මේ ආයෙත් උදාවෙලා තියෙන්නේ පෝලිම් කාලයක්. ගෑස් පෝලිම් ඉවර වෙලා දැන් තෙල් පෝලිම් ඇවිල්ලා. ආයෙත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ යාම සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟවීම පිළිබඳ කතාබහක් අපේ රටේ ඇතිවෙමින් යනවා. අපි දන්නවා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බොහෝ වෙලාවට අපිට නොලැබී යාමට දැන් ඉඩ තිබෙනවා. ඒක නිසා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟයක් නිර්මාණය වෙනවා. අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟයක් නිර්මාණය වුණොත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සඳහා විශාල පෝලිම් නිර්මාණය වෙන්න ඉඩ තියෙනවා.Sri Lanka Latest News
මේ පෝලිම්වල ඉන්න මිනිස්සු තෙල් ගහගන්න පොර කනවා. පෝලිම්වල යම් යම් ගැටුම් ඇතිවෙනවා. පෝලිම්වලට ආරක්ෂාව ලබාදෙන්න සිද්ධ වෙනවා. පෝලිම් නිසා පාරේ තදබදය නිර්මාණය වෙනවා. මිනිස්සුන්ට ප්‍රශ්න හැදෙනවා. කුලී කරන අයට, දවසේ පඩියට වැඩකරන අයට ආර්ථික අහේනියක් නිර්මාණය වෙනවා. මේ සියල්ලම පැරණි පින්තූරෙම තමයි.
පරණ චිත්‍රයේදී අපි දැක්කේ පාලකයාගේ රූපය තුළ හිටියේ ගෝඨාභය රාජපක්ෂ. හැබැයි දැන් ගෝඨාභය රාජපක්ෂ නෙමෙයි, පාලකයාගේ පින්තූරෙ ඉන්නේ වෙන එක්කෙනෙක්. ඔහු තමයි අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිස වෙනස්. හැබැයි රූපය එකයි, චිත්‍රය එකයි. පොඩි දෙයකට කියන්න තියෙන්නේ කතන්දරේ වෙනස්.
දැන් මේ ආර්ථික අර්බුදයට හේතුව විදියට අපි දැක්කා මාලිමාවේ අය අපූරු වැකියක් නිර්මාණය කරලා තියෙනවා. ‘එදා ප්‍රශ්නය වුණේ සුද්දේ, අද ප්‍රශ්නය වුණේ යුද්ධෙ’ කියලා. ඇත්තටම ඒක ඔව්, ප්‍රශ්නය වෙනස්. හැබැයි සමාජයේ හැසිරීම සහ සමාජයේ ඇතිවෙලා තියෙන තත්ත්වය එක සමානයි. අපිට සාමාන්‍ය මහජනතාව විදියට ප්‍රශ්නය මොකක් වුණත්, හේතුව මොකක් වුණත් දැනෙන්නේ, විඳින්නේ, විඳවන්නේ එකම එකවිදියට.
අලුත් අවුරුද්දක් ළඟ එනවා. අලුත් අවුරුදු කාලේ බොහෝ වෙලාවට මිනිස්සු ගමන් බිමන් වැඩියෙන් යනවා. තමන්ගේ ආදරණීයයන් බලන්න යනවා, ගමේ යනවා, මහගෙවල්වලට යනවා. මහගෙවල්වල උදවිය ගම් රටවල්වලට තමන්ගේ නෑදෑ හිතමිත්‍රාදීන් එනතුරු බලාගෙන ඉන්නවා. සමහර වෙලාවට මේ වැඩේ වෙන්නේ අවුරුද්දටම එක පාරයි. ඉතින් ඒ නිසා මේ උදාවෙලා තියෙන්නේ හරිම සුන්දර සහ අපි බලාපොරොත්තුවෙන් හිටපු කාලයක්. නමුත් අවාසනාවකට මේ සිදුවීම් පෙළ එක පිට එක සිදුවෙමින් යනවා.
මේ ප්‍රශ්නයට උත්තර හොයද්දී ගෝඨාභය රාජපක්ෂට වඩා උත්තර හෙවීම ඇතැම් වෙලාවට අනුර කුමාර දිසානායකට අමාරුයි. ඇතැම් තැන්වලදී ගෝඨාභය රාජපක්ෂට වඩා අනුර කුමාර දිසානායකට මේකට මුහුණ දෙන එක ලේසියි. ගෝඨාභය රාජපක්ෂට තිබුණු ප්‍රශ්නය තමයි හොරාකාපු, හොරකම්වලට වගකියන්න ඕනේ, හොරු යැයි සම්මත ලේබල් අලවා ගත්ත පිරිසක් එක්ක මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න සිද්ධ වීම.
ඇත්තටම ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන දැනුම ඉතාමත් අල්පයි. ඔහු දේශපාලකයෙක් විදියට වැඩ කරලා තිබුණේම නැති තරම්. නමුත් අනුර කුමාර දිසානායකගේ තත්ත්වය වෙනස්. අනුර කුමාර දිසානායකගේ කණ්ඩායමම කියන විදියට ඔවුන් සතුව ඉන්නේ ඉතාම ඉහළ දැනුමක් සහිත ප්‍රවීණයෝ, යම් යම් විෂය ක්ෂේත්‍රවල ප්‍රවීණයෝ. ඒ නිසා ඔවුන්ගේ දැනුම ගැන ආයේ ප්‍රශ්න කරන්න දෙයක් නැහැ. ඒ වගේම ඒගොල්ලන්ගේ හොරකම නැහැ. ඒගොල්ලෝ ගාව මේ වෙලාවේ තියෙනවා ලොකු ආර්ථිකයක්, ඉතා පොහොසත් භාණ්ඩාගාරයක්. භාණ්ඩාගාරය පොහොසත් වුණාම, ආර්ථිකය ඉතාමත් ශක්තිමත් වුණාම රටකට ප්‍රශ්නවලට උත්තර හොයන එක අමාරු නැහැ. සරලව කිව්වොත් සල්ලි තියෙනවා නම් ගේමක් ගහගන්න පුළුවන්. එතකොට සල්ලි තියෙනවා නම් ගහන්න පුළුවන් ගේම් මොනවද? අපිට තෙල් ගන්න තැනට වඩා වෙන තැනකින්, වෙනත් පාර්ශ්වයකින් තෙල් ටිකක් හරි අරගෙන මිනිස්සුන්ට බෙදලා දෙන්න පුළුවන්. ඒ වගේම මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරු නම් ඒකට අවශ්‍ය කරන සහනාධාරය ගෝඨාභයට වඩා ලේසියෙන් දෙන්න අනුර කුමාරට පුළුවන්. ඒකට හේතුව ගෝඨාභය රාජපක්ෂට මේ ආධාර බෙදිල්ලට තිබුණු ප්‍රශ්නයක් තමයි එයාට සිද්ධ වුණා සල්ලි අච්චු ගහලා බෙදන්න. සල්ලි අච්චු ගැහුවම ඒ සල්ලි අච්චු ගැසීම නිසා රටට වුණේ හොඳක් නෙමෙයි ඉතාමත් නරකක්. හැබැයි ඒ ඉතාමත් නරක කියන එක ගැන ඔවුන්ට ලොකු හැඟීමක් තිබුණේ නැහැ. විශේෂයෙන්ම අපි දන්නවා සාමාන්‍යයෙන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ගොඩ දෙනෙක්ට එහෙම ලොකු හැඟීමක් තිබුණේ නැහැ. ඒගොල්ලන්ට තිබුණේ තමන්ගේ ආර්ථිකය, තමන්ගේ බඩ, තමන්ගේ ගොඩ වැඩිකර ගැනීමේ වුවමනාව.
ඉතින් මේ ආණ්ඩුව බලයට එන්නෙම තමන් සතුව ඉන්න විශිෂ්ටතමයෝ, එහෙම නැත්තම් දැනුමෙන් පොහොසත් පුද්ගලයෝ එක්ක තමන් මේ ගමන යනවා කියලා. ආර්ථික විශේෂඥයෝ, විවිධ ක්ෂේත්‍රවල දැනුම තියෙන විශේෂඥයන් ඔවුන් සමග හිටියා. ඉතින් ඒ නිසා ඔවුන්ට කිසි ගැටලුවක් තිබුණේ නැහැ, කිසි ගැටලුවක් වෙන්න විදිහකුත් නැහැ. දැන් යම්කිසි තැනකදී ඔවුන්ට ගැටලුවක් නිර්මාණය වෙනවා නම් ඒ ගැටලුවට උත්තරයත් ඔවුන් සතුව තියෙන්න ඕනේ. මොකද මේ විචක්ෂණශීලී දැනුම සහිත පුද්ගලයන්ට උත්තර හොයන්න අමාරු නැහැ ප්‍රශ්නවලට.
අනිත් කාරණය තමයි හේතුව මොකක් වුණත් ගෝඨාභය රාජපක්ෂට මේ ආර්ථික අර්බුදය විසඳගන්න බැරුව ගෙදර යන්න සිද්ධ වුණා. එතැනදී සිද්ධ වෙච්ච දේ තමයි මිනිස්සුන්ට රිදුණා. මිනිස්සුන්ට රිදුණේ ඇයි කියන එක නෙමෙයි වැදගත්. මිනිස්සුන්ට තෙල් නැතුව ගියේ ඇයි කියන එක මිනිස්සුන්ට වැදගත් නැහැ. මිනිස්සුන්ට වැදගත් වෙන්නේ තෙල් තියෙනවද නැද්ද කියන එක. බලයට පාලකයෙක් ආවට පස්සේ පාලකයට තෙල් දෙන්න පුළුවන්ද බැරිද කියන එක මුළු ලෝකෙම ප්‍රශ්නයක් වුණත් මිනිස්සුන්ට ඒක අදාළ නැහැ. ඒ වගේම අත්‍යාවශ්‍ය භාණ්ඩ ටික මිනිස්සුන්ට එන්නේ නැත්නම් මිනිස්සු කලකිරෙනවා, මිනිස්සුන්ට එපා වෙනවා. ඉතින් ඒ නිසා එපා වුණාම මිනිස්සු කරන්නේ තමන්ගේ මේ මොහොතේ ඉන්න පාලකයාව අයින් කරලා දාලා වෙන පාලකයෙක් කියන විකල්පයට යන එක.
ඒ නිසා මේ වෙලාවේ මාලිමාවේ ආණ්ඩුවට පරිස්සම් වෙන්න වෙනවා. ගෝඨාභයගේ ආණ්ඩුවට තිබුණා පරිස්සම් වෙන්න, හේතුව ගෝඨාභයගේ ආණ්ඩුව හැම වෙලාවකම කළේ තමන්ගේ පිලේ ඉන්න හොරුන්ගෙන් ආණ්ඩුව බේරගන්න සිද්ධ වෙච්ච එක. ඒ නිසා ඒගොල්ලන්ට මේක ගැලවිලා යන මොහොතේ හරියටම ඕනෙ නම් පුළුවන්කම තිබුණා දැන් මේක ඉවර වෙන්නයි යන්නේ, මේක ගැලවෙන්නයි යන්නේ, මේක භයානක තත්ත්වයක්, මේකට මේකෙන් අපිට වෙන්න යන හානිය විශාලයි කියලා තේරුම් අරගෙන මේ තත්ත්වයට මුහුණ දෙන්න අවශ්‍ය පූර්ව සූදානම කරන්න.
ඒ නිසා ගෝඨාභයට ගෙදර යන්න සිද්ධ වුණාට ගෝඨාභයගේ පිලේ බොහෝ පාලකයෝ, බොහෝ කණ්ඩායම් ඒ වෙලාවේ ගෙදර ගියේ නැහැ. ඒගොල්ලෝ රනිලුත් එක්ක ඇවිල්ලා ආයෙත් බලය ගත්තා. ඒගොල්ලෝ ආයෙත් තමන්ගේ වැඩේ කරගත්තා කොහොම හරි. පස්සේ මිනිස්සු තීරණය කළා නැහැ උඹලා අපිට එපා කියලා. පනස් ගණනක් එවක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ආණ්ඩුවේ අය, දේශපාලකයෝ සම්පූර්ණයෙන්ම පන්නා දැමීමේ මෙහෙයුමක් ලංකාවේ දියත් වුණා. මේවා අපේ රටට ඕපපාතිකව ආපු දේවල් නෙමෙයි. ඒ නිසා මේ ආණ්ඩුවටත් මේ ප්‍රශ්නයේදී මුළු ලෝකයටම ප්‍රශ්නය එනවා, හැම තැනම තෙල් නැතිව යනවා, හැමෝම තෙල් වැඩිකරනවා කියලා කිව්වට හරියන්නේ නැහැ. ලෝකේ ගොඩක් රටවල් ප්‍රශ්නය කළමනාකරණය කරගන්න සැලසුම් හදලා ඉවරයි. ප්‍රශ්නය කළමනාකරණය කරගැනීම සඳහා සමහර රටවල් හදලා තියෙන විකල්පය තමයි ඔවුන් දෙවැනි විකල්පයකට කලින් ඉඳලම සූදානම් වෙලා හිටියා. ඔවුන් දැනගෙන හිටියා අපිට තෙල් නැත්නම් අපි ඊළඟට තෙල් ගන්නේ කොහෙන්ද කියන එක. ඉරානෙන් තෙල් එන්නේ නැත්නම් රුසියාවෙන් ගන්න පුළුවන් විකල්පය ඒගොල්ලෝ සාකච්ඡා කරලා තිබුණා. ලෝකේ අනිත් රටවල් එක්ක ගිවිසුම් සහ එකඟතා හදාගෙන තිබුණා. ක්‍රෙඩිට්වලට තෙල් දෙන්නේ නැත්නම් සල්ලිවලට තෙල් ගන්න පුළුවන් ක්‍රම හදාගෙන තිබුණා. රටේ ආර්ථිකය ශක්තිමත් කරලා රටේ මහජනතාවට අවශ්‍ය කරන නිෂ්පාදන රට ඇතුළෙම කරන්න පුළුවන් උපක්‍රමයක් හරි හදාගෙන තිබුණා. කිරිපිටි පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් කිරිපිටි තමන්ට අවශ්‍ය ප්‍රමාණය අඩුම තරමේ රටේ නිෂ්පාදනය කරගන්න රටවල් පුරුදු වෙලා තිබුණා. අපේ රටේ වගේ ඉඳිකට්ටේ ඉඳලා පිටරටින් ගේන ක්‍රමවේද ලෝකේ අනිත් රටවල් අනුගමනය කළේ නැහැ. ඒ නිසා මුළු ලෝකයම වහලා දැම්මත් ස්වදේශීය ආර්ථිකයක් සහිත මිනිසුන්ට ස්වායක්තතා න්‍යායත් එක්ක නැගිටින්න පුළුවන්කමක් තිබුණා.
අපි කොත්තමල්ලි ගේන්නෙත් පිටරටින්, අපි බෙලිමල් ගේන්නෙත් පිටරටින්, අපි කටුවැල්බටු ගේන්නෙත් පිටරටින්. අපිට බෙහෙත් හේත්, කෑම බීම සියලු දේවල් පිටරටින් ගේන්න පුරුදු වෙලා පුරුදු වෙලා මේකට ඇබ්බැහි වෙලා මේකෙන් මිදෙන්න බැරුව අපි ඒක ඇතුළෙම ජීවත් වෙන්න පටන් ගත්තා. ගේන බඩුවලට කාට කාට හරි කීයක් හරි යන විදිය වැඩපිළිවෙළක් හදා ගත්තා. ඒකත් එක්ක වැඩිපුර පිටරටින් ගේන තරමට හොඳයි කියන සංකල්පය ආවා. ඒකට අවශ්‍ය කරන උදව් උපකාර කරනවා මිසක් වෙන විකල්පයක් ගැන ඒගොල්ලෝ හිතුවෙවත් නැහැ. ඒත් එක්කම අපි තවදුරටත් විශාල ආර්ථික අර්බුදයක් ඇතුළේ හිරවුණා. ඒ හිරවෙච්ච ආර්ථික අර්බුදය මුළු ලෝකෙන්ම පිටරටවල්වලට බඩු ගෙනියන එක නතර වුණොත් බැරි වෙලා හරි රටෙන් රටකට බඩු ප්‍රවාහනය කිරීම නතර වෙන අවස්ථාවේදී මිනිස්සුන්ට දැනෙන්න ගත්තා. කොරෝනා කාලේ වුණෙත් ඒක. දැන් මේ සිද්ධියෙදිත් වෙන්නේ ඒක. රට ඇතුළේ අවශ්‍ය කරන දේවල් ටික තියෙනවා නම්, වත්කම් ටික තියෙනවා නම්, පාරිභෝගික ද්‍රව්‍ය ටික තියෙනවා නම්, අල, ලූනු, පරිප්පු ටික හරි රට ඇතුළේ තියෙනවා නම්, හාල් මාළු පිණි ටිකවත් අපිට අවශ්‍ය විදියට රට ඇතුළේ නිෂ්පාදනය කරගන්න පුළුවන් නම් අපිට කිසි ගැටලුවක් නැහැ.
මෙතැනදී ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි ඇඹිලිපිටියේ වැවෙන දේවල් ටික අනුරාධපුරේ මිනිහට හම්බවෙන්නේ නැහැ. අනුරාධපුරේ වැවෙන දේවල් ටික ත්‍රිකුණාමලේ මනුස්සයට හම්බවෙන්නේ නැහැ. ත්‍රිකුණාමලේ වැවෙන දේවල් ටික ගම්පහ මනුස්සයට හම්බවෙන්නේ නැහැ. මේ ටික හරියට බෙදා හදාගන්න පුළුවන්කමක් නැහැ. පාරිභෝගික ද්‍රව්‍ය පරිභෝජනයට නොගෙන විනාශ වීම ඉතා ඉහළයි. කොස් ගස් යට කොස් වැටිලා, අඹ ගස් යට අඹ වැටිලා. අඹ ටික අඹ නැති මිනිහට දෙන්නත්, කොස් ටික කොස් නැති මිනිහට දෙන්නත් වැඩපිළිවෙළක් රාජ්‍ය වශයෙන් නිර්මාණය වෙච්ච දවසක අපිට මෙච්චර රිදෙන්නේ නැහැ කියලා අපි හිතනවා.
ඒ නිසා බලාගෙන ඉමු. මේක හොඳ කාලයක් නෙමෙයි. අපිටත් තියෙනවා වගකීමක්, ආණ්ඩුවටවත් පක්ෂයකටවත් චෝදනා කර කර ඉන්නෙ නැතුව අපි අපේ විදියට අපි වෙනස් වෙමු. බොහෝ වෙලාවට මේ ප්‍රශ්නයේදී මුළු ලෝකෙටම වගේ අපිටත් යම් යම් ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා, දරාගන්න සිද්ධ වෙනවා, ඉවසන්න සිද්ධ වෙනවා.

ජීවන පහන් තිළිණ








