ජාතික වනෝද්‍යාන තුළ සිදුකරන වන සත්ව සංහාරය වෙන කිසිම කාලයක නොවූ තරමින් වැඩි වී ඇතැයි ශ්‍රී ලංකා වනජීවී සංරක්ෂණ නිලධාරීන්ගේ සංගමයේ සභාපති, පොලොන්නරුව කලාප භාර අඩවි ආරක්ෂක ඩබ්.එම්. කුමාරසිරි විජේකෝන් පවසයි.
පොලොන්නරුව මින්නේරිය, සෝමාවතිය, වස්ගමුව, මාදුරුඔය, ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මෙන්ම වෙනත් රක්ෂිතවල අන් කවරදාටත් පරිසර අපරාධ ඉහළ ගොස් ඇත්තේ වනජීවී නිලධාරීන්ට හිමිවන පහසුකම් කප්පාදු කිරීම නිසා බව ද ඔහු කීවේය. වන සත්ව සංහාරයට සමගාමීව සියලු පරිසර අපරාධද ඉහළ ගොස් ඇති බව ඔහු කීවේය.
ඔහු මේ බව සඳහන් කළේ අද (28) දහවල් දිඹුලාගල මනම්පිටිය ප්‍රදේශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
වනජීවී නිලධාරීන් සතුව තිබූ ගිනි අවි රජයට පවරා ගැනීම්ත් සමග තමන්ට දඩයම් කරුවන්ගෙන් මෙන්ම විවිධ ජාවාරම්කරුවන්ගෙන් තර්ජන හා බාධා එල්ල වීම වැඩිවී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවේ වනජීවී නිලධාරීන් සිටින්නේ දාහකටත් අඩු සංඛ්‍යාවක් බැවින් ඔවුන්ට ජාතික වනෝද්‍යාන මෙන්ම අභයභූමි ආරක්ෂා කිරීමට විශාල වගකීමක් පැවරෙන බවත්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වනජීවී නිලධාරීන්ට විවිධ ගැසට්පත්‍ර නිකුත් කරමින් ඔවුන්ගේ රාජකාරි කිරීමට පහසුකම් ලබානොදීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජීවත්වෙන සියලු සත්ව වර්ගයාට මෙන්ම, වනෝද්‍යානවලට ගතවූ මාස කිහිපය තුළ දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවත් ඔහු හෙළි කළේය.
මෙම මාධ්‍ය සාකච්ඡාවේදී වැඩිදුරටත් කරුණු දැක්වූ කුමාරසිරි විජේකෝන් මහතා මෙසේද කීය.
‘කුකුළු මස් කිලෝ එකක් වෙfළඳපොලේ රුපියල් 1,800ට අලෙවි වෙද්දී දඩයම්කරු දඩ මස් කිලෝ එකක් 1,500කට තොග වශයෙන් ලබාදෙනවා. මේක මහා ඛේදනීය තත්ත්වයක්. සමහර වනෝද්‍යානවලට ගිහිල්ලා වඳවී යන සතුන් පවා දඩයම් කරනවා. වැලිකන්ද පැත්තේ මොනරු මරනවා. නමුත් මේවා වටලන්න යන්න අපිට ප්‍රමාණවත් පහසුකම් නෑ.’
‘ඉන්ධන අර්බුදය නිසා සෙනසුරාදා, ඉරිදා අපිව රාජකාරිවලට යෑම නවත්තලා තියෙනවා. ඒ දවස්වල දඩයම් කිරීම වැඩි වෙලා. අපි වෘත්තීය සංගම් හැටියට රජයෙන් ඉල්ලන්නේ කරුණාකරලා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරලා ලංකාවේ වන සම්පත් ටිකයි, සතුන් ටිකයි ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් කඩමින් සකසන්න කියලා…’
lankasara










