ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රවීණ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා ගමන්ගත් මෝටර් රථයට වෙඩිතැබීමට යොදාගත් බවට සැකකෙරෙන අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි (1) සංජීව මහානාම මහතා පරිහරණය කළ පොලිස් දෙපාර්තමේන්තුවට අයත් පිස්තෝලය සහ වෙඩිතැබීම කළ ස්ථානයේ තිබී සොයාගත් පිස්තෝල හිස් උණ්ඩ රජයේ රස පරීක්ෂකවරයාට යවා ඊට අදාළ වාර්තාව නොපමාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.Sri Lanka Latest News
වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ තිබී සොයාගැනුණු හිස් පිස්තෝල උණ්ඩ අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහනාම මහතා පරිහරණය කළ පිස්තෝලයෙන් නිකුත් වූ උණ්ඩ ද යන්න අදාළ රස පරීක්ෂණ විමර්ශනයේදී පුළුල්ව සොයාබලන ලෙසටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා, මෙම සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන කඩිනම් කරන ලෙසත්, විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළේය.
මෙසේ නියෝග කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ගමන් ගත් මෝටර් රථයට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කිරීමේ සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් මගින් යළි කැඳවූ අවස්ථාවේදිය.
මෙහිදී වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ මෙම වෙඩිතැබීමේ සිද්ධියට යොදාගෙන ඇත්තේ අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහනාම මහතාට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබූ රාජකාරි පිස්තෝලයෙන් බවට මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ පුළුල් විමර්ශනයේදී අනාවරණ වී ඇති බවය. වෙඩිතැබීම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න සහ අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහනාම යන දෙදෙනා සැලසුම්සහගතව සිදුකරගත් එකක් බවට කරුණු අනාවරණ වෙමින් පවතින බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
වෙඩිතැබීම කර දින දෙකකට පසුව එවක අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතා තමා පරිහරණය කරමින් සිටි පිස්තෝලය අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අවි ගබඩාවට බාරදී ඇති බවද අධිකරණයට සැලකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, සහකාර පොලිස් අධිකාරිවරයා සිය රාජකාරි පිස්තෝලය අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අවි ගබඩාවට බාරදීමට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ එම පිස්තෝලය ක්‍රියාත්මක තත්ත්වයේ නොමැති බව යැයි ද කීවේය.
රාජකාරි පිස්තෝලය ක්‍රියාත්මක තත්ත්වයේ නොමැති බව පවසමින් සහකාර පොලිස් අධිකාරී සංජීව මහනාම මහතා සිය රාජකාරි පිස්තෝලය අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අවි ගබඩාවට බාරදීමෙන් අනතුරුව ඔහුට වෙනත් පිස්තෝලයක් නිකුත් කර ඇති බවද අධිකරණයට කියා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ක්‍රියාත්මක තත්ත්වයේ නොමැති බව කියමින් සහකාර පොලිස් අධිකාරිවරයා බාරදුන් පිස්තෝලය අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අවි ගබඩාව රජයේ මධ්‍යම අවි ගබඩාවට යවා ඇති බවද සැල කර සිටියේය. පසුව එම පිස්තෝලය ක්‍රියාත්මක තත්ත්වය සම්බන්ධයෙන් මධ්‍යම අවි ගබඩාව මගින් පරීක්ෂා කර බැලූ බවත්, ක්‍රියාත්මක තත්ත්වයේ නොමැති බව කියමින් සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම මහතා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අවි ගබඩාවට බාරදුන් පිස්තෝලය ඉතා හොඳ ක්‍රියාත්මක ත්ත්ත්වයේ පවතින බවට තහවුරු කර ඇති බවද සඳහන් කළේය.
ඒ අනුව සිය පිස්තෝලය ක්‍රියාත්මක තත්ත්වයේ තිබියදී එය අක්‍රීය බවට අසත්‍යයක් ප්‍රකාශ කරමින් සහකාර පොලිස් අධිකාරිවරයා අවි ගබඩාවට සිය රාජකාරි පිස්තෝලය බාරදීම ප්‍රබල සැකයට හේතුවක් වූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. ඒ අනුව ඉදිරි විමර්ශණ කටයුතු සඳහා අදාළ පිස්තෝලය සිය බාරයට ගෙන විමර්ශණ අරඹා වැදගත් තොරතුරු රැසක් හෙළිකරගත් බවද පවසා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, වෙඩිතැබීමේ අපරාධමය සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ වන විටත් හඳුනාගෙන ඇති බවද කීවේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කරුණු දැක්වීමෙන් අනතුරුව එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇමතු ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඔවුන්ගෙන් විමසා සිටියේ මෙම වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් නොකරන්නේ ඇයිද යන්නයි. ඊට ප්‍රතිචාර දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා සිටියේ වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරිවරයා පරිහරණය කළ පිස්තෝලය සම්බන්ධයෙන් රසපරීක්ෂක වාර්තාව ලද විගස සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවයි.
මෙම වෙඩිතැබීමේ සිද්ධියට අදාළ විමර්ශනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහනාම මහතා පරිහරණය කළ පිස්තෝලය සිය බාරයට ගැනීමත් සමග සහකාර පොලිස් අධිකාරිවරයා ඉකුත් 12 වැනිදා රාත්‍රියේ මැලේසියාවට පිටත්ව ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පතී නිහාල් තල්දූව මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
ඔහු එසේ මැලේසියාවට ගොස් ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවෙන් කිසිදු අවසරයක් ලබා නොගෙන බවද එහිදී සඳහන් කළ මාධ්‍ය ප්‍රකාශකවරයා, සිය රාජකාරි පිස්තෝලය කටුනායක ගුවන් තොටුපළේදී වෙනත් පුද්ගලයකුට බාරදී ඔහු මෙලෙස මැලේසියාවට ගොස් ඇති බවත්, සිය රාජකාරි පිස්තෝලය අන්සතු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත්, ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් විශේෂ විමර්ශනයක් අරඹා ඇති බවත් කීවේය. පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ගමන් ගත් මෝටර් රථයට අනුරාධපුරයේ හිටපු ඔහුට අයත් නිවස ආසන්නයේදී වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වූයේ 2023 වසරේ සැප්තැම්බර් 17 වැනිදාය.
මෙම වෙඩිතැබීමට අදාළව අධිකරණය නියෝග මත රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඇති සීසීටීවී කැමරා සංඛ්‍යාව 11කි. ඒ කිසිදු කැමරාවක අදාළ වෙඩිතැබීම සටහන්ව නොමැති බව විමර්ශනවලදී හෙළිකර ගැනිණි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි ප්‍රභූ ආරක්ෂක අංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් දෙදෙනාට නිකුත් කර ඇති පැති අවි දෙකකින් (පිස්තෝල දෙකෙන්) වෙඩි ප්‍රහාර එල්ල කර ඇද්ද යන්න අනාවරණ කරගැනීම සඳහා එම පැති අවි දෙකද රජයේ රස පරීක්ෂකවරයා වෙත අධිකරණ නියෝග මීට පෙර යැවිණි.