මා ඇතුළු මගේ යාළුවන් ගොන්නට නොනගත කාලයක් තිබුණේය. ඒ උසස්පෙළ ලියා ප්‍රතිඵල සංක්‍රාන්තිය එළඹෙනතුරු පැවැති පුණ්‍ය කාලයයි. උදේ අටහමාර නමය පමණ වනවිට හීල් බත් අඩ්ඩ ගසා යකඩ අස්සයා (පාපැදියට වැඩිහිටියන්ගේ වචනය) පිට නගින අපි අපට හිතෙන හිතෙන දිහා යන්නෙමු. ඔය කියන පනහේ (1950) දශකයේ මැද භාගයේ යතුරුපැදි තිබුණේ කලාතුරකිනි. (Sri Lanka Latest News)
දවල් දහය එකොළහ වනවිට යාළුවකුගේ ගෙදරින් ලන්ච් එකය. ඒ අපේ කල්ඇතිව ඉදිරිපත් කළ ඉල්ලීමකට අනුව තැම්බූ කොස් හෝ මඤ්fඤාක්කා හෝ ලුණු මිරිස් හා පොල් සමගය……….. (අප ගමේ උගත් නව පරපුර බැවින් ගමේ අපේ ගැමි ඥාතීන් විසින් අපව සෑම නිවෙසකදීම සලකනු ලැබුවේ ඉතා ගෞරවයෙන් යුතුවය)
අපේ ගමේ දෙකළවරින් රඹුකන්ඔය සහ මහඔය ගලා ගියේය. අපි ඔය දෙකෙන් කෝකට හෝ පැන, දවල් එක දෙක වෙනතෙක් “දාඩිය දමන තුරු” නාගත්තෙමු. අනතුරුව ගෙදර මොනවා හෝ තම්බා (දවල් කෑමට ගම්මුන්ගේ වචනය) ඇති දෙයක් කෑවෙමු.
(ගමක උදේ සහ දවල් දෙවේලට සිල්ලර කෑමකි. වැඩි විච්චූරණ නැත. උදේටත් බොහෝ දුරට “කිරිබත් චොප්සි”. සතියකට දෙතුන් වතාවක් මුංඇට කිරිබත් චොප්සිය. බොහෝ දෙනා උදේ පාන්දරින්ම වත්තේ පිටියේ හේනේ කුඹුරේ වැඩට යන්නෝ හෙයින් ඒ දෙවේලට උයන්න පිහන්න වැඩිපුර ආලවට්ටං දමදමා ඉන්න බැරි නිසාය. ඔය දෙකටම හරියන්නත් ඒ දෙකටත් එක්ක රෑ කෑමය) හැන්දෑවේ ගම්සභා පිට්ටනියටය. තට්ටු පැනිලි, දෙගස් බැඳිලි (ඇල්ලිලි), ගුඩු ගැහිලි සහ චක් ගුඩු පැනිලි එමටය.
ගමේ පන්සලේ මල් පූජාවක්, බණක්, වෙන්දේසියක් කොලු කෙලි දෙපාර්ශ්වයේම නඩේට පේන්න බැරිය.
හැන්දෑකරේ ඔය කොහාට හරි යන්න එළියට බහින විට “ඔන්න මුං රෝන්දෙ ගහන්න යනව” ඔලොක්කුවට එල්ලවෙන ඇනුම් පදය ඔය වෙලාවට ගෙදරට මණ්ඩප ගැහී සිටින අපේ මාමලා සීයලා වැනි වැඩිහිටි පරපුරෙනි. (ඒ ඇනුම්පදය අපේ නිරෝගිකම කිසියම් අන්දමකට ඇගයීමකි-කොල්ලන් කියන්නෙ කොල්ලන්ට)
“සෙබය්යෙ උඹ දන්නවද මුං ඔයට නාන්න යන වෙලාවට ගෑනු පුළුටක්වත් ඒ පැත්තට යන්නෙ නෑ කියන එක” ඉඟියෙන් අපව පෙන්නා ඔය කතාව හිනාවෙවී කියන්නේ අශෝක මහත්තයාය. ඔහු ගමේ නඩේ ගුරාය. (පසු කලෙක ප්‍රබල ඇමැති තනතුරක් දැරූ හෙතෙම අශෝක කරුණාරත්නය) “සෙබා” යනු සෙබැස්ටින් යන නමේ “පෙට්” නේම් එකය. ඒ අපේ සීයාය (මවගේ පියාය).
“නෑනෙ පුංචි මහත්තය” කතාව ඇවිස්සීමට අගුල්පත් තැබුවේ ගුණසේකර මාමාය. “මුං එකෙක් මොකක් හරි පටලවා ගෙන ඔයට පනිනව. ඌ ඊට පස්සෙ ඒක ගලෝල ගොඩ ඉන්න එකෙකුට විසි කරනව. ඌත් ඒකම කරනව. මුං ඔක්කොම නාන්නෙ අමු හෙලුවෙං” උස් හඬින් පැතිරුණු හිනාව මැද්දේ ෂේප් එකෙන් මිදුල තරණය කරමින් උන් අපට පැලෙන්න හිනායන්න ආවත් අප මූණෙන් මූණ බලා ගත්තා මිස එකෙකු හෝ වචනයක් කතා කළේ නැත.
“මුං කෙල්ලක් දැක්කහම කන්ඩ හදනව වල් යක්කු” අනතුරුව පැතිරුණු හිනාව පළාත දෙවනත් කෙළේය. (ආච්චි ඔය වෙලාවෙ හිටියොත් “ඔහෙලත් ඒ කාලෙ එහෙම තමයි” යැයි නොවැරදීම කියන්නීය.)
“ඒයි උඹල දන්නවද? අශෝක මහත්තය ඒ වල් කතාව කියන්ඩ හේතුව” ඩගියා (ඩග්ලස්) කීවේය. අප තුෂ්ණිම්භූතව ඌ දෙස බලා සිටියමු.
“නෑ” මම කීවෙමි.
“එදා පොළ දවසෙ නැට්ටුක්කාරියක් නටව නටව මොකෙක්ද එකෙක් තෙල් බේත් වික්ක මතකද?”
“ඉතිං”
“අපි ඒක දිහා බලාන ඉන්න වෙලාවෙ, මං දැක්ක අශෝක ලොක්ක අපි දිහා බලාන හිනාවෙවී පාරෙ යනව”
රඹුක්කන පොළේ ඒ මිනිහා තෙල් බේත් විකුණන තැන මිනිස්සු රවුමට වටවී උන්හ. ඇත්ත වශයෙන්ම කවුරුත් ඇස් නොහෙළා බලා සිටියේ රවුම මැද නටන නැට්ටුක්කාරිගේ නැටවිල්ල දෙසය. ඇයට තිබුණේ අයස්කාන්ත, මනස්කාන්ත, ලාල් (ලොල්වඩන) කාන්ත නිතඹකි. (සාප්පුවෙන් ගත්ත එකක් නොවේය) කිව්වට වස් නැත. ඒක නටවපු නැටවිල්ල “අම්මපා” කියලා වැඩක් නැත. කවුරුත් බලා සිටියේ ඒ දිහාය. නැටවිල්ලට ලණුවක් නොව අලි බඳින කඹයක් වුවත් ඇඹරිය හැකිය.
බුද්ධත්වය ලැබූ බුදුන්වහන්සේ ඇසිපිය නොහෙළා සතියක් බෝධින් වහන්සේ දෙස අනිමිස ලෝවන පූජාවේ යෙදී සිටි සේක්ද අපේ මිනිසුන් මේ නැටවිල්ල දෙස අවුරුද්දක් හෝ නොකා නොබී අනිමිස ලෝචන පූජාවේ යෙදෙනු ඇති බව නම් අම්මා පල්ල, බුදුන් පල්ල, රටම නැටවූ “ඩයනා නෝනා” පල්ල ඇත්තය.
නමසිය පනස් ගණන්වල (1950) මිනිසුන් හැට හැත්තෑවක් වශීකර නැටවූ ඒ නැටවිල්ල සෙකන්ඩ් වූයේ 2018 ගෝඨා ගේන්නට කැලණිය පන්සලේ උන්නාන්සේලා නැටවූ නයි නැටවිල්ලට පමණි.
උන්නාන්සේලා නැටවූ නයි නැටවිල්ල වැනි නැටවිල්ලක් වසර දෙදහස් පන්සිය හැත්තෑවකට (2570) ආසන්න බෞද්ධ ශාසන ඉතිහාසයේ කොතැනක හෝ සඳහන්ව නැත්තේමය. එහෙත් පනස් ගණන්වල ඒ නැට්ටුක්කාරි රඹුක්කන පොළේදී නිතඹ නටවා වශීකර ගත්තී ගම්මුන් හැට හැත්තෑවක් දෙනා පමණ්ි.
එහෙත් කැලණිය පන්සලේ උන්නාන්සේලා නැටවූ නයි නැටවිල්ලේ තරම එසේ මෙසේ කෙසේ කියම්ද?කෙසේ වනම්ද? අඳනකඩය සකසා සිවුර හරවා පෙරවා (පත්ත චීවර මාධාය) එක නයකු යොදවා ගෙන නැටවූ නැටවිල්ලෙන් “අම්මට උඩු යකෝ” හැටනම ලක්ෂයක්ම (69,00,000) දැපනෙ (වශී) දමාගත්තාහුය.
ඒක පොඩි කෙළියක්ද?
ගෝඨා ආපු කල රටට සියලු සැප සම්පත් සෞභාග්‍ය පහළ වන්නේ “නාන්න ගිය සිරියාකාන්තාව තමන්ගේ යට ගවුම ගසෑරිය අන්දමට බව උන්නාන්සේලා (නයිකාරයෝ) අනුශාසනා කළෝය.
ඉතිං ඒ කාරණා කාරණා ගැන තව තවත් අටුවා, ටීකා, ටිප්පණි, චූර්ණිකා, වන්නං, සට්ටං ගැටපද, හුළුඅතු, තලඅතු, පන්දම්, අන්දං, ඕනෑ නෑමය. දෙකෝටි පනස් ලක්ෂයකට (2,50,00,000) ආසන්න අපේ උන් නොකා නොබී තවමත් විඳින්නේ ඒ සුර සැපය. (දැං සැපද?)
පොඩ්ඩක් හෝව්….
මේ අල්ල පනල්ලේ ඔය නයි නැටවිල්ල පාදක කරගත් කතාවත්තුව සිහිපත් කර දෙන්න සිද්ධ වූයේ ඔන්න ඔය ජාතියේම නයි නැටවිල්ලකට ලොක්කා අංමිටිතලන හැටි පේන්න තියෙන නිසාය.
පුතේ මේ පාර ඔය නැටවිල්ලට අහුවුනෝතිං නං ගැලවිල්ලක් නැත. කපෝතිය. අමාරුවෙ වැටෙන්නේ නහින්නං දෙහින්නං කාලෙ වළ පයයි ගොඩ පයයි තියාන සිටින අප නොවේය. අපේ දරු මුනුබුරන්ය. මතුමත්තේ උපදින්නට සිටින එකාලාය.
ඉපදෙන්නට සිටින කිරිසප්පයන් පවා රුපියල් පහළොස් ලක්ෂයකට (15,00,000) ආසන්න ණය උගුලකට මේ හැතිකරය විසින් මේ වනවිටත් බෙල්ල හිරකරනු ලැබ ඇත්තාහ. ඒත් මේ අයට ඒ ගැන වගේ වගක් නැත. රටම රවටා ජීවිත කාලයට පමණක් නොව මතු ඉපදෙන ඉපදෙන ආත්ම ගණනාවකට පවා ණය වහල්කමට හිරකරන්නට දැන් පටන්ම පිටපොට ගසමින් අරඅඳින්නාහ. විසූක දස්සන පාන්නාහ.
රටම බලාපොරොත්තුව සිටියේ විසිහය වැනිදා (26) රෑ 8.00ට ඉදිරිපත් කරන්නට යන “ශුභාරංචිය” ගැනය. Gospel එක ගැනය.
රඹුක්කන නගරයේ නිවෙස් දෙකක එක බැගින් රතිඤ්ඤා කරල් දෙකක් පත්තුවෙන හඬ ඇසුණේය. මගේ මිත්‍රයකු වූ කොන්ත්රාත්කාර භවතකු ශුභ මුහුර්ථයට ගිනිදැල්වීමට මටද පෙන්නා අලිඩෝං විස්සේ පැකට් එකක් ගෙන ගියේය. හෙතෙම ඒ පැකැට්ටුව පත්තු කරනු ඇසුණේය.
කියපු, පෙන්නපු, අඟවපු “සුදියක්” නම් ඒ ආරංචියෙන් අපට ලැබුණේ නැත. රට්ටුන්ට ඇඟවුණේත්, රට්ටුන් අපේක්ෂා කළේත් “කන්ද උඩ දේශනාවට” නොදෙවැනි දේශනාවකි. එහෙත් ලැබුණේ කන්ද උඩ දේශනාවක් නොව “කොන්ද උඩ” දේශනාවකි. මන්ද මේ මැතිවරණ ප්රචාරක නිලාවක් හෙයිනි.
චීනය, ඉන්දියාව, ජපානය යන රටවල් සමග ගිවිසුම්ගතවී යැයි කියන ශුභාරංචිය මේ දක්වාම අනන්ත අප්‍රමාණ වාරයක් අසා තිබීමෙන් අපට දැනෙන්නේ මහා කන්fදාස්කිරියාවකි. අඩුම වශයෙන් රංවල පකිරිආච්චි (උඩ පාරේ වෙසෙන) සමග ගිවිසුමත්ගතවූ බව කීවේ නම් අපට පොඩි ආෂික් එකක් ඇතිවන්නේය.
ගෝඨාට උන්නාන්සේලා නයි නැටෙව්වත් ලොක්කා අපට මේ පෙන්වන්නේ ණය නැටවීමකි.
තමන් වහන්සේ කෙරුවා යැයි කියන සංවර්ධනය ගැන තමන් වහන්සේ විසින්ම රටට ඉදිරිපත් කරනු ලබන සහතිකය වනාහි විදේශ ගෘහ සේවිකාවක වශයෙන් ගිය කාන්තාවක් ආපසු අවුත් සිය පතිවෘත්තාව ආරක්ෂා කරගත් බවට සිය සැමියාට ඉදිරිපත් කරන ඒ නිවෙසේ ගෘහමූලිකයා දුන් චරිත සහතිකයකට සමානය.
අඩුම වශයෙන් පාන් රාත්තලක් රුපියල් සියයට හෝ දෙන බව කීවේ නම් අපට සරම කඩාගෙන නටන්න තිබුණේය.
හොඳ නායකයකු තෝරාගන්න කවුරුන් හෝ අපට අමුතුවෙන් කියාදෙන්න වුවමනාවක් නැත. මහජනයා ඇඟිලි ගනිමන් සිටින්නේ අවසථාව එනතුරුය.
දැනට වයස අවුරුදු 80 ඉක්ම වූ වයසේ සිටින ලක්ෂ ගණනාවක ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සංවර්ධිත රටක් ආරම්භ වනතුරු 2043 වනතෙක් බලා සිටිනවාට වඩා අපේක්ෂා කරන්නේ මැතිවරණය එනතෙක්ය.
ඒ, මේ රටේ මතු ජීවත් වෙන්නට සිටින උන් වෙනුවෙන් තම යුතුකම ඉටුකර හිත සතුටින් සැනසිල්ලේ මියපරලොව යන්නටය. රටක් ශ්‍රේණිගත කරන ආයතන රට බංකොළොත්භාවයෙන් මිදී ඇතැයි යන බවට හෝ අඩුම වශයෙන් ඉඟියක් කෙළේ නම් අපට සැනසුම් සුසුමක් හෙළන්නට ඉඩක් තිබිණි. බයිලාවලට රැවටුණු කාලය ඉවරය. (පුරාණෙ සිටි කාක්කො රැවැටුණේ ඕවට) අපේ විපක්ෂයේ මතය මේකත් ලොක්කාගේ රැවටිල්ලක් බවය.
ලොක්කාගේ Gospel එක ගැන පැරිස් සමාජය මොනවා කියනවාදැයි අපි නොදනිමු. දේශීය සේම විදේශීය පෞද්ගලික ණය ගැන කතා එපා. කෙළපු E.T.F එක ගැන කතා කෙරුවේ නම් ඒත් ඇත.
“නිකං ඉන්න මගෙ දුව අහල ගියත් ඇති” කියන්නේ ඒකටය.
පන්දුව විලස විසිවුණු පහරක් නො හැර
බින්දුව තෙක්ම හින්දුව ජනයා පැහැර
සින්දුව දමදමා ඇණඇණ මරු පහර
ඇන්දුව ගොනුට කාලය ඉවරයි සොයුර
![Sri Lanka Latest News](https://sinhala.mawratanews.lk/wp-content/uploads/2022/06/Marasinghe.jpg)
චන්ද්‍රසේන මාරසිංහ