පසුගිය සති කීපය ලංකාවට ජාත්‍යන්තර නියෝජිතයන් විටින් විට පැමිණි සති කීපයක් බවට පත්ව තිබිණි. මෙහිදී පැමිණි යම් යම් කණ්ඩායම් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු එළියට වාර්තා නොවුණද අප වෙත ඇති තොරතුරුවලින් කියැවෙන්නේ තීරණාත්මක කණ්ඩායම් කීපයක්ම පසුගිය සති දෙක තුන තුළ ලංකාවට පැමිණ ඇති බවත්, එහිදී අතිශය වැදගත් සාකච්ඡා රැසක් සිදුව ඇති බවත්ය.Sri Lanka Latest News
ඉන් පළමු තීරණාත්මක කණ්ඩායම වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ නියෝජිතයන් පිරිසක් ලංකාවට පැමිණීමය. කිසිදු මාධ්‍යයක් වාර්තා නොකළ තොරතුරු විශාල ප්‍රමාණයක් පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරය ඔස්සේ එම සාකච්ඡා සමබන්ධයෙන් අපි වාර්තා කළෙමු. එම සාකච්ඡාවල ඉදිරි පියවරක් වශයෙන් ලබන ලබන 16 වැනිදා මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය වන ක්‍රිස්ටලීනා ජෝජියාවා මහත්මියද ලංකාවට පැමිණීමට නියමිතය. ජෝජියාවා ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හා ලංකාව අතර පැවැති සාකච්ඡා කිසිදු එකඟතාවකින් තොරව අවසන්ව තිබූ පසුබිමක වීම විශේෂත්වයකි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට ලබාදුන් ණය මුදලේ පස්වැනි වාරිකය ලැබීමට නියමිතව තිබුණේ පසුගිය දෙසැම්බර් මාසයේදීය. නමුත් ආණ්ඩුව විසින් මූල්‍ය අරමුදල මගින් ලබාදී තිබූ කොන්දේසි කිහිපයක් ඉටුකොට නොතිබීම මත මෙම වාරිකය ලබාදීම තාවකාලිකව කල්දැමීමට මූල්‍ය අරමුදල කටයුතු කොට තිබිණි. තවමත් මෙම පස්වැනි වාරිකය ලබාදෙන දිනක් හෝ ඊට අදාළ කාර්යමණ්ඩල එකඟතාවට එළඹෙන දිනයක් සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් මූල්‍ය අරමුදල පැත්තෙන් නිකුත් වී නොමැත.
කෙසේ වෙතත් අපට ඇති අලුත්ම තොරතුරුවලින් කියැවෙන්නේ මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය වන ක්‍රිස්ටලීනා ජෝජියාවාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී මෙම පස්වැනි සහ හයවැනි වාරිකයන් දෙකම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සැලසුම් කොට ඇති බවත්, ඊට අදාළ කාර්යමණ්ඩල එකඟතාවන්ට යෑමට සැලසුම් කොට ඇති බවත්ය. නමුත් දැනට මතුව ඇති වාතාවරණය යටතේ මෙම සාකච්ඡා ජුනි – ජූලි මාස වන විටවත් අවසන් කළ නොහැකි තත්ත්වයක් දැකගන්නට තිබේ. ඊට හේතුව වී ඇත්තේ මූල්‍ය අරමුදල මගින් ලබාදී ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ ඉලක්ක මේ දක්වා සම්පූර්ණ කිරීමට ආණ්ඩුව පැත්තෙන් සමත් වී නොතිබීමය. ඒ අනුව බොහෝ දුරට මූල්‍ය අරමුදල මෙම සාකච්ඡා ජුනි – ජූලි දක්වා ඇදගෙන යෑමට සැලසුම් කොට ඇත්තේ ආණ්ඩුව පැත්තෙන් එක් එක් ප්‍රතිසංස්කරණයන් සිදුකරන ආකාරය දෙස බලා තීරණයක් ගැනීමේ අරමුණෙන් විය යුතුය.










