිපිගොනු එක්ක කතා කරන්න.”










