වර්තමානයේ බොහෝ කාන්තාවන්ට රැකියා ස්ථානවලදී මෙන්ම සමාජ මාධ්‍ය වේදිකාවලදී ලිංගික හිංසනයන් සහ අපහාසයන් සිදුවීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. මවක්, දියණියක් බිරිඳක් ලෙස සමාජය තුළ කාන්තාව විවිධ භූමිකා දරනු ලබනවා. නමුත් ඇයට හිමි ගෞරවය ආරක්ෂාව හා සාධාරණත්වය ඒ තැන්වලදී සැබවින්ම ලැබෙනවාද යන්න අපි සිතා බැලිය යුතුයි. දිනෙන් දින වාර්තාවන එවැනි සිදුවීම්වලින් අපට පැහැදිලි වන්නේ සමාජය යම් කනගාටුදායක දිශාවකට ගමන් කරමින් ඇති බවයි.Sri Lanka Latest News
තමන් ආරක්ෂාව සොයා ගිය තැනින්ම කාන්තාවකට අකටයුත්තක් සිදුවනවා නම් ඒ ගැන කතාකිරීමෙන් ඇති ඵලය කුමක්ද? යම් ප්‍රශ්නයකදී ඊට සාධාරණයක් සොයා මිනිසුන් යන්නේ පොලිසියටයි. නමුත් ඒ ආයතන තුළින්ම කාන්තාවකට අකටයුතුකම් සිදුවේ නම් ඇයට පිහිට වන්නේ කවුරුන්ද?
ඊට හේතු වුණේ අනුරාධපුර ඉපලෝගම ප්‍රදේශයේ 43 හැවිරිදි දෙදරු මවක් කළ හෙළිදරව්ව සමාජයට දැඩි කම්පනයක් ගෙන ඒමයි. ඇය තමන්ට සිදුවූ අසාධාරණය මාධ්‍ය හමුවේ පවසා සිටියේ මෙලෙසයි.
‘2025.11.28 වැනි දින මගේ කඩේ පෙරළෙනවා හුළඟට. ඒ වෙලාවේ ඇවිත් බලන විට හුළඟට නෙවෙයි පෙරළිලා තියෙන්නේ. යම් පුද්ගලයෙක් පෙරළලා කියන හැඟීම ආපු නිසා මම යනවා ඉපලෝගම රණජයපුර පොලිස් ස්ථානයට පැමිණිල්ලක් දාන්න. පැමිණිල්ල දාලා මම ආපහු ගෙදර එනවා. පැමිණිල්ල විභාග කරන්න නැවත යනවා. ඒකට ගිහිල්ලා සමාදාන වෙලා නැවත මම ගෙදර එනවා. නැවත කඩේ හදනවා. මම පැමිණිල්ල කළේ ඒ කඩේ පිටිපස්සේ ඉන්නවා ප්‍රගීත් රත්නායක කියලා ඉස්කෝලේ සර් කෙනෙක්. එයාට විරුද්ධව තමයි පැමිණිල්ල දාන්නේ.
ඊට දින දෙකකට කලින් එයා මට ලියුමක් එවනවා මේ කඩේ අයින් කරගන්න එයාට මේ කඩේ කරදරයක් කියලා. ඒක දැනට පොලිස් පොතේ අලවලා තියෙනවා. මගේ ළඟ ඒකේ ෆොටෝ එකක් තියෙනවා. සමථයකට පත්වෙලා කඩේ හදද්දි නැවත ප්‍රගීත් රත්නායක එනවා කඩේ හදන්න එපා කියලා. නැවත මම යනවා පොලිසියට පැමිණිල්ලක් දාන්න. මම තනියෙන් ජීවත්වෙන ගෑනියෙක්. ඒ පැමිණිල්ල දාන්න යන වෙලාවේ ඕ.අයි.සී. මහත්තයා පැමිණිල්ල භාරගන්නවා. මම හවස 7.30ට පොලිසියට ගියේ. රෑ 9.30 වෙනකල් මාව පොලිසියෙන් එව්වේ නැහැ. මගේ විස්තර අහලා ලියලා ගෙදර එද්දි රෑ 9.30යි. ඕ.අයි.සී. මහත්තයා කිව්වා මේ පැමිණිල්ල විභාග කරන්නේ මම, ඒ හින්දා මගේ නම්බර් එක අරන් යන්න කිව්වා. ඊට පස්සේ මම දැක්කා බිත්තියේ ගහලා තියෙනවා නම්බර් එක. මම ඒක ෆෝන් එකට ගහගෙන යන්නම් කියලා කිව්වා. නැහැ ඒක රාජකාරි නොම්බරය, ඒක නෙවෙයි මගේ පෞද්ගලික නම්බර් එක දෙන්නම් කියලා ඔහු කිව්වා. සර්ගේ පෞද්ගලික නොම්බරේ ඒ වෙලාවේ මගේ අතට දුන්නා. මට විටෙන් විට කෝල් කරලා ඇහුවා කඩේ හදනවද, කඩේ හදන්න කිසි දේකට බයවෙන්න එපා, මම ඉන්නවා කියලා. අනිවාර්යයෙන් සඳුදා උදේ කඩේ අරින්න ඕනේ, මම එනවා සඳුදා උදේට බලන්න කියලා ඔහු කිව්වා. මගෙන් ඇහුවා මම කඩේ අරින්නේ කීයටද කියලා. මම කිව්වා 6.50ට කියලා. සර් ජීප් එකේ ආවා 7.10 වෙද්දී. බලලා ගියා. මම දිගටම කඩේ කරගෙන ගියා. මට විටෙන් විට සර් කෝල් කළා. උදේ 10ට 11ට 2ට 3ට වගේ කෝල් කළා. වෙලාවක් හරියටම කියන්න බැහැ. රෑ 7ට 8ට වගේ වෙලාවලුත් තිබ්බා. කෝල් කරලා කඩේ විස්තර ඇහුවා. බයවෙන්න එපා කඩේ කරගෙන යන්න කියලා කිව්වා. ඔයා දිරිය කාන්තාවක්, මම ඉන්නවා ඕනෙ දේකට බයවෙන්න එපා කියලා කිව්වා.
2025.12.04 රෑ 8ට විතර දුරකතන ඇමතුමක් ආවා. කඩේ වහලද තියෙන්නේ කියලා ඔහු ඇහුවා. මම කිව්වා ඔව් සර් දැන් වහලා තියෙන්නේ කියලා. මට පොඩි උදව්වක් ඕනේ කියලා කිව්වා. මම ඇහුවා මොකද්ද සර් කියලා. මගේ ක්වාටස් එකට කට්ටියක් එනවා මට කෑම ටිකක් හදාගන්න ඕනේ, හදලා දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. ඇත්තටම මගේ කඩේ බේරලා දුන්නේ සර්නේ, ඒ නිසා මම හා සර් කියලා කිව්වා. මම එද්දි කෝල් එකක් දෙන්නම් ඔයා පාරට එන්න කියලා සර් කිව්වා. රෑ 9.35ට විතර කෝල් කළා පාරට එන්න කියලා. ගොම පාට වගේ කාර් එකක් ආවා ගේ ගාවට. මම පාරට එද්දිම සර් මාව පහුකරගෙන දෙපාරක්ම ගියා. මම ලයින් එකේම හිටියේ. මට කිව්වා පාරේ කට්ටිය ඉන්නවා නග්ග ගන්න බැහැ, මම ඊළඟ සැරේ එනකොට නගින්න කියලා. 9.40ට විතර කාර් එකට නැග්ගා. මළගෙදර පහුකරගෙන ගිහින් මිහිලිය තුරුල ගාවින් පාරෙන් හරවලා ගියේ.
මම නැග්ගේ කාර් එකේ පිටිපස්සෙන්. රණජයපුර ෆුඩ් සිටියත් පහුකරලා ඈත පාරකින් දාලා ගියා. මම මීට ඉස්සෙල්ලා ඒ පාරේ ගිහින් නැහැ. කිලෝමීටර 2ක් විතර ගියා. කළු ගේට්ටුවක් දාපු ගෙදරක නතර කළා. සර් කාර් එකෙන් බැහැලා ගිහින් ගේට් එක ඇරියා. ඇරලා කාර් එක ඇතුළට දාලා ගේට්ටුව වැහුවා. වහලා මට බහින්න කිව්වා කාර් එකෙන්. උයන්න එන්න කිව්වට සර් කවුරුත් නැහැනේ කියලා මම කිව්වා. නෑ නෑ ඉන්නවා යමුකෝ කියලා දොර ඇරියා. දොර ඇරලා යද්දිම ලොකු බල්ලෙක් ආවා. ඊට පස්සේ මට කිව්වා මෙයා මගේ, මම මෙයාව මාස තුනක ඉඳලා හදන්නේ, මේ බල්ලා ඔයා කෑගැහුවොත් ඔයා මට කරදරයක් කරනවා කියලා ඔයාව හපයි කෑගහන්න එපා කියලා කිව්වා. මගේ නළල ඉඹලා මාව ගේ එහා පැත්තේ රූම් එකට අරන් ගියා. බල්ලා දොර ගාව නිදාගෙන හිටියා. මම යන්න බැහැ කිව්වා. කෑගහන්න එපා කිව්ව නිසා මම කෑගැහුවේ නැහැ බල්ලා හපයි කියලා. මම කැමැත්තෙන් ගිය ගමනක් නෙවෙයි. ඒත් සර් එක්ක මට ඉන්න වුණා.
අවුරුදු 14ක් මම විවාහයෙන් අයින් වෙලා දරු දෙන්නත් එක්ක ඉන්නේ. ලොකු දුවට අවුරුදු 23යි. විවාහකයි. පොඩි දුව ඒලෙවල් කරනවා. මම රෑ 12ට 1ට විතරත් කිව්වා මාව ගිහින් දාන්නකො කියලා. ඇහුවේ නැහැ. මට කිව්වා දැන් නිදාගන්නකෝ කියලා. ඒ.සී. එක වැඩියි කිව්වාම මට බෙඩ් ෂීට් එකක් දුන්නා කකුලට දාගන්න. මම එළිවෙනකල් ඇහැරිලා හිටියා. පාන්දර 4ටත් කිව්වා මාව දැන් ගිහින් දාන්න කියලා. පාන්දර පෙර පරිදිම එහෙම කරලා පාන්දර ගෙනත් දාද්දි 5.15යි වෙලාව. පොඩිදුව ඉන්නේ අක්කලා ගාව. මම ඉන්නේ කුලියට තනිවම. මට කිව්වා මේ සිද්ධිය කාටවත් කිව්වොත් කඩෙත් නැතිවෙයි කියලා. මුකුත් නැතිවෙයි. මම කියන දේ අහගෙන ඉන්න කියලා කිව්වා….’
‘මම පහුගිය පෝය දවසේ ගල්නෑව අසපුවට ගියා මල් පහන් පූජා කරලා එන්න දුවත් එක්ක බයික් එකේ. ඕ.අයි.සී. මහත්තයා මගේ බයිසිකලේ අඳුරනවා. අපි පහන් තියලා එද්දි රෑ 8.15ට විතර ඇති. සර් විතරයි ජීප් එකේ හිටියේ. අපි එද්දි රණජයපුර පොලිස් ජීප් එක ඇවිත් දෙපාරක් හරස් කළා. අපි කරඹෑවත් පහුකරලා හිරිපිටියාගම ඔරලෝසු කණුව ගාවට ආවා. ඊට පස්සේ 05 වැනිදා උදේ 11ට විතර කතා කරලා කිව්වා මම දැන් නැගිට්ටේ, දැන් මම පොලිසියට එන්නේ, ආපදා එකේ රැස්වීමක් තියෙනවා, ඒක ඉවරවෙලා කෙළින්ම ගෙදර යන්නේ, කෝල් ගන්න එපා කිව්වා දවස් 4ක්. මම දැන් ඔයාව බලන්න එනවා, 6 වැනිදා ඉඳලා නිවාඩු, දුවව ඉස්කෝලේ දාන්න යනවා කිව්වා. මට ආයෙ කෝල් කළේ 9 වැනිදා හෝ 10 වැනිදා. මම දැන් වැඩට ආවේ, මට රත්නායකගේ ලෝයර් ලියුමක් එවනවා. මම ඒක නිසා නැවත කෝල් කරනවා ඕ.අයි.සී. මහත්තයාට. ඒ කෝල් එක ආන්සර් කළේ නැහැ. ආයෙ ගත්තාම කිව්වා ලියුම පොලිසියට අරන් එන්න කියලා. මට කිව්වා කාටවත් මේ සිදුවීම කියන්න එපා කියලා. මම එදා පන්සල් ගිහින් එනකොට පොලිස් ජීප් එක හරස් කරලා මම හිතුවේ මාව මරන්නද දන්නේ නැහැ කියලා. දුවත් ඇහුවා ඇයි අම්මේ පොලිස් ජීප් එක අපේ ඇඟට හරස් කළේ කියලා. එතකොට තමයි මම හිතුවේ මේක කාට හරි කියන්න ඕනේ කියලා. ජීවිතේ ගැන මට බයක් ආවේ එදා තමයි. මම මගේ සහෝදරයකුට කියලා නීතිය ඉදිරියට ආවේ. ළමා හා කාන්තා කාර්යාංශයට ගියා පසුගිය 5 වනිදා. මම ආරංචි කරලා බැලුවාම මීට පෙරත් ගෑනු කෙනෙකුගේ ෆොටෝ ගහලා තියෙනවා. මානව හිමිකම් එකටත් මේ සබන්ධව ගිහින් තියෙනවා. මේ මම පොලිස් නිලධාරීන්ට අගෞරවයක් නෙවෙයි කරන්නේ. සුළු පිරිසක් කරන වැරදි නිසා පොලිස් දෙපාර්තමේන්තුවේ හැම නිලධාරියෙක්ම අගෞරවයට පත්වෙනවා. මම මේ කියන්නේ සත්‍ය කතාවක්. අද මට වෙච්ච දේ වෙන ගෑනු කෙනකුට නොවෙන්නයි මම මාධ්‍ය හමුවක් තිබ්බේ….’
ඇය එලෙස පවසමින් ඉල්ලා සිටියේ සාධාරණයයි.
තම කුඩා කඩය ආරක්ෂා කරගැනීමට පොලිසියට පැමිණිල කළ ඇයට උසස් නිලධාරියාගෙන් පිළිතුර ලැබෙන්නේ ‘බයවෙන්න එපා, මම ඉන්නවානේ…’ යනුවෙනි. ඒ විශ්වාසයම පසුව ඇගේ ජීවිතය විනාශයක් බවට පත්කරනු ලැබූ බවයි ඇය ප්‍රකාශ කර සිටියේ.
මෙවැනිම තවත් සිදුවිමක් පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් තිබුණා. ඒ, ප්‍රධාන පෞද්ගලික ආයතනයක සභාපතිවරයකු කාන්තාවක් බලහත්කාරයෙන් නිරුවත් කර වීඩියෝගත කර බියගැන්වූ සිදුවීමක්.
බලහත්කාරයෙන් කාන්තාවක් නිරුවත් කර වීඩියෝ දර්ශන ලබාගෙන, අදාළ පුද්ගලයා විසින් එම වීඩියෝ පට සිය ආයතනයේ සේවය කරන අනෙකුත් කාන්තාවන්ටද වට්ස් ඇප් ඔස්සේ බෙදාහැර තිබුණා. ඒ ආයතනයේම තවත් කාන්තාවන් කිහිප දෙනකුම මෙලෙස බලහත්කාරයෙන් නිරුවත් කර ඇති බවටයි තොරතුරු ලැබී තිබුණේ. එසේම ඔහු විසින් එම කාන්තාවන් බියගන්වා ඇත්තේ ඔවුන්ට මරණ තර්ජන එල්ල කරමිනි.
මෙවැනි සිදුවිම් තුළ ඇත්තෙන්ම කාන්තාවක් නිහඬ විය යුතුද? පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරියන් සිටියත් මෙවැනි සිදුවීම් ඉදිරියේ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය ප්‍රමාණවත් නොවීම කනගාටුවට කරුණකි. කාන්තාවගේ ගෞරවය සමාජය විසින් බිඳදමන්නේ ඇයිද යන්න ප්‍රශ්නයකි. කාන්තාව මානසිකව බිඳවැටුණොත් මුළු පරපුරක් අඳුරට වැටෙන බව අප මතක තබාගත යුතුයි. ඇයට ගෞරවය ආරක්ෂාව සාධාරණය ලැබුණොත් අනාගතයම බැබළෙයි. ඇය ඉල්ලන්නේ විශාල දේවල් නෙවෙයි. බියෙන් තොරව ජීවත්වීමේ අයිතිය පමණියි. ඇයට හිමිවිය යුතු නිසි තැන අපි ලබාදෙමු.
‘ඇය කඳුළු සඟවන නිහඬ ගඟක්…
රෑ අඳුරේ බියෙන් තැතිගත් හඬක්…
නීතිය ලියවී ඇත නමුත්
සාධාරණය පාර අයිනේ
ඇය ඉල්ලන්නේ සිංහාසනයක් නොව
ඇය ඉල්ලන්නේ කාලය ධනය නොව
තමන්ට හිමි තැන පමණි…
එදාට ඇය නැගිටියි
සමාජයක්ද නැගිටියි….’

නිලන්ති රේණුකා










