‘තාත්තා මට ඇනපු ටොක්ක දවාලෙ තරු පෙණුනා‘ යන ගීතයේ පද වෙනස් කොට පවතින ආණ්ඩුවේ ප්‍රධානීන්ට අපහාස වන ආකාරයෙන් ගායනා කොට සමාජ මාධ්‍ය ජාලාවන්ට මුදා හැර ඇති වීඩියෝවක් මුල්කරගෙන ජිප්සීස් නායක සුනිල් පෙරේා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.
මෙහිදී සුනිල් පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කොට ඇත්තේ අදාළ වීඩියෝව තමන් විසින් කළ එකක් නොවන බවත්, තමන්ගේ කිසිදු සම්බන්ධයක් ඊට නොමැති බවත්ය.
මේ සම්බන්ධයෙන් අප සුනිල් පෙරේරා මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා කියා සිටියේ තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් වූ බිය හේතුකොට ගෙන මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බවකි.
පසුගිය කාලයේදී ඇතැම් පුද්ගලයන්ට පහර දුන් බවත්, රන්ජන් රාමනායක සිරගත කළ බවත්, ශානි අබේසේකර රිමාන්ඩ් කළ බවත් පෙන්වා දුන් සුනිල් පෙරේරා මහතා තමන්ට එවැනි සිදුවීමකට මුහුණ දීමට අවශ්‍ය නැති බවද කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් සුනිල් පෙරේරා සමග කළ විශේෂ සාකච්ජාවක් මෙවර මව්රට පුවත්පතේ පළවේ.
මේ අතර අපේ ජන බල පක්ෂයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ වේදිනිගම විමලතිස්ස හිමියන්ද විශේෂ වීඩියෝවක් නිකුත් කරමින් කියා සිටියේ තමන් වහන්සේ පැහැරගැනීමකට ලක්වූ බවත්, දින කිහිපයක් තමන්ව නිරහාරව තැබීමට පැහැරගත් පිරිස් කටයුතු කළ බවත්ය.
අපේ ජන බල පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ අතුරලියේ රතන හිමියන් සමග සාකච්ජාවක් පැවැති බවත්, ඉන් අනතුරුව තමන් වහන්සේ පැහැර ගැනීමකට ලක්වූ බවත් උන්වහන්සේ කියා සිටියහ.
ඉන් අනතුරුව තමන් වහන්සේගෙන් බලහත්කාරයෙන් ලිපියකට අස්සන් ගත් බවත් උන්වහන්සේ කියා සිටියහ.
ඒ අනුව රතන හිමියන් විසින් මන්ත්‍රී ධූරය බලහත්කාරයෙන් ගත් බවද උන්වහන්සේ එහිදී චෝදනා කර ඇත.










