විදේශිකයෙකු කොල්ලුපිටිය ක්‍රෙස්කැට් මහල් නිවාස සංකීර්ණයේ 07 වැනි මහලෙන් වැටී මියගොස් ඇති බව පසුගිය 06 වැනිදා මාධ්‍ය වාර්තා කළේය. එම විදේශිකයා ගොඩනැගිල්ලෙන් පනින ආකාරය දැක්වෙන වීඩියෝවක්ද පසුගිය දිනවල සමාජ මාධ්‍යවල විශාල වශයෙන් හුවමාරු විය. එලෙස මියගොස් ඇත්තේ ද්විත්ව පුරවැසිභාවය හිමි ‘ඇලෙක්ස්’ නමැති 51 හැවිරිදි ඔස්ටේ්‍රලියානු ජාතිකයකු වන අතර, ඔහු එම ගොඩනැගිල්ලේ තාවකාලිකව පදිංචිව සිට ඇති බව පොලිසිය පවසයි. (Sri Lanka Latest News)
කෙසේ වෙතත් ඔහුගේ මව, සහෝදරයන් දෙදෙනා සහ සහෝදරිය දිවයිනට පැමිණ, මෙම මරණය සැක සහිත බව පවසමින් පසුගිය 28 වැනිදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා අදහස් දැක්වීය. විදේශිකයන් මෙරටදී මුහුණපාන ගැටලුවලදී ඔවුන්ට සහාය වන Foreign Immigrants Caring Organisation ආයතනය සමග එක්ව එම විදේශිකයාගේ පවුලේ ඥාතීන් මෙම මාධ්‍ය හමුව සංවිධාන කර තිබුණු අතර, පහත පළවන්නේ Foreign Immigrants Caring Organisation ආයතනයේ අධ්‍යක්ෂිකා ඉඳුමිණි බණ්ඩාර මහත්මිය මෙම මරණය සම්බන්ධයෙන් පළකළ අදහස් සහ එහිදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට ඇය ලබාදුන් පිළිතුරුය.
මම ඉඳුමිණි බණ්ඩාර. Foreign Immigrants Caring Organisation ආයතනයේ අධ්‍යක්ෂිකාවක් විදියට මම සේවය කරනවා. අපේ ආයතනය විශේෂයෙන්ම කරන්නේ ලංකාවට එන විදේශික සංචාරකයන්ගේ අයිතිවාසිකම් සහ ඔවුන් මුහුණ දෙන විවිධාකාර ප්‍රශ්නවලදී ඔවුන්ට උදව් කිරීම. මොකක් හෝ කරදරයක් ඔවුන්ට සිදුවෙනවා නම් අපි ආයතනයක් විදියට පෙනීසිටිනවා. මේ සිදුවීමේදී මීට සති දෙකකට කලින් ඇලෙක්ස් මහත්මයාගේ හදිසි මරණය සිදුවුණා. ඒ සම්බන්ධව ඔහුගේ පවුලේ සාමාජිකයන් ලංකාවට ඇවිල්ලා අපේ ආයතනයෙන් ඉල්ලීමක් කළා ඔවුන් වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා. අපේ අරමුණ තමයි ඔවුන් වෙනුවෙන් කතාකරන්න අවස්ථාවක් සලසා දීම. විදේශිකයන් විදියට ඔවුන් ලංකාවට ආවාම මෙවැනි සිදුවීමකදී ඔවුන් ඉතා අසරණ වෙනවා. ඔවුන් දන්නේ නැහැ මොකක්ද කරන්නේ කියලා. අපි කරන එකම දේ ඔවුන්ගේ ඉල්ලීම උදෙසා අපි අවස්ථාවක් සලසා දීමක් පමණයි. ඔවුන්ට කතාකරන්න සහ ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට තමයි මේ මාධ්‍ය සාකච්ඡාව තුළින් අපි අවස්ථාව සලසා දෙන්නේ.
මාධ්‍යවේදියා
පවුලේ ඥතීන්ගේ ප්‍රකාශවලින් ඔවුන් චෝදනාවක් කරනවා පොලිසියට. ඒ වගේම මේක මිනීමැරුමක් බවත් ඔවුන් කියනවා. නමුත් ලංකාවේදී අපි බොහෝදුරට මේක පැහැදිලි කරගත්තේ ඔහු සියදිවි නසාගැනීමට තැත් කිරීමක් විදියට. වීඩියෝ දර්ශනවලින් අපි දැක්කෙත් ඔහුගේ සියදිවි නසාගැනීමට වළක්වන්න පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඒ ස්ථානයට පැමිණියා. ඔහුව අල්ලගන්න උත්සාහ කළා. ඒක අසාර්ථක වුණා කියලා. නමුත් ඔහුගේ පවුලේ අය චෝදනා කරනවා විනාඩි 45ක් විතර ඔහු බිම වැටිලා හිටියා කියලා. ඒ කාලය තුළ එයාට පණ තිබ්බද, ජීවතුන් අතර හිටියද කියන එක අපට පැහැදිලි කරන්න?
ඉඳුමිණි බණ්ඩාර
මේක සියදිවි නසාගැනීමක් කියලා තමයි මුලින් ප්‍රකාශ වුණේ. නමුත් ඔහුගේ ඥාතීන් ලංකාවට ඇවිල්ලා මේ පිළිබඳ සොයා බලනකොට ඔවුන් ගොඩක් සාක්ෂි එකතු කරගත්තා ඔවුන්ගේ පැත්තට. බොහෝ වෙලාවට ඔවුන් ඒ සාක්ෂි තමයි ඉදිරිපත් කරමින් කතා කළේ. එයා ඇරගන්ට් වෙලා, පොඩි කලබැගෑනියක් කරලා, ඊට පස්සේ පොලිසියට කෝල් කරලා පොලිසිය මෙතැනට ඇතුළු වෙලා වගේ කතාවක් තමයි තිබුණේ. නමුත් ඔවුන් ප්‍රකාශ කරන විදියට එපාර්ට්මන්ට් එක ඇතුළේ එතැන කිසිම කලැබැගෑනියක් වෙලා නැහැ. කිසිම දේකට හානියක් වෙලා නැහැ. ඒ වගේම එපාර්ට්මන්ට් එකේ දොරවල් දෙකකට හානි වෙලා තියෙනවා කියලා කියැවුණා.. නමුත් ඒක එක පුද්ගලයකුට කඩන්න පුළුවන් දෙයක් නෙවෙයි. විශාල බරක් තියෙන එකක්.
ගොඩක් වෙලාවට ඔවුන් දකින්නේ බලෙන් ඇතුළු වීම ලොකු වරදක් විදියට. අපි හිතමු එයා මොකක් හරි ප්‍රශ්නයක් හින්දා ඇතුළේ කෑගහමින් හිටියා වුණත් දොරක් කඩාගෙන ඇතුළු වීම නීතිසහගත නැහැ වගේ දෙයක් තමයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. ඊළඟ කරණාව තමයි විශේෂයෙන්ම අපි ශ්‍රී ලාංකිකයන් හැටියට පාරේ කෙනෙක් හැප්පිලා හිටියත් ඒ මනුස්සයව ත්‍රීවීලර් එකක හරි දාගෙන හොස්පිට්ල් එකට එක්කගෙන යනවා. ඒක තමයි අපේ සංස්කෘතිය. නමුත් මෙතැන විනාඩි 35ක් 40ක් අතර කාලයක් ඔහු මියගිහින් හිටියේ නෑ කියලා ඔවුන් කියනවා. ඔහු ඔළුව හොලවමින් දඟලමින් ඉඳලා තියෙනවා විනාඩි 40ම කියලා. ඒක හරි වේදනාවක් පවුලේ සාමාජිකයන්ට. ඔවුන් අහන දේ තමයි ඇයි ඔහුව රෝහලට ගෙනියන්න මේ තරම් කාලයක් ගත්තේ කියන එක. ඔහුගේ සහෝදරයා කිව්වේ ඒ අවට රෝහල් ගණනාවක් තිබුණා, ට්‍රැෆික් පොලිසිය මෙතැන හිටියා, සිනමන්ඩ් ග්‍රෑන්ඩ් එකේ ක්‍රෙස්කැට් එකේ මැනේජ්මන්ට් එක මෙතැන හිටියා, නමුත් ඇයි ඔවුන් සම්බන්ධ වෙලා මෙයාව ඉක්මනටම රෝහලට අරගෙන යන්න කටයුතු නොකළේ කියන එක.
ඔහුගේ චරිත ස්වභාවය අනුව ඔහු ගොඩක් හොඳ සමාජ සේවකයෙක්. විශේෂයෙන්ම ලංකාවට ගොඩක් ලොකු සේවයක් කරපු කෙනෙක්. පුංචි ළමයි වෙනුවෙන්, බෞද්ධ, ක්‍රිස්තියානි, කතෝලික භේද නැතුව හැම කෙනෙක්ටම තමන්ගේ පෞද්ගලික ධනය වියදම් කරමින් විශාල සේවයක් කරපු කෙනෙක්. එවැනි කෙනෙක් කිසිසේත්ම සියදිවි නසාගැනීමක් කරන්නේ නෑ කියන එක තමයි ඔහුගේ ඥාතීන් කියන්නේ.
එදා උදේ ත්‍රීවීල් රියැදුරෙක් කතා කරලා කියනවා මෙයා පැය ගානක් බැල්කනි එකේ හිටියා කියලා. එතකොට එයාට සියදිවි නසාගන්න අවශ්‍යතාවක් තිබුණා නම් පොලිසිය එනකම්ම ඉඳීද ඒක කරන්න? මේ වගේ ආගිව්මන්ට් එකක්, හැරස්මන්ට් එකක් වෙන්න අවශ්‍යමයිද ඔහුට සියදිවි නසාගන්න? ඔවුන් කියන විදියට මෙතැන ඒ වගේ කලබලයක් වෙලා තියෙනවා නම්, බඩු භාණ්ඩ විනාශ වෙලා තියෙන්න ඕනේ. නමුත් ඒ වගේ කිසිම දෙයක් වෙලා නැහැ කියන එක ඔවුන් පවසනවා. ඒ කරුණු පදනම් කරගෙන තමයි ඔවුන් කියන්නේ මේක සියදිවි නසාගැනීමක් නෙවෙයි කියලා.
මාධ්‍යවේදියා
ඔවුන් මේ ගැන ජනාධිපතිවරයාටත් පවසන්න අවශ්‍ය බව කියනවා. නමුත් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මේ ගැන මොන වගේ විමර්ශනයක් කරන්නද?
ඉඳුමිණි බණ්ඩාර
ඇත්තටම ඔවුන්ට අවශ්‍ය කරන්නේ එකම දෙයයි. මේ ගැන සාධාරණ විමර්ශනයක් කරන්න කියලා. ඔවුන් කියන විදියට මේ ගැන කතාකරන්න කොල්ලුපිටිය පොලිසියට ගියාම පොලිස් නිලධාරීන් කතාකරන්න එන්නේ නැහැ, හැරිලා යනවා, මුහුණ දෙන්නේ නැහැලු. ඒ වගේ දේවල් ඔවුන් ප්‍රකාශ කරනවා. ඇයි ඒ වගේ දේවල් කරන්නේ? මේ ගැන මීට වඩා සාධාරණ විමර්ශනයක් කරන්න කියන එකයි ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ. ඔවුන්ට වෙන බලාපොරොත්තුවක් නැහැ. ඒගොල්ලෝ පවුලක් විදියට, සහෝදරයෝ විදියට ලොකු බැඳීමක් තියෙන පිරිසක්. ඉතින් ඔවුන් පැහැදිලිවම කියනවා තවත් කෙනෙකුට මෙවැනි සිදුවීමක් නොවෙන්න වගබලාගත යුතුයි කියලා.
මාධ්‍යවේදියා
ඔවුන් මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කළාද?
ඉඳුමිණි බණ්ඩාර
ඔව්, ඔවුන් කොල්ලුපිටිය පොලිසියට පැමිණිල්ලක් කරලා තියෙනවා. ඒ පැමිණිල්ලේ ප්‍රකාශ සියල්ලත් අපි සතුව තිබෙනවා. ඒ වගේම ඔවුන්ගේ බලාපොරොත්තුවකුත් තියෙනවා මේක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන්න. ඔවුන් ඔස්ටේ්‍රලියානු මහකොමසාරිස් කාර්යාලයටත් මේ සම්බන්ධයෙන් දැනුවත් කරලා තියෙනවා. ඒ වගේම අන්තර්ජාතික මට්ටමට හෝ මේක අරගෙන යන්නත් ඔවුන් බලාපොරොත්තු වෙනවා.
මාධ්‍යවේදියා
ඔවුන් එල්ල කරන චෝදනා යම් විදියකින් සත්‍ය වුණොත් ඒක ලංකාවේ සංචාරක කර්මාන්තයටත් විශාල හානියක් වෙන්න පුළුවන් නේද?
ඉඳුමිණි බණ්ඩාර
මම හිතන්නේ නෑ එහෙම වෙයි කියලා. මොකද මේ වගේ සිදුවීම් වෙන්න පුළුවන්. අපේ රජය මේ සිදුවීම සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් කරනවා නම් ඒක සංචාරක ව්‍යාපාරයට බලපානවා කියලා මම හිතන්නේ නෑ.










