බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ පහුගිය 06 වැනිදා තවත් ආන්දෝලනාත්මක අනාවරණයක් කළා. ඒ, පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවා තමන් දන්නවා කියලා. මහමොළකරුවා විසින් අන්තවාදී මතවාද පතුරවපු හැටි, මරාගෙන මැරෙන ප්‍රහාරය සඳහා සහරාන් ඇතුළු කණ්ඩායම පුහුණු කරවපු හැටි සහ සහරාන් හරහා ප්‍රහාරය මොහෙයවපු හැටි ගැන සියලු විස්තර දන්න බවත් උන්වහන්සේ කිව්වා.
මේ සම්බන්ධව සියලු විස්තර ජනාධිපතිට, ආරක්ෂක ලේකම්ට නැත්තම් අදාළ බලධාරියෙක්ට දෙන්න ලෑස්ති බව ඥානසාර හාමුදුරුවෝ කිව්වා. ඒ හෙළිදරව් කිරීමෙන් පස්සේ මාධ්‍ය හරහා රටට කියන්න සූදානම් බවත් කිව්වා. ඇත්තටම ඥානසාර කියන චරිතය රටේ ආන්දෝලනාත්මක චරිතයක්. ඥානසාර හාමුදුරුවෝ කළු සහ සුදු විදියට දකින අය මේ සමාජයේ ඉන්නවා. Sri Lanka Latest News
හැබැයි අපරාධයක් සම්බන්ධව දෙන තොරතුරකදී ඒ මොකවත් වැදගත් නෑ. වැදගත් වෙන්නේ ලැබෙන තොරතුරේ තියෙන නිවැරදිභාවයයි. ඊළඟට බොරු කතා කියන්න ගියොත් තමන්ට අත්වෙන ඉරණම ගැන ඥානසාර හාමුදුරුවෝ හොඳටම දන්නවා. ඥානසාර හිමියන් කියන්නේ දිගටම මුස්ලිම් අන්තවාදයත් එක්ක ගැටුණු සහ ඒ සම්බන්ධව තොරතුරු එකතු කරපු කෙනෙක්. ඒකේ ජාතිවාදී සහ ආගම්වාදී ස්වරූපයක් තිබුණු බවට චෝදනා උන්වහන්සේට තියෙනවා.
හැබැයි ඥානසාර හාමුදුරුවෝ කියන මේ තොරතුර මතුපිටින් බලලා ප්‍රතික්ෂේප කරන්න බෑ. හරිනම් ඒ සම්බන්ධ ක්‍රියාමාර්ග දැනටමත් අරන් තියෙන්න ඕනෙ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න ඕනෙ. දැන් ඒ වගකීම තියෙන්නේ අනුර කුමාර ජනාධිපතිවරයාගේ පැත්තේ. මෙහෙම ප්‍රකාශයක් කළාම මේ රටේ ආරක්ෂක ලේකම්ට, පොලිස්පතිට සහ අනෙකුත් ආරක්ෂක බලධාරීන්ට අතපය බැඳගෙන බලා ඉන්න බෑ.
ඇත්තටම මෙතැනදී වහාම සක්‍රීය වෙන්න ඕනෙ කණ්ඩායම් තුනක් ඉන්නවා. එකක් තමයි අනුර ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව. පහුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී අනුර සහ ජවිපෙ – මාලිමා නායකයෝ කිව්වේ පාස්කු ප්‍රහාරයේ මහමොළකරු අල්ලනවා, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉෂ්ට කරනවා කියලයි. එහෙම දුන්න මූලික පොරොන්දුවලින් එකක් තමයි ඒක.
තාජුඩීන් ඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රදීප් එක්නැළිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධව යුක්තිය ඉෂ්ට කරන බව අනුරලා සපථ කරලා කිව්වා. මහබැංකු බැඳුම්කර කොල්ලයට අදාළව අර්ජුන මහේන්ද්‍රන් ගෙන්වනවා කියලා කිව්වා. දැන් හැබැයි අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් ලංකාවට උදර්පණය කරන්න බැරි බව කියනවා. සිංගප්පූරුවේ පවතින නීතියට අනුව ඒක කරන්න බෑ.
එතකොට අනුරලා ඒවා කිව්වේ ඒ ගැන අවබෝධයක් නැතිවද නැත්තම් දැන දැනම ජනතාව ගොනාට ඇන්දුවාද කියන ප්‍රශ්නය එනවා. ඒක නිසා ඥානසාර හාමුදුරුවෝ කියන මේ කතාව දේශපාලන වශයෙන් ආණ්ඩුවට මගහරින්න බැරි කතාවක්. ඊළඟට මේ කතාව සම්බන්ධව මේ වෙනකොටත් සක්‍රීය වෙන්න ඕනෙ කණ්‌ඩායම තමයි කාදිනල් මැල්කම් රංජිත් පියතුමා, සිරිල් ගාමිණී පියතුමා ඇතුළු කතෝලික සභාව.
ඇත්තටම කතෝලික සභාව පහුගිය කාලයේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව හැසිරුණු විදිය ඉතාමත් සැකකටයුතුයි. යහපාලන ආණ්ඩුව, ගෝඨාභය රාජපක්‍ෂගේ ආණ්ඩුව සහ රනිල්ගේද ආණ්ඩුව ඇතුළේදී ඒ සම්බන්ධව තිබුණු උනන්දුව අනුරගේ ආණ්ඩුවේදී කතෝලික සභාවට නැති එක පුදුමයි. ඔහොම ගියොත් පාස්කු ප්‍රහාරය කියන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත බවට පත්වෙලා අවසන් වෙන්නත් පුළුවන්.
පාස්කු ප්‍රහාරය සම්බන්ධව මේ දක්වා සියලු පරීක්ෂණ කොමිෂන්වලින් කරපු වර්තා කාදිනල් ඇතුළු කතෝලික සභාව පිළිඅරගෙන නෑ. රනිල් පත්කරපු පාර්ලිමේන්තු කොමිසමේ වාර්තාව අඩුපාඩු සහිත බවට චෝදනා එල්ල වුණා. ඒ සම්බන්ධව පහුගියදා රනිල් සහභාගි වුණු අල් ජසීරා රූපවාහිනී සංවාදයේදිත් ප්‍රශ්න කෙරුණා. ඇත්තටම මෙතැනදී කාදිනල් හිමි සම්බන්ධව බරපතළ ප්‍රශ්නයක් තියෙනවා.
කාදිනල්තුමා මේ ඝාතනය කළේ අහවල් අය කියන පූර්ව නිගමනයක ඉන්නවා වගේ. ඒ අදහසට පටහැනිව මොන වාර්තාවක් ආවත් පරීක්ෂණයක් කෙරුණත් කාදිනල්තුමා ඒක පිළිගන්න ලෑස්ති නැති බව පේනවා. ඥානසාර හාමුදුරුවන්ගේ ප්‍රකාශයට අදාළව කතෝලික සභාවේ ස්ථාවරය මේ සටහන තියෙන වෙලාව වෙනකොටත් ප්‍රකාශ කරලා නෑ.
මේ සම්බන්ධව වහාම ක්‍රියාත්මක වියයුතු අනෙත් පාර්ශ්වය වෙන්නේ ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සහ නීති අංශයි. විශේෂයෙන්ම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වන රවී සෙනෙවිරත්න තොරතුරු ලැබී තිබියදී පාස්කු ප්‍රහාරය වළක්වා ගත්තේ නෑ කියන චෝදනාව තියෙනවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යළි සේවයට කැඳවලා තියෙන ශානි අබේසේකරටත් පාස්කු ප්‍රහාරයට පෙර ඊට සම්බන්ධ පරීක්ෂණ හරියට කළේ නෑ කියන චෝදනාව තියෙනවා.
ඒක නිසා එයාලා මේ සම්බන්ධව ගන්න ක්‍රියාමාර්ග දිහා රටම බලා ඉන්නවා. ඥානසාර හාමුදුරුවෝ මේ කතාව කියන්නේ අනුරගේ ඉල්ලීම පරිදි දළදා ප්‍රදර්ශනයක් සංවිධාන වෙමින් තියෙන වෙලාවක. මේ වෙලාවෙ ජාතික ආරක්ෂාවේ වගේම දළදාවේ ආරක්ෂාව ගැන උපරිම වශයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනෙ වෙලාවක්. දළදා ප්‍රදර්ශනයට ගොඩක් වෙලාවට මිලියන දෙකක විතර ජනතාවක් සහභාගි වෙන්න පුළුවන්. ඒ නිසා මේ හැම තොරතුරක්ම රටේ ජාතික ආරක්‍ෂාවට වැදගත්.
හරි. එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට,
රටේ රාළ.










