ප්‍රශ්නගත ඔන්ඩැන්සෙට්‍රොන් එන්නත සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා. Sri Lanka Latest News
ඒ, ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නත ලබාදීම තුළින් මියගිය බවට සැකකෙරෙන කාන්තාවගේ සැමියා විසිනි.
උණ රෝගී තත්ත්ව හේතුවෙන් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් දෙදෙනෙකු පසුගිය 11 වැනිදා සහ 14 වැනිදා හදිසියේ මියගොස් තිබුණි.
මාරාන්තික තත්ත්වයක නොසිටි එම රෝගීන් දෙදෙනා මියගියේ ඔන්ඩැන්සෙට්‍රොන් එන්නත භාවිතයෙන් පසු ඇතිවූ සංකුලතා හේතුවෙන්දැයි බරපතළ සැකයක් මතුව තිබූ අතර ඒ අනුව එම එන්නත් භාවිතය අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත්තේය.
එම මරණ අදාළ එන්නත භාවිතය නිසා සිදුව ඇත්දැයි සොයා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ වන විට විමර්ශන ක්‍රියාත්මක පසුබිමක මේ සිද්ධියට අදාළව මියගිය කාන්තාවකගේ සැමියා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කළේය.
කෙසේවෙතත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියේ යම් ගැටලුවක් සිදුව ඇත්නම් ඊට අදාළව නීතිය ක්‍රියාත්මක කරන බවය.










