2015 එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ මහා මණ්ඩල රැස්වීමට එවක ජනාධිපති මෛත්‍රීපාල ගියේ සිය පුතා වූ දහම් සිරිසේනද සමගය. එය මෛත්‍රීපාල ජනාධිපති වී සහභාගි වන පළමු මහා මණ්ඩල රැස්වීමය. මෛත්‍රී මහා මණ්ඩල රැස්වීමට ගොස් නිව්යෝර්ක් හෝටලයේ සිටියදී ඔහුට කොළඹින් දුරකතන ඇමතුමක් ලැබිණි.
‘සර්, සර්ගෙ පුතාට ඩේලි මිරර් පත්තරෙන් නැතිවෙන්න ගහලා…’
කලබල වුණු මෛත්‍රී අන්තර්ජාලයෙන් ඩේලි මිරර් පුවත්පත බලා එම ලිපියේ කොපියක් තමාට දෙන්න යැයි කීවේය. පහත දැක්වෙන්නේ එම ලිපියෙන් උපුටා ගත් කොටසකි.
‘දහම් මොනවද යූ.එන්. එකේ කරන්නේ? ජනාධිපති සිරිසේන තවම පැහැදිලි කිරීමක් කර නැහැ…’
‘අප තවමත් අපේ ප්‍රතිපත්තිය ලෙස සලකන්නේ මහින්ද ඔහුගේ පුත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රැස්වීමට රැගෙන යෑම සාධාරණීකරණය කළ නොහැකි බවයි. මෛත්‍රීපාලගේ එක්සත් ජාතීන්ගේ සංචාරයට ඔහුගේ පුත් දහම් සිරිසේන සහභාගි වීම අනුමත කළ නොහැකිය. දැනටම සමාජ මාධ්‍ය හරහා දහම් සිරිසේනගේ සංචාරය දැඩි ලෙස විවේචනය කරමින් කමෙන්ට් පළවේ…’
27.09.2015 ඩේලි මිරර්
මේ සැප්තැම්බර් මාසයේ 27 වැනිදා ඩේලි මිරර්, ජනාධිපති පුතාලා තාත්තලා සමග විදේශ සංචාරවල යෑම නිර්දය ලෙස විවේචනය කළ ආකාරයය. මේ, 2022 සැප්තැම්බර්ය. ජනාධිපති රනිල් පසුගිය සතියේ මහ රැජිනගේ අවමඟුලට සහභාගි වීමට ලන්ඩන් නුවරට ගියේය. මෛත්‍රීපාලගේ එක්සත් ජාතීන්ගේ රැස්වීමේදී දහම් හිටි හැටියේ ලන්ඩනයෙන් මතු වූවා සේ රනිල්ගේ මස්සිනා වන ඩේලි මිරර් කොම්පැනියේ හිමිකරු රුවන් විජේවර්ධන රනිල්ගේ ලන්ඩන් සංචාරයෙන් මතුවිය. ඩේලි මිරර් ඒ ගැන වචනයක්වත් කතා කළේ නැත. හැබැයි සමාජ මාධ්‍ය මහා කෝලාහලයක් කළේය. ඒ, මහින්දලා වගේම පවුලම සවාරි ගහනවා කියාය.
‘රනිල් ඇයි මහ රැජිනගේ අවමංගල්‍යයට ගියේ…’
අද මුළු ලෝකයේම ලංකාව ගැන නිවුස් යන්නේ ලංකාවේ දරුවන් කන්න නැතිව බඩගින්නේ මැරෙනවා කියාය. රනිල්ගේ ආණ්ඩුවත් ලංකාවේ ආහාර අර්බුදයක් තියෙනවා කියමින් ලෝකෙටම හඬගා කියයි. ඒ අර්බුදය විසඳන්න ආධාර කරන්න කියා ලෝක බැංකුව, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියේ නාහෙන් හඬයි. එහෙම තියෙද්දී පවුල් පිටින් රැජිනගේ අවමඟුලට යෑම ලංකාව ගැන සානුකම්පිතව බලන ලෝක ප්‍රජාව කොහොම හිතනවාද කියන්න දන්නේ නැත.
අනෙක අද මහා බි්‍රතාන්‍යයේ රජ්ජුරුවෝ ලෙස පත්ව සිටින චාල්ස්ට හෝ රජ පවුලට ලංකාවට කරන්න පුළුවන් කෙහෙම්මලක් නැත. රනිල්, චාල්ස් රජු සමග තකාබහ කරද්දී චාල්ස් රජුව නඩත්තු කරන බි්‍රතාන්‍ය ආණ්ඩුව ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජනාවක් ඉදිරිපත් කරන්න සූදානමින් සිටී. ලංකාවට එරෙහිව ආ භයානකම යෝජනාව මෙය වන අතර ලංකාවේ මානව හිමිකම් කඩකළ අයට එරෙහිව සම්බාධක පැනවිය යුතු බවටත්, ජාත්‍යන්තර අධිකරණයකදී දඬුවම් දිය යුතු බවටත් එම යෝජනාවෙන් නිර්දේශ කර තිබේ. මහින්දගේ ආණ්ඩු කාලයේවත් ගෝඨාභයගේ ආණ්ඩු කාලයේවත් මෙවැනි බරපතළ දරුණු යෝජනාවක් ලංකාවට එරෙහිව ඉදිරිපත් නොවීය. රනිල් හරි නම් යා යුතුව තිබුණේ රැජිනගේ මළගෙදරට නොව, ජිනීවාවලටය.
ජිනීවාවලට ගොස් මේ යෝජනාව වළක්වා ගන්න හෝ යෝජනාවේ සැර බාල කරගන්න රනිල් උත්සාහ ගත යුතුව තිබිණි. හේතුව, මේ යෝජනාව එන්නේ යුද්ධය කාලයේ මානව හිමිකම් කඩවීමට එරෙහිව පමණක් නොවේ. පාස්කු ප්‍රහාරය, රනිල්ගේ ආණ්ඩුව ත්‍රස්ත පනත යොදාගෙන අරගලය මර්දනය කිරීමට එරෙහිවත්, මෙම යෝජනාව ඉදිරිපත් කොට තිබේ. මේ යෝජනාවට මුහුණ දෙන්න රනිල්ගේ ආණ්ඩුව යැව්වේ විදේශ ඇමැති අලි සබි්‍ර සහ විජයදාස රාජපක්ෂවය. ඔවුන් යෝජනාවට උත්තරයක්වත් දෙන්නේ නැතිව මාරු විය. අලි සබි්‍ර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට ගියේය.
‘ඇයි රනිල් යූ.එන්. එකට ගියේ නැත්තේ…?’
රැජිනගේත්, ජපානයේ හිටපු අගමැති අබේගේත් මළගෙවල්වල යනවාට වඩා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට ගොස් අද ලංකාව මුහුණ දෙන අර්බුදය ගැන ලෝකෙටම ඇහෙන්න කිව්වා නම් ලංකාව ගැන ලෝකයේ අවධානය යොමුවෙයි.
රනිල් යූ.එන්. එකට ගියේ නැත්තේ වෙන මොනවාවත් හින්දා නොවේ. යූ.එන්. එකට ගිහින් විදේශ රාජ්‍ය නායකයන් හමුවෙන්න අවස්ථාවක් ලබාගන්න නොහැකි වුවහොත් එය ඔහුට මදිකමක් වන නිසාය. රැජිනගේ මළගෙදර යන හැම රාජ්‍ය නායකයාවම පොදු හමුවකදී චාල්ස් රජු හමුවන බව රනිල් දනී. ජපානයේ හිටපු අගමැතිගේ අවමඟුලට යන රාජ්‍ය නායකයන්වත් ජපානයේ අගමැති හමුවීමට නියමිතය.
හැබැයි යූ.එන්. එකේ එහෙම නොවේ. රාජ්‍ය අරගලයක් ත්‍රස්ත පනත යොදා මර්දනය කළ රාජ්‍ය නායකයෙක් හමුවෙන්න ලොව බලවත් රටවල රාජ්‍ය නායකයන් කැමැති වන්නේ නැත.
ඇත්ත කතාව ඒකය. පොදු හමුවකදී චාල්ස් රජු හමුවී වචන දෙක තුනක් කතා කිරීමෙන් ලංකාවට ලැබෙන සෙතක් නැත. චාල්ස් කුමාරයා ලෙස 1997 ලංකාවේ නිදහස් උළෙලට ආවේය. මහින්දගේ ආණ්ඩු කාලයේ පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක රැස්වීමට ආවේය. රැජින පුද්ගලිකවම මෛත්‍රී හමුවූවාය. මේ නිසා ඒක මළගෙදරක ආවාම ස්තුතියි කියන හමුවකි. අද ලංකාව බරපතළ ආර්ථික අර්බුදයක සහ ජාත්‍යන්තර අර්බුදයකට මැදිවී ඇත. ආර්ථික අර්බුදයටත් වඩා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම නිර්මාණය කොට ඇති ජාත්‍යන්තර අර්බුදය භයානකය. මේ අර්බුදවලට පිළියම් හොයන්නේ නැතිව මළ ගෙවල්වලට ගියාට හම්බවෙන්නේ ‘තෑන්ක් යූ’ නැතහොත් ‘ස්තුතියි’ කියන වචන විතරය.