ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදලට ඉදිරිපත් කර තිබෙන සැළසුමෙහි අන්තර්ගත ප්‍රගතිය මැනිය හැකි කැපවීම්වලින් 25%ක්, 2023 මාර්තු මාසය අවසාන වන විට සම්පූර්ණ කර ඇති බවත්, නමුත් එක් ප්‍රධාන කැපවීමක් සම්පූර්ණ කිරීමට කිරීමට අපොහොසත්ව ඇති බවත්, වෙරිටේ රිසර්ච් ආයතනයේ නවතම හඳුන්වාදීම වන IMF මීටරයේ දැක්වේ.
මෙසේ සම්පූර්ණ කර ඇති 25%ක් වූ කැපවීම්වලින් ඇතැමක් විස්තීර්ණ අරමුදල් පහසුකමක් (EFF) ලබාගැනීම සදහා අවශ්‍ය අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලැබෙන්නට පෙරම සම්පූර්ණ කර ඇත.
මෙම කැපවීම්, විස්තීර්ණ අරමුදල් පහසුකමක් ලබාගැනීමට සුදුසුකම් ලැබීම සදහා සපුරාලිය යුතු වූ, ‘පූර්ව පියවරයන්’ ගණයට වැටෙන්නන් වේ.
සම්පූර්ණ කිරීමට අපොහොසත් වූ කැපවීම –
2023 මාර්තු වන විට විනිවිදභාවය වෙනුවෙන් වන පූර්ණ ක්‍රියාකාරී මාර්ගගත (Online) වේදිකාවක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත්වී ඇත- මෙය මුලික එකඟතාවකි .
1. සියලු වැදගත් පොදු ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තුවලට අදාළ තොරතුරු ප්‍රසිද්ධ කිරීම
2. ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය හරහා බදු සහන හිමිව ඇති සියලු සමාගම්වල ලැයිස්තුවක් ප්‍රසිද්ධ කිරීම
3. සුඛෝපභෝගී වාහන ආනයනයේ දී බදු සහන හිමිවන පුද්ගලයින්ගේ සහ සමාගම්වල ලැයිස්තුවක් ප්‍රසිද්ධ කිරීම, මෙම වේදිකාව ස්ථාපිත කිරීමේ අරමුණු විය.
මෙම කැපවීම සම්පූර්ණ කිරීමට නියමිතව තිබුණේ 2023 මාර්තු 1 වැනිදාය. නමුත්, මාසය අවසන් වන අවස්ථාව වන විටත් එය සම්පූර්ණ කර නොතිබිණ.
තොරතුරුවල හිඟයත් ගැටළුවකි – ප්‍රගතිය මැනීමට තොරතුරු නොමැති වීම නිසා මාර්තු මාසය අවසානය වන විට ප්‍රගතිය මැනිය හැකි කැපවීම්වලින් 9%ක ප්‍රගතිය “නොදනී” යැයි වර්ග කිරීමට සිදුව ඇත.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහනෙහි ප්‍රගතිය විමසුමට ලක් කිරීමේ ප්‍රධාන වාසි 2ක් පවතින බව වෙරිටේ රිසර්ච් පෙන්වා දේ.
පළමුවැන්න වන්නේ කැපවීම් සම්පූර්ණ කිරීම හරහා (සියල්ලගෙන්ම නොවේ) ප්‍රතිලාභයන්ය.
දෙවැන්න වන්නේ, මෙසේ ප්‍රගතිය විමසුමට ලක්කිරීම ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරණය සම්බන්ධයෙන් වන විශ්වාසය වැඩිදියුණු කරගැනීමට අත්වැලක් වන හෙයින්, ඒ හරහා පෙර ණය බර ප්‍රතිව්‍යුහගත කරගැනීමේ සාකච්ඡාවලට ලැබෙන උපකාරය මෙන්ම අනාගත ආර්ථික සංවර්ධනයක් කරා අප යමින් සිටින ගමන කඩිනම් කිරීමට හැකිවීමයි.
ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදල වෙත යොමුකළ, 2023 මාර්තු මස 20 වැනිදා එම අරමුදලේ අනුමැතිය හිමිවූ, අභිප්‍රාය ලිපියේ (Letter of Intent) සඳහන් හඳුනාගත් කැපවීම් 100ක ප්‍රගතිය IMF මීටරය ඔස්සේ නිරීක්ෂණට ලක්වේ. මෙම කැපවීම් අරබයා ශ්‍රී ලංකාව ලබාගන්නා ප්‍රගතිය සහ එහි කාලානුරූපීභාවය සම්බන්ධයෙන් වඩා හොඳ අවබෝධයක් ලබාගැනීමට ආණ්ඩුවට, රටේ ජනතාවට මෙන්ම අන්තර්ජාතික මූල්‍ය අරමුදලටත්, IMF මීටරය උපකාරී වනු ඇත.
වෙරිටේ රිසර්ච් ආයතනය පවත්වාගෙන යන, ශ්‍රී ලංකාවේ එකම පාර්ලිමේන්තු නිරීක්ෂක වෙබ් අඩවිය වන Manthri.lk වෙබ් අඩවිය ඔස්සේ IMF මීටරයට පිවිසීමට දැන් ඔබට හැකියාව ඇත. වැඩි විස්තර සඳහා https://manthri.lk/si/imf_tracker සබැදියට පිවිසෙන්න.














