එකේ ඉඳන් දහයට තියෙන ඉලක්කම් කිහිපය අතර වැඩිපුරම කතාබහට ගැණෙන ඉලක්කම් ටික මොනවද කියලා ඇහුවොත් එහෙම ඔයාලා දෙන උත්තර මොන වගේ වේවිද දන්නෙ නැහැ. සමස්ථයක් විදියට ගත්තම නම් බොහෝ අවස්ථාවල හැම දෙනකුම වාගේ 7 ඉලක්කමට ප්‍රිය කරනවා. ඒක එහෙම වෙන්නේ නම් ‘ලකී සෙවන්’ කියන මතය ඔළුවේ තියෙන නිසයි. ඔය අතර 3 ඉලක්කමට ප්‍රිය කරන අයත් බොහොමයක් ඉන්නවා. ඒක එහෙම වෙන්නේ තුනේ ඉලක්කමට ආගමානුකූලව යම් වැදගත්කමක් උසුලන නිසයි. නිදසුනක් දෙනවා නම් බෞද්ධ බැතිමතුන් ‘ත්‍රිවිධ රත්නය’ සහ කිතුනු බැතිමතුන්ට ‘ශුද්ධ වූ ත්‍රිත්වය’ යන පදවල තියෙන වැදගත්කම දක්වන්නට පුළුවන්.
3 සහ 7 අතරට 9 ඉලක්කමද ඇතැම් අවස්ථාවල සුවිශේෂ වෙනවා. ඒ සුවිශේෂ බව නම් වැඩිපුරම නපුරට බරයි. ‘නපුරු 9’ හෝ ‘අවාසනාවන්ත 9’ ලෙස සමහරුන් 9 හැඳින්වීම එයට හේතු වෙනවා.
‘9 නපුරුයි. බලාගෙන පරිස්සමෙන්…’ අහම්බෙන් වාගේ වැදගත්ය කියන කටයුත්තක් මාසේ නවවැනිදාට යෙදුණොත් සමහර පිරිස් ඒ ගැන ඉහත විදියට අනතුරු අඟවනවා.
ඇත්තටම 9 නපුරුද?
අනේ මන්දා. නපුරුකම කෙසේ වෙතත් 9 ගැන කියැවෙන තරමක් අමුතු කතාවකටයි අපි මේ සූදානම් වෙන්නේ. ආරම්භය ගන්නේ 2019 අප්‍රේල් මාසේ 21 වැනිදා පාස්කු ඉරිදාවේ කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිතුමන්ගේ පල්ලියේ පුපුරා ගිය මිනිස් බෝම්බයෙන්. එදා ඒ බිහිසුණු අපරාධය සිද්ධ වෙන්න මොහොතක් තියෙද්දී කොච්චිකඩේ පල්ලියේ මහා විශාල ඔරලෝසු කණුවේ තත්පර කටුවයි පැය කටුවයි එකම තැන ඉද්ද ගැහුවා වගේ නතර වුණා. බෝම්බ පිපිරීම සිද්ධ වුණේ ඊට තත්පර ගණනකට පස්සෙයි.
හැමෝම වාගේ ඔරලෝසු කණුවේ කටු දෙක 9 ඉලක්කම ළඟ නතර වුණු සිදුවීම ගැන කතා කළා. විiුත් සහ මුද්‍රිත මාධ්‍යවල පවා ඔරලෝසු කණුවේ සේයාරූ පෙළින් පෙළට පළවුණේ 9 ඉලක්කම මත ඉද්ද ගැහුවා වගේ නතර වුණු ඔරලෝසු මුහුණත් සමගමයි.
ඇයි එදා එහෙම 09 ඉලක්කම ළඟ කටු දෙක නතර වුණේ?
හැමෝම ඒ ගැන කතා වුණා. විiුත් මාධ්‍යවලට උදේ පාන්දරම ඇවිදින් යාං හෑලි දොඩවන සාස්තරකාරයන්ගෙන් පවා කවුරුවත් ඇහුවෙ එහෙම වෙච්ච හේතුව මොකක්ද කියලායි. පාර්ලිමේන්තුවටත් ඔය කතන්දරේ වෙන විදියකට ආවා. එතැනදී කියැවුණේ කටු දෙක නතර වෙනකොටම පුපුරපු බෝම්බ ශාපය එයට සම්මාදම් වෙච්ච අයට නිසි දඬුවම් ලබාදේවි කියලයි. 9 ඉලක්කමත් එක්ක ඈඳුණු පාස්කු බෝම්බ ශාපයේ කතාව කනින් කොනින් විටින් විට ඇහෙන කොට 2019 ජනාධිපති මැතිවරණයත් ආවා. පාස්කු බෝම්බයට හවුල්ය කියන පිරිසට පාස්කු බෝම්බයෙහි දුක්ඛිත මතක සැමරුම් මුහුණු පොත හරහා එක පොදියට අලෙවි කරමින් තම ඡන්ද ව්‍යාපාරයට එය වාසියක් කරගත්තේ නින්දිත විදියටයි. කොහොම නමුත් ඒ නින්දිත උත්සාහය හිතුවාටත් වඩා ජයග්‍රාහී ප්‍රතිඵල ගෙන ආවේ ගෝඨාභය රාජපක්ෂට ඡන්ද 69 ලක්ෂයක ජයග්‍රහණයක් අත්පත් කර දෙන ගමනයි.
බලන්න. එතැන්නත් අපට 9 ඉලක්කම ගැන හිතන්න යමක් ඉතිරි කරලා නේද? වෙනත් ඉලක්කමක් නැතුව ලක්ෂ 69 ගණනට 9 ඉලක්කම හරි කදිමට ඇවිදින් සම්බන්ධ වුණා. ඇයි එතැනට 69 ලක්ෂයට 9 එකතු වීමෙන් ආවේ? ටිකක් අමුතුයි නේද ඒක?
9 ඉලක්කම එතැනින් සිය සලකුණට තිත තිබ්බේ නැහැ. ඊගාවට මුළුමහත් ලෝක ධාතුව සමග ශ්‍රී ලාංකේය මිනිස් සමූහයාගේද ජීවිත උඩුයටිකුරු කරමින් කොවිඩ් 19 කියන අමුතුම රෝගාබාධය සියල්ල විනාශ කළා. මිනිසුන්ගේ මුහුණට මුඛවාඩම් ඔතමින් පැමිණි කොවිඩ් 19 නමින් ප්‍රසිද්ධ වුණු ඒ වසංගතයටද 9 ඉලක්කම ගෑවුණා. එතැනදී නම් 9 සත්තකින් හොඳටම නපුරු වුණාය කිව්වොත් වැරැද්දක් නැහැ. ලක්ෂ 69ක ඡන්ද අරගෙන මහා වීරයෙක් විදියට තම ආධිපත්‍යය ගොඩනඟපු ගෝඨාභය රාජපක්ෂ තවත් 9 ඉලක්කමක් එක්ක ආව කොවිඩ් 19 වසංගතය මැද සැඩ සුළඟකට අහුවෙලා තමා අසාර්ථක නායකයෙක්ය කියන කාරණය ඉතා ඉක්මනින් ඔප්පු කළා. ඒ, නොහිතා ඉන්න බැරි 9 ඉලක්කමේ තවත් අමුතු සංසිද්ධියක්.
එතැනින් 9 සිය විප්ලවකාරී මෙහෙවර නිම කළාද? නැහැ. 9 ඉලක්කමේ නපුරු ප්‍රහාර අසුබ නිමිති නැවතත් මේ රටේ නමගිය පවුලක සාමාජිකයන් සමග එකට ඈඳෙමින් මහා කලබැගෑනියක් කරපු අලකලංචි කිහිපයක් ඇති කළේ ඉතා අවම කාලවකවානුවක් තුළයි. ඒ අවම කාලවකවානුව තුළ සිදුවෙනවා යැයි කවදාකවත් හිතපු නැති සිදුවීම් මාලාවක් එකට සම්බන්ධ කොට තිබුණේ මඳක් ගුප්ත තාලෙටයි. ඒ ගුප්ත සිදුවීම් මාලාවේ ආරම්භය ඇති වුණේ මැයි 09 වැනිදායි.
තෙල් පෝලිම සහ ගෑස් පෝලිම මුල්කොට ගෙන ශ්‍රී ලාංකේය මිනිසුන්ගේ ඉහ මොළ සමග කුසට ගිනි ඇවිළවූ රාජපක්ෂ පාලනයෙන් දැඩි පීඩාවට පත්වුණු මිනිස් ගංගාව ගාලු මුවදොර අරගලය දියත් කරන්නට ගත්තේ සිංහල අවුරුදු උත්සවය කටේ තියෙන කොටයි. අලුත් අවුරුදු උත්සව සිරිය ටී.වී. ෂෝවලට පමණක් සීමා වෙනකොට බොහෝ ගෙවල්වල එදා කිරිබත ඉදුණේ අරගල භූමියේ සටන වෙනුවෙනි. උඩරට පහත රට වසන්ත සැණකෙළි යකාට යනකොට කාල්ටන් මැඳුරේ අවුරුදු උත්සවවලටද කණකොකා හඬද්දී රතු සාටකය සමග රට නැටවූ රාජපක්ෂලාට යකා නැංගේය.
හිතුවාට වඩා ගෝල්ෆේස් අරගලය ශක්තිමත් බව දැනෙද්දී මහින්ද රාජපක්ෂ ගෙදර යනවා වෙනුවට තම පිරිවර සහ රස්තියාදුකාර චණ්ඩින් සමග කොළඹට ආවේ මහා බලයක් තවමත් තමාට සහ තම බලඇණියට තියෙන බව පෙන්වමිනි. තම මතයට ගරු කරන පිරිසක් මොනර කඩදාසියකට සහ බත් පැකට්ටුවකට කුලියට ගත් මහින්ද අරගලයට පහර දෙන පළමු ගිනි පුපුරට තෙල් නැති රටේ පෙට්‍රල් වත් කළේ තමා කිසි දිනෙක තම නිල කාලය අවසන් වන තුරු යන්නේ නැතැයි කියන ප්‍රතිඥාව හොඳ උජාරුවට එදා කියාපාමිනි.
එදා කවදාදැයි මතකද?
ඒ, මැයි මස 09 වැනිදාය. මහින්දගේ කට්ටිය අරගලයේ කොල්ලන් කෙල්ලන්ට සහ පියතුමන්ලාටද එළව එළවා පහර දුන්න දවස එදාය. අරගලයට පහර දුන් පසුව ඊළඟ නිමේෂයේ නගරය පුරා හිටපු දහස් ගණන් මිනිසුන් ගුටි කාපු අරගලකරුවන් එකට එකතු වෙලා මහින්දගේ කට්ටියට එපා නොකියන්න නෙළුවේ බේරේ වැවෙහි වතුරවල රස පහසද ඔවුනට දැනෙන්නට හරිමිනි. ‘ආයුබෝවන් මම ගිහින් එන්නම්’ කියන්නට එදා උදේ නැමුණේ නැති මහින්දගේ දිව එදාම පස්වරුවෙහි නැමුණේ රටට මහා විනාශයක් සිදුවූ පසුවය. එය එහෙම වූයේ 9 ඉලක්කමෙහි වූ ශාපයට හෝ නපුරටද? එය කියන්නට දන්නේ නැත. හැබැයි ඒ මහා විනාශය සමග බලලෝභී මහින්ද රාජපක්ෂ අගමැති පුටුව හැරදමා නොසිතූ ලෙස අරගලයේ ප්‍රහාරයන්ට බයේ නිවට නියාලු ලෙස සැඟව ගියේ මැයි මස 09 වැනිදාය.
මහින්දගේ නික්ම යෑමත් සමග ‘කපුටාස්’ හෙවත් බැසිල් කාක්කා යන විරුදාවලිය ලත් බැසිල් රාජපක්ෂ කිසිවක් සිදු නොවූ ආකාරයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වීම සඳහා සිය හැංගිමුත්තන් කෙළිය නවත්වා කරළියට ආවේ 09 වැනිදාකය. ඒ ජූනි 09 වැනිදාය. ලොකු ලොකු කතා කියපු බැසිල් ‘මමයි හැමෝටම වඩා හොඳටම කළේ’ යැයි පොර වූ බැසිල් ශ්‍රී ලාංකේය රටවැසියන්ට ‘බායි අපි ගිහින් එන්නම්’ සිය නිලතලවලට ආයුබෝවන් කියා යන්නට ගියේය. පුදුමය කියන්නේ එදාද කැලැන්ඩරයේ සටහන් වූ දිනය වූයේ ජූනි 09 වැනිදාය.
ෆේස්බුක් පිටුවල 9 ගැන යාං හෑලි දිගට හරහට පළවන්නට ගත්තේ එදා සිටය.
‘මැයි 09 අරගලයට ගහලා මහින්ද ගියා. ජුනි 09 බැසිල් ගියා. ජූලි 09 ගෝඨා යයිද?’
‘නපුරුය කියන 9 ඉලක්කම අපට කියන මේ සුවිශේෂ කතන්දරය මොකක්ද? පාස්කු බෝම්බය පුපුරා යන්නට පළමුව ඔරලෝසු කණුවෙහි 9 ඉලක්කම මත එහි කටු දෙක නතර විය. කොරෝනා වසංගතය මුළු රටම අරාජික කළේ ‘කොවිඩ් 19’ යන නාමය සමග 9 ඉලක්කම හවුල් කරගනිමිනි.’
‘අරගලයට ගැහුවේද, මහින්ද ඉල්ලා අස්වුණේද 09 වැනිදාය.‘
‘බැසිල් රාජක්ෂ ලොකු ලොකු කතා කියා යන්නට ගියේ 09 වැනිදාය.’
‘තව දින කිහිපයකින් රටම එක මිටට එකතු වන්නට තනන්නේද 09 වැනිදාය.’
‘එදාට 09 වැනිදාට තවත් පාටක් එක්කරමින් ගෝඨා ගෙදර යයිද?’
ෆේස්බුක් පෝස්ට් විවිධාකාරයට එහෙම සටහන් තැබුවේ ගෝඨා යන්නට පළමුවය. ජූලි 09 වැනිදාට පළමුවය. ඔවුන් කීවා සේම අනුමාන කළා සේම ජූලි 09ද රටට සුවිශේෂ විය.
නොසිතූ ලෙස රට නන් දෙසින් ආ මහා මිනිස් ගඟ ජනාධිපති මන්දිරය ආක්‍රමණය කරන විට Gota Go Home ස්ලෝගන් එකට හිස නමා ගෝඨා සියල්ල හැරදා පලාගොස් තිබිණි. එයද සිදුවූයේ 9 ඉලක්කම කැලැන්ඩරය මත සටහන්ව තිබූ දවසකය.
මෙහෙම දේවල් වෙන්නේ ඇයි?
අරගලයට ගහන්නට මහින්ද 09 වැනිදා තෝරා ගත්තේ ඇයිද දන්නේ නැත. මැයි 09 උදේ යන්නෙම නැහැ කියා ගෝරනාඩු කරපු මහින්ද 09 වැනිදා සවස ඉල්ලා අස්වූයේ ඇයිද නොදනිමු.
ජුනි 09 වැනිදාට සමුගෙන යෑම යොදාගන්නට බැසිල් තීරණය කළේ ඇයි කියා දන්නේ නැත.
ඉවසීම පුපුරා ගිනිගෙන දැවෙන කල රටම එක මිටට අරගලයට එක් වේවි කියා රොදබැඳෙන්න අරගලකරුවන් 09 වැනිදාවක් තෝරාගත් හේතුවද අහඹුවකි.
සියල්ල අවසානයේ ගෝඨාද 09 වැනිදා යන්නට ගියේය.
මොකක්ද මේ විපර්යාසය? මේ සිදුවන්නේ එදා කොච්චිකඩේ දේවස්ථානයේ ඔරලෝසුව මත 09 ඉලක්කමෙහි කටු දෙකම නතර වූ සිදුවීමෙහි වන කුමක් හෝ බලවේගයක්ද?
‘පාස්කු ශාපයෙන් ගැලවීමක් නැතැ’යි හරීන්ලා ගෝඨාභය ඇතුළු රාජපක්ෂවරුන්ට කළ දෙස්දෙවොල් තැබීමෙහි යම් සත්‍යතාවක් වේද?
9 මුල්කොට ගෙන මේ සිදුවෙමින් පවතින්නේ ඒ ශාපයෙහි අතුරු ප්‍රතිවිපාකද?
නිශ්චිතව මොනවත් කියන්නට බැරිය. නපුරු 9 තව මොන මොන විපර්යාසයන් සිදුකරන්නට ඉන්නවාදැයි කියා නිශ්චිතව කිව නොහැකිය. කෙසේ වුවද 9 ඉලක්කම රාජපක්ෂලාට නම් වගතුවක් නැත.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු










