කන්ද උඩරට කියලා කියන්නේ ලංකාවේ හදවත. අපි දන්නවා ලංකාවට එන බොහෝ විදේශිකයෝ යන්නේ, එන්නේ, ඉන්නේ නුවරඑළිය සහ අදාළ කන්ද උඩරට තියෙන ප්‍රදේශවල. කන්ද උඩරටට අයිති වෙලා තියෙන බොහෝ ප්‍රදේශවලට අපි හරි ආදරෙයි. ඒවා හරි ලස්සන තැන්. ඒ නිසාම බොහෝ දෙනෙක් මේ ප්‍රදේශවල ඇවිදින්න කැමැතියි, විදේශිකයෝ ශ්‍රී ලාංකිකයෝ කියලා වෙනසක් නැහැ.Sri Lanka Latest News
ඒ නිසාම අපි නුවරඑළිය ගියා නුවරඑළියේ ඇත්තටම දැන් වර්තමාන තත්ත්වය මොකක්ද කියලා හොයාගන්නත් එක්ක. අපි නුවරඑළියට ඇතුළු වෙනකොටම අපි දැක්කේ තවමත් කඳු හිස් මත රැඳුණු පස් කණ්ඩි. පස් කණ්ඩි කඩාවැටුණු තැන්වල තියෙන විශාල ගල්. ඒවා තැනින් තැන කඩාවැටෙන්නට නියමිතව, පොළොවට එන්නට නියමිතව තියෙන භයානක සලකුණු. මේක මම හිතන්නේ ගෙදරට වෙලා ඉන්න, ප්‍රවෘත්ති බලන, දකින, අහන ඔබට ඒ තරම්ම හුරුපුරුදු දෙයක් නොවෙන්න පුළුවන්.
නමුත් අපිට එන ප්‍රවෘත්තිවලින් දැනගන්න ලැබෙන්නෙ සාර්ථකව මේ නායයෑම්වලින්, ස්වභාවික ආපදාවලින් ගැලවුණු රටක අපි දකින්නේ නම් ඇලවුණු ගොඩනැගිලි, ගැලවුණු පස් කණ්ඩි, පෙරළෙන්න ඔන්න මෙන්න තියෙන ගස්කොලන් එක්ක තැතිගැන්මෙන් ජීවත් වියයුතු නුවරඑළියක්.
නුවරඑළියේ බදුල්ල පාර, අපි මේ කියන්නේ බෙලිහුල්ඔයෙන් ඉහළට ගිහිල්ලා කළුපහන හරහා නුවරඑළියට ළඟාවෙන්න තියෙන මාර්ගය. මේ මාර්ගය දෙපස පස් කණ්ඩි විශාල ප්‍රමාණයක් ඉතාම අවදානම් ආකාරයට රැඳිලා තියෙනවා. ඒ වගේම හක්ගල මල්වත්ත ආශ්‍රිතව තියෙන ප්‍රදේශයේ පාර කැඩිලා ගියපු තැන තවමත් නිවැරදිව පිළිසකර කරගන්න බැරිවෙලා, ඒ පාර වටේට ඇතුළු වෙන්න බැරි වෙන්න ඒ පාරේ අදාළ පැළුණු ස්ථානයට ඇතුළු වෙන්න බැරි වෙන්න විදියට සකස් කරලා තියෙනවා. වාහන ගමනාගමනය සාමාන්‍ය පරිදි සිද්ධ වෙනවා. නමුත් මේ මාර්ගයේ පැළුම තව විශාල වෙයිද, කඩා වැටෙයිද, කොපමණ දුර යයිද කියන එක සම්බන්ධව කිසිදු නිශ්චිත අදහසක් මම දන්නේ නැහැ මේ වෙනකොටත් තීන්දු කරගෙන අදහස් කරගෙන හොයාගෙන තියෙනවාද කියන එක.
ඒ වගේම නුවරඑළියේ සිට හැටන් පාර බොහෝ ප්‍රදේශවල පස් කණ්ඩි කඩාවැටෙන්න ඔන්න මෙන්න තියෙන තැන් තමයි අපි දකින්නේ. ප්‍රශ්නය තියෙන්නේ නුවරඑළියට වහින ඊළඟ වැස්ස. නුවරඑළියට ඊළඟට මහ වැස්සක් වහින පළමුවැනි අවස්ථාවේදීම ප්‍රධාන වශයෙන් ප්‍රශ්න කිහිපයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. පළමුවැනි ප්‍රශ්නය තමයි මේ පාරට බොහෝ වෙලාවට පස් කඳු අතර තියෙන ගස්කොලන් නැති, තණකොළ ආවරණය නැති, දුඹුරු පාට පස් කණ්ඩිවලින් හේදෙන මඩ වතුර ගලා එන්න පටන් ගන්නවා. ඒක ඉතාම සාන්ද්‍ර දියරමය පස් කන්දක් බවට පත්වෙයි. ඉතින් මේ පස් මහ පොළොවට ගලාගෙන ආවට පස්සේ, පාරවල්වලට ගලාගෙන ආවට පස්සේ, පාරවල්වල වාහන යන එක තියා පයින් යන එකවත් කරගන්න බැරිවෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම අපි දන්නවා මේ පස් ඉතාම නරක විදිහට බුරුල් වෙලා තියෙන්නේ. කොයි වෙලාවේ මේ බුරුල් වුණු පස් මහ පොළොවෙන් ගැලවිලා ආපහු පාරවල් මතට කඩා වැටෙයිද කියන එක ගැන කිසිම කෙනකුට ස්ථිරව උත්තර දෙන්න බැහැ.
අපි විශ්වාසයෙන්ම දන්නවා අනිවාර්යයෙන්ම අපිට කියන්න පුළුවන් මේ පස් කඩාගෙන වැටෙනවාමයි කියන එක. ඇත්තටම නුවරඑළිය කියලා කියන්නේ අතිශය අවදානම් ප්‍රදේශයක් බවට පත්වෙලා තියෙනවා. ඊළඟ වැහි කාලයේදී මේ අවදානම දෙගුණ තෙගුණ සිවුගුණ විය හැකි බව අපි මතක් කරනවා බලධාරීන්ට.
අපි දන්නවා ආණ්ඩුවට මේකට උත්තර හොයන එක ලේසි නැහැ කියන එක. ඇත්තටම මේ නායයෑම්වලට වැරදි වර්තමාන ආණ්ඩුව නෙමෙයි. මේ නායයෑම්වලට, මේ පස් කණ්ඩි කඩාවැටීම්වලට අවුරුදු ගණනක් තිස්සේ අපේ රටේ දේශපාලනය කරපු අය වගකියන්න ඕනේ. ඒක වෙනම කතාවක්. ඒක වෙනම පැහැදිලි කරගන්න ඕනෙ කතාවක්. නමුත් ප්‍රශ්නය තියෙන්නේ මේ විදිහට කඩාවැටෙන පස් කණ්ඩි අතර ජීවත් වෙන මිනිස්සු සහ යන එන ඔබ අප කියන කාරණාව.
නුවරඑළියේ මාර්ග කොයි වෙලාවේ වසා දමන්න සිද්ධ වෙයිද කියන එක ගැන අපි ඔබට අවශ්‍ය නම් අනාවැකියක් කියන්නම්. නුවරඑළියට වැටෙන පළමුවැනි වැස්සේදීම නුවරඑළියේ මාර්ග වසාදැමීමට බලධාරීන්ට සිද්ධ වෙනවා. නුවරඑළියේ ජන ජීවිත වලට මීට වඩා නිශ්චිත අර්ථයක් සකස් කරන්න පාලකයන්ට සිද්ධ වෙනවා. මොකද මරණයක් අතේ තියාගෙන ජීවත් වෙන එක ඇත්තටම පහසු දෙයක් නෙමෙයි. මේ මරණයක් අතේ තියාගෙන ජීවත් වෙන මිනිස්සු ඉන්නේ අතිශය අවදානමක. ඒ මිනිස්සු උදේ හවස ජීවත් වෙනවා, ඉස්කෝලේ යනවා, කනවා බොනවා, සාමාන්‍ය ජීවිතය ගතකරනවා. හැබැයි ඒ හැම වෙලාවකම මේ පස් කණ්ඩිවල අවදානම ඒ විදිහටම ඉතුරු වෙලා තියෙනවා.
අපි දැක්කා අපේ අනුර සහෝදරයා කියනවා අඩි 5000ට වඩා උස කඳු මුදුන්වල ජන ජීවිත සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න ඕනේ, නැත්නම් ඒවා නිදහස් කරන්න ඕනේ කියලා. ඒක අතිශය ඇත්ත කතාවක්. ඒක කරනවා නම් ඉතාම වැදගත් කතාවක් සහ මේ අඩි 5000 කට වඩා උස කඳු මුදුන්වල ජන ජීවිත ඇති කළේ මාලිමා ආණ්ඩුව නෙමෙයි. ඒ නිසා එහෙම මාලිමා ආණ්ඩුවට චෝදනා කරන්නත් කාටවත් බැහැ. නමුත් ප්‍රශ්නය තියෙන්නේ මේ අඩි 5000කට වඩා උස කඳු මුදුන් ජනාකීර්ණව තියෙන මොහොතක ඒවා ඉවත් කිරීම පහසු නැහැ. ඉතාම අක්‍රමවත් නගර සැලසුමක් තමයි හැම වෙලාවකම ශ්‍රී ලංකාවේ තියෙන්නේ.
ඉතින් අපි දැක්ක දේ අපි ඔබට කිව්වා. නුවරඑළිය අවදානම්, පරිස්සම් වෙන්න. කඳු මුදුන්වලින් පොළොවට කඩා වැටෙන්න නියමිත පස් කඳු සංඛ්‍යාව අපේ දෑස් මානයෙන් දැක්කට පස්සේ සියයකට වඩා වැඩි අවදානම් ස්ථාන අපිට හඳුනා ගන්න පුළුවන් වුණා. මේ ස්ථානවලින් හැම වෙලාවකම මිලිමීටර් 100 ඉක්මවූ වැස්සකින් හානි විය හැකි බව පැහැදිලිව පේනවා. මිලිමීටර් 100 ඉක්මවූ වැසි බොහෝ වෙලාවට මාර්තු මාසයෙන් පස්සේ ආරම්භ විය හැකියි. විශේෂයෙන්ම නුවරඑළියට වැඩි ජනකායක් පැමිණෙන්නේ සැලළිහිණි වසන්තයට. ඒ තමයි අප්‍රේල් මාසයේ වසන්තය උදාවෙනකොට. අපි දන්නවා අප්‍රේල් මාසයේ අවුරුදු කාලයට වැඩිපුර සෙනඟ නුවරඑළියට එනවා. ඒ කාලයටම මහා වැසි වැටෙන්න පටන් ගන්නවා. වැසි දෙක තුනකට අල්ලන් ඉන්න බැරි විදියට මේ පස් කණ්ඩිවල අවදානම් ප්‍රදේශ දැන් නිර්මාණය වෙලා ඉවරයි. ඒවා හරිම අක්‍රමවත් විදියට සමහර තැන්වල අපිට පේනවා ගල් තියෙන්නේ නිකන් පොඩි පස් කණ්ඩියකට දෙකකට හිර වෙලා. ඒ නිසා යළි නුවරඑළියට පණ එන්න නම් මීට වඩා වැඩ කරන්න සිද්ධ වෙනවා. මීට වඩා මහන්සි වෙන්න සිද්ධ වෙනවා.
අපි දැක්කා සමහර රටවල් ප්‍රොජෙක්ට් භාරගත්තා, පාරවල් හදන එක සමහර අය භාරගත්තා, පාලම් හදන එක තව අය භාරගත්තා කියලා විවිධ කතන්දර එළියට ආවා. හැබැයි අපිට නම් ඒ කවුරුත් පාරවල් හදනවා වත්, ගොඩනැගිලි හදනවා වත්, පාලම් හදනවා වත් පේන්න තිබුණේ නැහැ නුවරඑළිය ගියපු අවස්ථාවේදී. අපි හොඳටම දැක්කේ සම්පූර්ණයෙන්ම අත්හැරලා දාලා වැඩ ඉවර කරපු සේයාවක් පෙනෙන ස්ථාන. ඉතින් ඒ නිසා අපි ඉල්ලා සිටිනවා නුවරඑළියේ මිනිස්සුන්ගේ ජීවිත ගැන මීට වඩා හිතන්න කියලා.

ජීවන පහන් තිළිණ










