2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ කැබිනට් ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන්, අගමැති, ජනාධිපති ඇතුළු රජයේ ප්‍රධාන තනතුරු දරන අය වාර්ෂිකව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට වාර්ෂිකව සිය වත්කම් පිළිබඳ ප්‍රකාශනයක් ඉදිරිපත් කළ යුතුය. ඒ අනුව, වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු රජයේ ඇමැතිවරුන්ගේ වත්කම් ප්‍රකාශ මේ වනවිට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ දක්වා තිබේ.Sri Lanka Latest News
එම වත්කම් ප්‍රකාශ අතරින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහගේ වත්කම් බැරකම් ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි කතාබහක් ගොඩනැගී තිබේ.
අමාත්‍යවරයා සතු වත්කම් මොනවාද?
වසන්ත සමරසිංහ අමාත්‍යවරයා සහ ඔහුගේ පවුලේ සමීප සාමාජිකයන් හට අයත් වත්කම් ලෙස ඔහුගේ වත්කම් ප්‍රකාශයේ දක්වා ඇති ප්‍රධාන වත්කම් පහත පරිදිය.
▲ පිළිවෙළින් රු. මිලියන 150ක් සහ 75ක් වටිනා පවුලෙන් උරුම වූ වාණිජ ගොඩනැගිලි දෙකක්
▲ එක් අයිතමයක් රු. මිලියන 3.25ක් වටිනා සූර්ය පැනල දෙකක්
▲ පවුලේ සාමාජිකයකුට අයත් රු. මිලියන 10ක් වටිනා නේවාසික ගොඩනැගිල්ලක්
▲ රු. මිලියන 1.43ක් වටිනා ආභරණ
▲ පවුලේ සාමාජිකයන් දෙදෙනකුට අයත් පිළිවෙළින් රු. මිලියන 2.21ක් හා 0.91ක් වටිනා ආභරණ
▲ 2013 වර්ෂයේ නිෂ්පාදිත රු. මිලියන 15ක් වටිනා ටොයෝටා ප්‍රියස් මෝටර් රථයක්
▲ රු. 653,850ක හා රු. මිලියන 1.1ක ඉතුරුම් තැන්පතු දෙකක්
▲ පවුලේ සාමාජිකයකුට අයත් රු. ලක්ෂ 2ක ස්ථිර තැන්පතුවක්
▲ පවුලේ සාමාජිකයකුට අයත් රු. මිලියන 1.1ක ඉතුරුම් තැන්පතුවක්
▲ පවුලේ සාමාජිකයකුට අයත් එල්.ඕ.එල්.සී. සමාගමේ කොටස් 21,000ක්
▲ හිමිකාරීත්වය සහිත රු. මිලියන 5.1ක වාර්ෂික ආදායමක්
▲ වාර්ෂිකව රු. ලක්ෂ 7ක කෘෂිකාර්මික ආදායමක්
▲ වාර්ෂිකව රු. ලක්ෂ 2ක සූර්ය පැනල ආදායමක්
▲ පවුලේ සාමාජිකයකුට වාර්ෂිකව හිමිවන රු. මිලියන 3ක වාර්ෂික ආදායමක්
▲ ඇ.ඩො. 3,000ක් වටිනා ඩිජිටල් මුදල් ඒකක
ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ වසර ගණනාවක සිට පූර්ණ කාලීන ක්‍රියාකාරිකයකු වූ ඔහු සතුව මෙවැනි වත්කම් ප්‍රමාණයක් ඇත්තේ කෙසේදැයි මේ වනවිට විවිධ පාර්ශ්ව ප්‍රශ්න කරමින් තිබේ.
‘ජනතාවට අයිති සත පහක් අරගෙන නෑ… මේ ආණ්ඩුවේ දෙවැනියට වැඩියෙන්ම ප්‍රහාර එල්ල වෙන්නේ මට’
රුපවාහිනී වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා පැවැසුවේ, මෙම වත්කම් සිය පවුලේ උරුමය හරහා හිමි වූ ඒවා වන අතර, පසුගිය වසර 28ක කාලය තුළ ඔහු විසින් උපයා ගන්නා ලද ඒවා බවය.
‘සමහරු හිතන් ඉන්නවා ජනතා විමුක්ති පෙරමුණේ වැඩකරන අය මොකුත් කරන්නේ නෑ දේශපාලනය විතරයි කරන්නේ කියලා. අපි දේශපාලනය කරන ගමන් කළමනාකරණයකුත් තියෙනවා අපේ. මට මගේ පවුලෙන් ලැබුණු දේපළ ප්‍රමාණයක් තියෙනවා… මම 1997 ඉඳන් ක්ලාස් කරනවා… අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ වැඩකරන්න ගත්තට පස්සේ මට ක්ලාස් කරන්න බැරි වෙනවා’ ඔහු පැවැසුවේය.
‘තඹුත්තේගම අපේ ඉඩමක් තියෙනවා, ඒකෙ ක්ලාස් එකක් පටන් ගන්නවා. මගේ කැලණිය විශ්වවිද්‍යාලයේ යාළුවෝ එහෙම ඇවිල්ලා ඒක පටන් ගත්තේ. අවුරුදු 28ක කතාව මේ.’
‘එතැන් සිට මම පොල් අතු වහල ගැහුවා, ටකරම් වහල ගැහුවා ඊට පස්සේ මම කොන්ක්‍රීට් දක්වා ගියා. දැනට ගත්තොත් තඹුත්තේගම තියෙන විශාල ප්‍රමාණයේ බිල්ඩිං එකක්. දැන් මම ඒක රෙන්ට් කරලා තියෙන්නේ’ අමාත්‍යවරයා පැවසුවේය.
එමෙන්ම, ‘ජනතාවට අයිති සත පහක් අරගෙන නෑ… මේ ආණ්ඩුවේ දෙවැනියට වැඩියෙන්ම ප්‍රහාර එල්ල වෙන්නේ මට….’ යැයි අමාත්‍යවරයා ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබිණි.
මැතිවරණයට පෙර පැවැසුවේ කුමක් ද?
අමාත්‍යවරයා මැතිවරණයට පෙර පැවැති වැඩසටහනකදී පූර්ණ කාලීන දේශපාලනයේ නිරත වනවිට සිය පක්ෂයේ සාමාජිකයන් සහාය දක්වන ආකාරය සම්බන්ධයෙන් පැවසූ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතී.
‘මම මෙතැන ඉඳන් රත්නපුරේ වැඩකට යනවා නම් තෙල් ටික ගහන එක… කෙසෙල් කැනක් කපලා දානවා වාහනේට. එහෙම නම් එළවළු ටිකක් දෙනවා. හාල් තියෙනවා නම් හාල් ටිකක් දෙනවා. අනුරාධපුර ගියාම හාල් ටිකක්, පොල් ටිකක්… කුරුණෑගල ගියාම පොල් ටිකක්, කරවල මාළු ටිකක් එහෙම හම්බෙනවා’ ඔහු එම වීඩියෝවේ පවසයි.
කැබිනට් මාධ්‍ය හමුවේදී මතු කළ ප්‍රශ්නය
මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල විසින් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්සගෙන් විමසීමක් සිදු කරන ලදී. එහිදී ඔහුගෙන් විමසා සිටියේ, වත්කම් ප්‍රකාශයේ දැක්වෙන පරිදි වත්කම් ප්‍රමාණයක් ඇති වසන්ත සමරසිංහ මීට පෙර පවසා තිබූ පරිදි සාමාන්‍ය වැසියන් දුන් භාණ්ඩ පරිභෝජනය කිරීම නිවැරදිද? යනුවෙනි.
එහිදී ඔහු පැවැසුවේ, සිය පක්ෂයේ සාමාජිකයන්හට වසන්ත සමරසිංහ අමාත්‍යවරයාගේ වත්කම් සම්බන්ධ ගැටලුවක් නොමැති බවය.
‘ඔය ප්‍රශ්නය මම හිතන්නේ නෑ අපට සහයෝගය දක්වපු සාමාජිකයන්ට ප්‍රශ්නයක් තියෙනවා කියලා. උපයපු ආකාරය හෙළිකරන්න පුළුවන් නිසා තමයි ඒවා ප්‍රකාශයට පත්කරලා තියෙන්නේ. මේ ප්‍රශ්නය අහන්නේ අපට විරුද්ධ, අපට මඩ ගහන පාර්ශ්වයන් විසින්’ කැබිනට් ප්‍රකාශකවරයා පැවැසීය. කෙසේ වෙතත් මෙම ප්‍රශ්නය අසන අවස්ථාවේ කැබිනට් මාධ්‍ය හමුවේ සජීව විකාශයට බාධා සිදු විය.
මේ අතර, ඩිජිටල් මුදල් ඒකක සම්බන්ධයෙන් පෙර දිනයේ පැවැති වැඩසටහනකදී අමාත්‍ය වසන්ත සමරසිංහ පැවැසුවේ ඔහු සිය පුත්‍රයා සමග ‘ක්‍රිප්ටෝකරන්සි’ මිලට ගත් බවය.
ක්‍රිප්ටෝකරන්සි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ මෙවැනි දෙයකි.
‘ක්‍රිප්ටෝ මුදල් ශ්‍රී ලංකාව තුළ පිළිගත් වත්කම් ප්‍රභේදයක් නොවන අතර එය නියාමනය නොවන ආයෝජන උපකරණයක් බවට මහ ජනතාවට නැවතත් අවධාරණය කරයි’ යැයි එහි නිල වෙබ් අඩවියේ දැක් වේ.
‘ක්‍රිප්ටෝ මුදල් ශ්‍රී ලංකාව තුළ වලංගු මුදල් ඒකකයක් ලෙස නොසලකන අතර, ඒවායේ භාවිතය සම්බන්ධයෙන් මෙරට තුළ නියාමන ආරක්ෂණයක් නොමැත’ එහි වැඩි දුරටත් සඳහන්ය.
ඒ සම්බන්ධයෙන් ද කැබිනට් ප්‍රකාශකවරයාගෙන් විමසීමක් සිදු කළ නමුත් ඔහු පැවැසුවේ, ඒවා පිළිබඳ දත්ත අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ලබාදී ඇත්තේ ඒවා උපයාගත් ආකාරය හෙළිකිරීමට හැකි නිසා බැවින් බවය.
ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශවලින් හෙළිවන කරුණු 6ක්
ජාතික ජන බලවේගයේ පාලනය ගොඩනැගී වසරක් ගතවන පසුබිම තුළ ජාතික ජන බලවේගය වෙත නැවතත් දැඩි අවධානයක් පසුගිය සතියේ යොමුවිය. ඒ, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය හරහා ජනාධිපති, අගමැති, කැබිනට් මණ්ඩලය ඇතුළු රජයේ ඉහළ නිලධාරීන්ගේ සහ වත්කම් හා බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීමත් සමගය. එහිදී ඔවුන් එම ප්‍රකාශවල දක්වා ඇති වත්කම්වල එකතුව සම්බන්ධයෙන් බොහෝ දෙනකු අවධානය යොමුකර තිබූ අතර, ඇතැම් මැති ඇමැතිවරුන් ඔවුන්ගේ ධනය උපයාගත් ආකාරය පිළිබඳවද ප්‍රසිද්ධ මාධ්‍යයේ කරුණු පැහැදිලි කරන ආකාරය දැකගත හැකි විය.
මෙම වත්කම් හා බැරකම් ප්‍රකාශ බීබීසී සිංහල විසින් නිරීක්ෂණය කළ අතර, ඒවායේ තිබූ දත්ත සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලදී. බොහෝ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉතා අවිධිමත් ලෙස සම්පූර්ණ කර ඇති ආකාරය ද එහිදී දැකගත හැකි විය.
- ඇතැම් වත්කම්වල වටිනාකම පැහැදිලි නොවීම
ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමේදී බොහෝ වත්කම් හා බැරකම් ප්‍රකාශ අසම්පූර්ණ බවට නිරීක්ෂණය විය. ඇතැම් පුද්ගලයන් ඔවුන්ට ඇති වත්කම්වල වටිනාකම් සඳහන් කර තිබුණේ නැත.
අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරගේ වත්කම්වල නිවසක, ඉඩමක මෙන්ම ඔහුගේ කොටස් හිමිකාරීත්වයන්ගේ වටිනාකම සඳහන් කර නොමැත.
අගමැතිවරියගේද නේවාසික ගොඩනැගිලි 3ක වටිනාකම සඳහන් කර නැත.
තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකරගේ වත්කම් හා බැරකම් ප්‍රකාශයේ ඔහුගේ කිසිදු වත්කමක වටිනාකම සටහන් කර තිබුණේ නැත. අවම වශයෙන් ඔහුගේ වැටුප හෝ එහි සඳහන් කර තිබුණේ නැත. එහි ඔහුට අයත් වත්කම් ලෙස නේවාසික ගොඩනැගිලි 2ක්, රන් පවුම් 14ක් සහ පෙර පාසල් ගුරු වැටුපක් සඳහන් වූ නමුත් ඒවායේ වටිනාකම සඳහන් කර නැත. - නිරවද්‍යතාව
මෙම වත්කම් හා බැරකම් ප්‍රකාශ නිරීක්ෂණයේදී ඇතිවූ තවත් ගැටලුවක් වූයේ ඒවායේ නිරවද්‍යතාවය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ගේ වත්කම් ප්‍රකාශයේ ඔහුට අයත් නේවාසික ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන් සටහන් වී තිබූ නමුත් එහි වටිනාකම ලෙස සටහන්ව තිබුණේ රු.7,000ක් ලෙසය. එය ප්‍රයෝගිකව විය හැක්කේ කෙසේ ද යන ප්‍රශ්නය එහිදී අපට ඇති විය.
එමෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි ඔහුගේ වත්කම් හා බැරකම් ප්‍රකාශයෙන් ඔහු සතුව ටොයෝටා ප්‍රිමියෝ වර්ගයේ මෝටර් රථයක් ඇති බවට සටහන් කර තිබේ. නමුත් එහි සඳහන්ව ඇත්තේ එහි වටිනාකම රු. 160,000.00ක් බවටය. මෝටර් රථයක වටිනාකම එවැනි අගයක් විය හැක්කේ කෙසේදැයි යන්න ප්‍රශ්නසහගතය. එසේ නම් අමාත්‍යවරයා වටිනාකම සටහන් කිරීමේදී ඇතැම් විට ඉලක්කම් අඩුවෙන් පුරවා තිබිය යුතුය.
ජනතාවට දැනගැනීම සඳහා ප්‍රසිද්ධ කර ඇති මෙවැනි ලේඛනයක එවැනි ආකාරයේ වැරදීමක් තිබිය හැක්කේ කෙසේදැයි යන්න සාකච්ඡා කළ යුතු ප්‍රශ්නයකි. - ආදායම් උපයා ගත්තේ කෙසේද?
මෙම වත්කම් හා බැරකම් ප්‍රකාශවල තිබූ තවත් අපහැදිලිතාවක් වූයේ ඒවායේ ප්‍රකාශකයන් විසින් සඳහන් කරනු ලැබ ඇති වත්කම් උපයාගෙන ඇති ආකාරය පැහැදිලි නොවීමය. මෙම වත්කම් සම්බන්ධ ප්‍රකාශ ඉදිරිපත් කිරීමේදී ඒවා උපයාගත් අන්දම වැදගත්ය.
කෙසේ නමුත් මෙම ප්‍රකාශකයන්ගේ නිශ්චල සහ සහ චංචල දේපළවල ඒවා පවුලෙන් හිමි වූ ඒවා නම් ඒ බව සඳහන්ව තිබිණි. මිලට ගත් ලෙස සඳහන් වූ ඒවායේ ඒ සඳහා මුදල් උපයාගත්තේ කෙසේද යන්න සඳහන් නොවේ.
ඇතැම් නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ අමාත්‍යවරුන් සතුව විදේශීය මුදල්ද මූල්‍යමය වත්කම් ලෙස ඇති බව නිරීක්ෂණය විය.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ සතුව ඇමෙරිකානු ඩොලර් 153,499ක් ඇති බවට සටහන් කර ඇති නමුත් ඒවා උපයා ගත් ආකාරය පිළිබඳ සටහනක් නොමැත.
බොහෝ අයගේ මූල්‍යමය වත්කම් සටහන් කිරීමට ඇති කොටස නිරීක්ෂණයේදී මේ බව පෙනීයයි. - නීත්‍යනුකූල නොවන වත්කම්
ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් මුදල් ඒකක නීත්‍යනුකූල වත්කමක් නොවන බව මහා බැංකු නිල වෙබ් අඩවියේ දැක්වේ.
කෙසේ වෙතත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සහ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් ඔවුන් සතු ඩිජිටල් මුදල් ඒකක සමබන්ධයෙන් ද වත්කම් සහ බැරකම් ප්‍රකාශයේ දක්වා ඇත.
2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නිකුත් කරන ලද 2021 අංක 03 දරන නියෝගය ප්‍රකාරව ක්‍රිප්ටෝ මුදල් ගනුදෙනු හා සම්බන්ධ ගෙවීම් සඳහා හර කාඩ්පත් (ඩෙබිට් කාඩ්) සහ ණය කාඩ්පත් (ක්‍රෙඩිට් කාඩ්) වැනි විද්‍යුත් මුදල් හුවමාරු කිරීමේ කාඩ්පත් භාවිත කිරීමට ද අවසර හිමි නොවේ.
අමාත්‍ය වසන්ත සමරසිංහ සහ කතානායකවරයා විසින් ඔවුන් සතුව ඩිජිටල් මුදල් ඒකක ඇති බවට ප්‍රකාශ කර ඇත්තේ එවැනි නීතිමය පසුබිමකය. මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල විසින් සැප්තැම්බර් 16 පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්සගෙන් විමසන ලදී.
මහබැංකුව විසින් ඩිජිටල් මුදල් ඒකක සම්බන්ධයෙන් මෙවැනි මාර්ගෝපදේශන නිකුත් කර ඇති පසුබිමක ආණ්ඩුවේ සාමාජිකයන් විසින් සිය වත්කම් ලෙස ඒවා සටහන් කර තිබෙන බවත් ඒවා එම නීතිවලට අනුකූලද යන්න එහිදී විමසා සිටින ලදී.
‘මා දන්නා හැටියට, වත්කම් හා බැරකම් ප්‍රකාශවල දාන්නේ ඔවුන්ට ඔප්පු කරන්න පුළුවන් දේවල්. එයාලා ඒක ඉදිරිපත් කරලා තියෙනවනේ. ඔබ කොහෙන් හරි හොයාගෙන ගිහිල්ලා, ඔබ විමර්ශනයක් කරලා ගත්ත දේවල් නෙවෙයිනේ. මේ අපි ඉදිරිපත් කරපු දේවල්’ ඔහු එයට පිළිතුරු ලෙස පැවැසුවේය. - අල්ලස් කොමිසමේ වගවීම කුමක්ද?
2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත යටතේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දෙන අයගේ එම ප්‍රකාශ පනතේ 83 වැනි වගන්තිය යටතේ ප්‍රකාශ ඉදිරිපත් කිරීම සහ සත්‍යාපනය කිරීම මධ්‍යම අධිකාරිය ලෙස හඳුන්වන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියක් හරහා සිදුකළ යුතුය. එහි 84 වැනි වගන්තියට අනුව ‘අයුතු අපොහොසත්වීම්’ සහ ‘බැඳියාවන්’ පිළිබඳ බැලූබැල්මට පෙනෙන ඝට්ටනයන් සම්බන්ධ සාක්ෂි සොයාගැනීම සඳහා වත්කම් සහ බැරකම් ප්‍රකාශ සත්‍යාපනය කිරීම මෙම මධ්‍යම අධිකාරිය විසින් සිදු කළ යුතුය. එමෙන්ම එම ප්‍රකාශවල පිටපතක් මහජනතාවට බැලීමට හැකි ආකාරයට පළකළ යුතුය.
එමෙන්ම ඒවායේ යම් ඝට්ටනයක් ඇති බවට ස්වකීය පරීක්ෂණවලින් පෙනීයන්නේ නම් හෝ යම් අයෙකු ඒ සම්බන්ධයෙන් පැමිණිලක් සිදු කරන්නේ නම් ඒවා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සිදු කළ යුතුය.
කෙසේ වෙතත් මහ ජනතාවගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධ කර තිබෙන වත්කම් සහ බැරකම් ප්‍රකාශ සත්‍යාපනය කර තිබෙන්නේ ද යන්න පැහැදිලි නැත.
මක්නිසාදයත් ඒවායේ සඳහන් නොවන වත්කම්වල වටිනාකම්, වර්තමාන වටිනාකම සඳහන් නොවන වත්කම් මෙන්ම කිසිදු වටිනාකමක් සඳහන් නොවන වත්කම් ප්‍රකාශ ද ඒ අතර ඇති බැවින්ය.
මහජන ඡන්දයෙන් පවත්වන මහජන නියෝජිතයන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ මහජනතාවට දැනගැනීම සඳහා ඉදිරිපත් කිරීමේදී මහ ජනතාව සතු තොරතුරු දැනගැනීමේ මූලික අයිතිවාසිකම අනුව නිවැරදි, සත්‍ය තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම ජනතාවට තිබේ. මේ නිසා අසම්පූර්ණ, අවිධිමත් සහ නිරවද්‍යතාවයෙන් තොර බවට බැලූ බැල්මට පෙනී යන තොරතුරු ජනතාවගේ එම අයිතිය කඩකිරීමකි.
- වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ තැනැත්තන් සම්බන්ධයෙන් ගන්නා පියවර
දූෂණ විරෝධී පනතට අනුව නියමිත දිනට වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා නොදෙන පුද්ගලයන් දඩ මුදලකට යටත් වේ. එමෙන්ම පළමු අවස්ථාවේදී ඔවුන්ට ලිපියක් මගින් අවවාද කිරීම සිදුවේ.
පසුගිය වසරට අදාළව වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබා නොදුන් අයගේ නාම ලේඛනයක් ද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පළකර තිබේ.
ඒ අතර හිටපු කැබිනට් අමාත්‍යවරයකු වූ ඩග්ලස් දේවානන්ද, රාජ්‍ය ඇමැතිවරුන් වූ ලොහාන් රත්වත්තේ, තාරක බාලසූරිය, ශාන්ත බණ්ඩාර, කාදර් කාදර් මස්තාන්, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, සුරේන්ද්‍ර රාඝවන් යන අය ඇතුළත්ය.
එමෙන්ම අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනකු සහ තානාපතිවරුන්ද ඇතුළත් වේ.
බීබීසී සිංහල










