මෙරට බෞද්ධ ජනතාව අතර වඩාත් ප්‍රචලිත ධර්ම දේශකයාණන් වහන්සේ නමක් වන පූජ්‍ය මාවරලේ භද්දිය ස්වාමින්වහන්සේ, ලහිරු මුදලිගේ යූටියුබ් නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට පසුගියදා එක්වුණා. එහිදී උන්වහන්සේ දැක්වූ අදහස්වලින් කොටසක් පහත පළකරමු.Sri Lanka Latest News
අනුන්ගෙ අච්චුවකට මං වැටෙන් නෑ. මම ධර්ම දේශකයෙක්නෙ දැන්. මම මේ වැඩේට ආවට පස්සෙ මගෙ ප්‍රධාන දේ තමයි, මට පක්ෂෙක බණ කියන්න බෑ. කණ්ඩායමක බණ මට කියන්න බෑ. මම බුදු හාමුදුරුවන්ගෙ ධර්ම දේශනාව තමයි කරන්නෙ. මට අවබෝධ වෙච්ච විදිහට. ඒකත් කියන්න එපැයි. සමහර කෙනෙක් කියයි මේ ඔබ වහන්සේගෙ බණවල තනිකරම නිවන් මගම නෙමෙයිනෙ තියෙන්නේ කියලා. ඒ ඒගොල්ලො හිතන එකනෙ. ඒ ඒගොල්ලොන්ගෙ දැනුම් සීමාව. මගේ අවබෝධය හැටියට මම නිවන් මගෙන් පිට කිසිවක් කියන් නෑ. මම කියලා දෙන දේවල් සරලයි. මම සමහර වෙලාවට මිනිස්සුන්ට කියන්නෙ මාන්නෙ අඩු කරගන්න. ඊර්ෂ්‍යා කරන්න එපා. ඉතින් මට අනුව චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න බෑ මාන්නය අධික කෙනාට. ඊර්ෂ්‍යා බහුල කෙනාට. එයාගෙ මනසෙ මෝහයයි, අවිද්‍යාවයි, ද්වේශයයි පිරිලනෙ. ඒකනෙ මාන්නයෙන් ඊර්ෂ්‍යාවෙන් මිනිස්සු ඉන්නෙ. ඉතින් මම ඔය ටික කියලා දෙනකොට ඉතින් සමහරුන්ට අනුව නිවන් මග නෙවෙයි. මට අනුව නිවන් මග. මම දන්නවා භාග්‍යවතුන් වහන්සේ දේශනාව අහන් හිටියොත් මට දොස් කියන් නෑ කියලා. මම වැරදි තැනක මිනිස්සු සමාදන් කරවන් නෑ.
මිනිස්සු එක එක කාලවලට ඇවිල්ලා අපෙන් ඉල්ලීම් කරනවා දැන් ඔබ වහන්සේ මේ මවුබිම වෙනුවෙන් කතා කරන්න ඕනෙ. කතා කරන්නෙ නෑ වගේ තේරුණාම අර කමෙන්ට් ගහනවනෙ නේද? ඇවිල්ලා බණට යටින් කමෙන්ට් කරනවා. ඉතින් මට ඒ වගේ කීබෝඩ් වීරයො ගැන එච්චර ලොකු ප්‍රශ්නයක් නෑ. මොකද හේතුව මම මේ රට මුදාගත්ත, නිදහස් කරගත්ත ඇත්ත වීරයෙක්ගෙ ජීවිතය ගෙවපු කෙනෙක්නෙ. අද ජීවතුන් අතරත් ඉන්නවා ඒ වීරයො. සමහර වීරයො දෑත් දෙපා නැතුව ඉන්නවා. ඊළඟට සමහර වීරයො මට කියලා පිරිත් නූල ගැට ගහගෙන ගිහිල්ලා ඒගොල්ලො ආයෙ ආවෙ නෑ ජීවතුන් අතරට. ඒගොල්ලො වීරයො ලෙසම උතුරු නැගෙනහිර කැලෑවක ඒගොල්ලො මියගියා. සමහර විට දේහයවත් ගෙදර ආවෙ නෑ. කෙසෙල් කොටයක් හරි මොකක් හරි තමයි සමහර විට ආවනම් ආවෙ. ඒ වගේ වීරයො, ඇත්ත වීරයො, සුපර් හීරෝස්ලා එක්ක වැඩ කරපු අපට ඇත්ත වශයෙන්ම මේ වර්තමාන කීබෝඩ් වීරයන්ගෙ ඒ කතා ඇත්තටම නිකන් අර පයට පෑගුණු දූවිල්ලක් තරම්වත් වටින්නෙ නෑනෙ. ඇත්ත වීරයො දැකලනෙ. ඇත්ත වීරයොත් එක්ක ජීවත් වෙලා තියෙනවනෙ. ඇත්ත වීරයො කවුද කියලා අඳුනගෙන තියෙනවනෙ.
ඉතින් මේ කාලයේ වීරත්වයට යන්න තියෙන්නෙ ඇත්තටම ඔය පහෙන් පහට එන රැල්ලෙ කෙනෙක් වෙන එකනෙ. ඉතින් ඒ පහේ ඉන්න පුළුවන් වීරයා වගේ. ඊට පහේ ඊළඟ පහේ එයා ද්‍රෝහියා. ඉතින් මම මං දන්න හාමුදුරුවරු ගොඩකටත් හැමතිස්සෙම කිව්වා හාමුදුරුවො මේ මැදට යන්න එපා. බොහොම ආදරෙන්. ඒක හාමුදුරු කෙනෙක් පසුගිය කාලෙ මට හමුවෙච්ච වෙලාවක කිව්වා භද්දිය ඔයා පොඩි කාලෙ ඉඳලා සමාජ දේශපාලනික කටයුතු කරලා ඔයාට තිබුණු එක්ස්පීරියන්ස් හින්දා ඔයා මේකෙ මැදට පැනලා විනාශ වුණේ නෑ. අපි බණ දහම් කියමින් ඉඳලා වෙන දේශපාලනය ගැන හාංකවිසියක් දන්නෙ නැතුව ඉඳලා මේක මැදට ගියා. ගිහිල්ලා අපි යූස් වුණා ගොඩක්. අපේ මුළු ජීවිතේම වැනසුණා කියලා මට එක හාමුදුරු කෙනෙක් අවංකව කිව්වා. ප්‍රධාන හාමුදුරු කෙනෙක්. මොකද මම ඇත්තටම උන්වහන්සේටත් කලින් ඒ යන යෑම දැක්කම මම කලින් ඉල්ලීම් කරා ඔබ වහන්සේ පරිස්සම් වෙන්න. ඔච්චර යන්න එපා. මොකද ඔය කවුරුවත් අපිට වගකියන්නෙ නෑ කියලා. කිසිදු පක්ෂයක් අපිට වගකියන්නෙ නෑනෙ. කිසිදු පක්ෂයක්. නිල්ද, කොළද, රතුද, කහද, දම්ද නෙමෙයි. ඔය හැම පක්ෂෙකටම ඒගොල්ලොන්ගෙ වේදිකාව සරසා ගන්න කොඩියක් විතරයි අපේ මේ සිවුර. ඒක අපි තේරුම් ගන්න ඕනෙ. ඒගොල්ලොන්ට බලයට යන්න පාලමක්, පඩිපෙළක් විතරයි. ඊට පස්සෙ ඉතින් වැස්සට අහුවෙලා ඉහළපු කුඩේ වගේ තමයි. අපිට කරන්න පුළුවන් දෙයක් නෑ ඒගොල්ලොන්ට බලය හම්බවුණාම.
දැන් ඕක තේරුම් ගන්න ඕනෙ අපි. එහෙමයි කියලා රටේ අද දුප්පත් මිනිස්සුන්ගෙ ප්‍රශ්නයක් නම්, රට බෙදන කඩන විදිහෙ ප්‍රශ්නයක් නම්, අපේ ජාතීන්, ආගම් අසමගි කරන ප්‍රශ්නයක් නම්, භද්දිය හිමි එළියට එනවා. ඒක අපේ රට වෙනුවෙන් අපි කළ යුතුයිනෙ. අපිට දන් පැන් දෙන මිනිස්සු, අපිට පුංචි කාලෙ ඉඳලා අවුරුදු 10 ඉඳලා උගන්නපු මිනිස්සු දුකට පත්වෙනවා නම් එතෙන්දි අපි එන්න ඕනෙ. හැබැයි පක්ෂ දිනවන්න බණ කියන් නෑ.
චානක ලියනගේ










