මැදපෙරදිග උග්‍ර වෙමින් පවතින යුද ගැටුම් හමුවේ ඉදිරි සති කීපය ඇතුළත ශ්‍රී ලංකාවටද භයානක ආර්ථික ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදුවනු ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ සඳහන් කරති.Sri Lanka Latest News
ඔවුන් පෙන්වා දෙන්නේ මැදපෙරදිග කලාපයේ ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 10කට අධික පිරිසක් රැකියා කරමින් සිටින බවත්, මුළු කලාපයම නොනවතින යුද්ධයකට මැදිවීමෙන් ඔවුන්ගේ රැකියා සම්බන්ධයෙන් බරපතළ අවිනිශ්චිතතාවක් මතුව ඇති බවත්ය.
මේ හේතුකොට ගෙන මැදපෙරදිගින් රටට එන විදේශ විනිමය විශාල වශයෙන් පහත වැටෙනු ඇති බව පෙන්වා දෙන එම ආර්ථික විශ්ලේෂකයන් ඒ හරහා ඉදිරි කාලයේදී රටට බරපතළ ඩොලර් හිඟයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත්, විදෙස් සංචිත අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් පෙන්වා දී ඇත.
මීට අමතරව ලංකාවට ආනයනය කරනු ලබන තෙල්, ගෑස් ඇතුළු සියලු භාණ්ඩවල මිල සහ ලංකාවෙන් අපනයනය කරනු ලබන සියලු භාණ්ඩවල මිල ඉහළ යෑමේ තත්ත්වයක්ද මේ වනවිට මතුව තිබේ.
ඒ, ලෝකයේ විශාලතම නාවික භාණ්ඩ ප්‍රවාහන සමාගම්වලින් එකක් වන මෙඩිටෙරනියන් ෂිපිං කම්පැනි හෙවත් එම්.එස්.සී. සමාගම ඉන්දියානු උපමහද්වීපයෙන් (ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය) අප්‍රිකාවට සහ ඉන්දියානු මහද්වීපයේ දූපත් රටවලට භාණ්ඩ ප්‍රවාහනය සඳහා ‘යුද අවදානම් අතිරේක ගාස්තුවක්’ පැනවීමට තීරණය කර තිබීම හරහාය.
මෙම තීරණය 2026 මාර්තු 05 දින සිට ක්‍රියාත්මක වන අතර, මැදපෙරදිග කලාපයේ පවතින ආරක්ෂක අවදානම් සහ නාවික මාර්ගවලට එල්ල වන ප්‍රහාර හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව සමාගම ප්‍රකාශ කරයි.
ඒ අනුව නව ගාස්තු ව්‍යුහයේදී ඉන්දියානු උපමහද්වීපයෙන් අප්‍රිකානු හා ඉන්දියානු මහද්වීප දූපත් රටවලට භාණ්ඩ ප්‍රවාහනයේදී සාමාන්‍ය 20 අඩි කන්ටේනරයක් සඳහා අතිරේක ඇමරිකානු ඩොලර් 500ක්ද, ශීතකරණ කන්ටේනරයක් සඳහා අතිරේක ඇමරිකානු ඩොලර් 1000ක්ද, ගල්ෆ් කලාපයෙන් අප්‍රිකාවට යන භාණ්ඩ සඳහා තවත් ඉහළ ගාස්තු පැනවීමටද සමාගම තීරණය කර තිබේ.
මෙම තත්ත්වය හේතුවෙන් නාවික භාණ්ඩ ප්‍රවාහන රක්ෂණ සමාගම්ද සිය යුද අවදානම් රක්ෂණ ගාස්තු ඉහළ දමමින් ඇති අතර, ඇතැම් රක්ෂණ සමාගම් එම කලාපවලට යන නැව් සඳහා ආවරණය ලබාදීම සීමා කිරීමටද පියවර ගනිමින් ඇත.
මෙම තීරණය ශ්‍රී ලංකාවට ඍජුව සහ වක්‍රව බලපාන අතර, එහිදී භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඉහළ යාමත්, ආනයන හා අපනයන වියදම් වැඩිවීමත්, නාවික රක්ෂණ ගාස්තු ඉහළ යාමත් සිදුවනු ඇත.
මේ අතර, පසුගිය සිකුරාදා දිනයේදී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතාද පාර්ලිමේන්තුවේදී අවධාරණය කර සිටියේ නැව්, ගුවන් යානා ගමන්වලට සීමා පැනවීම හේතුකොට ගෙන දැනට ඉල්ලුම් කර ඇති අත්‍යාවශ්‍ය සේවාවල ප්‍රමාදයන් සිදුවීමේ ඉඩක් ඇති බවකි.
ඒ අනුව ඉදිරි සති කීපය ලංකාවට අතිශය තීරණාත්මක බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.
මීට අමතරව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේ මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් තෙල්, ගෑස් සහ ඖෂධ මිල ඉහළ යෑමේ අවදානමක් මතුව ඇති බවත්, මැදපෙරදිග රැකියා කරන මිලියනයකට ආසන්න ලාංකිකයන්ගේ රැකියා සම්බන්ධයෙන් අවදානමක් මතුව ඇති බවත්ය.
මේ තත්ත්වය සම්බන්ධයෙන් වහාම සොයා බලා ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් ආණ්ඩුව වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.










