ඉන්දීය උප ජනාධිපති ශ්‍රී.සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා අද (19) ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණීමට නියමිතව තිබේ. Sri Lanka Latest News
අද පැමිණෙන ඉන්දීය උප ජනාධිපතිවරයා හෙට (20) දිනය දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය.
සංචාරය අතරතුර ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාව අතර මෑතකදී සිදුවූ ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික කටයුතුවල අඛණ්ඩ පියවරක් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.
ඊට අමතරව අවස්ථා කිහිපයකටම සහභාගී වන අතර දේශපාලන හා ප්‍රජා නායකයින් සමග සම්බන්ධ වීමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
දිට්වා සුළි කුණාටුව සම්බන්ධව පුනරුත්ථාපන කටයුතු හා සංවර්ධන සහයෝගීතාවට අදාළ ව්‍යාපෘති ඇතුළු සහයෝගීතාව වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් දෙරට අතර අවබෝධතා ගිවිසුම් ගණනාවක්ද මෙම සංචාරයේදී හුවමාරු කර ගැනීමට නියමිත බවද අමාත්‍යාංශය සඳහන් කළේය.
මේ අතර ඉන්දීය උප ජනාධිපතිවරයාගේ මෙරට නිල සංචාරය අද දිනයේදී සිදුවන බැවින් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමටද ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කර තිබේ.
ඒ අනුව අද උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලින් දිවයිනට ළඟාවන උප ජනාධිපතිවරයා එතැන් සිට ප්‍රභූ රථ පෙළකින් ගාලුමුවදොර ටාජ් සමුද්‍රා හෝටලයට පැමිණීමට නියමිතය.
ඒ අනුව එම කාලසීමාවේ අදාළ ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ රථ වාහන සැළැස්මක් ක්‍රියාත්මක වන බව ද පොලිසිය සදහන් කළේය.
ඉන් අනතුරුව ඉන්දීය උප ජනාධිපතිවරයා එම හෝටලයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කිරීමට නියමිත බැවින් ඒ ආශ්‍රිතව ද රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිසිය සඳහන් කළේය.
අනිද්දා දිනයේ ද ඉන්දීය උප ජනාධිපතිවරයා රැගත් ප්‍රභූ රථ පෙළ ගමන් ගන්නා මාර්ග ආශ්‍රිතව විශේෂ රථ වාහන සැළැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව සඳහන් වේ.










