මේ දක්වා බදුවලින් නිදහස් කර තිබූ පොත් සඳහා රජය විසින් එකතු කළ අගය මත (VAT) බද්ද පැනවීම නුසුදුසු බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය අවධාරණය කරයි.Sri Lanka Latest News
එම සංගමය මගින් පසුගියදා කැඳවූ මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ විරෝධය රජය වෙත දන්වා සිටියේය. මෙම අවස්ථාව සඳහා පොත් ප්‍රකාශකයන්ට අමතරව, කතුවරුන්, මුද්‍රණකරුවන්, පොත් අලෙවිකරුවන්, ආනයනකරුවන්, ලේඛකයින් හා අධ්‍යාපන ක්ෂේත්‍රය නියෝජනය කරන්නවුන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
විශේෂයෙන්ම මෙලෙස පොත් සඳහා වැට් බදු පැනවීම නිසා සමාජයේ බොහෝ දෙනෙකුට දැනුම ලබා ගැනීමට ඇති ඉඩකඩ අහිමි වීම හේතුවෙන්, සමාජ හා ආර්ථික සංවර්ධනයට ඇති වන දිගුකාලීන විනාශකාරී බලපෑම් ඔවුන් මෙහිදී පෙන්වා දී දුන්නේය.
මෙහිදී අදහස් දැක් වූ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ (SLBPA) ප්‍රධාන ලේකම් දිනේෂ් කුලතුංග මහතා, “රජයේ ආදායම් ඉහළ නැංවීමේ කෙටිකාලීන අවශ්‍යතාවය නිසා ශ්‍රී ලංකාවේ පරම්පරා ගණනාවකට බලපෑ හැකි ආකාරයෙන් අධ්‍යාපනය, සංස්කෘතිය, බුද්ධිමය ප්‍රගතිය හා පුද්ගල සංවර්ධනය පසුබෑමට ලක් වන, විනාශකාරී දීර්ඝ කාලීන ප්‍රතිවිපාක ඇති විය හැකියි.” යනුවෙන් පවසා සිටියේය.
එසේම කිසිඳු වගවිභාගයක් නොමැතිව වැට් බදු වැඩි කිරීම මගින් ශ්‍රී ලංකාව 1950 වසරේ යුනෙස්කෝ සංවිධානයේ ෆ්ලෝරන්ස් ගිවිසුම ද උල්ලංඝනය කරමින් සිටින බවද මෙහිදී අනාවරණය කෙරිණි. ශ්‍රී ලංකාව මෙම ගිවිසුමේ මුල් අත්සන්කරුවෙකු ද වන අතර මේ වන විටත් එහි අඛණ්ඩ ගිවිසුම්කාර පාර්ශවයක් ව පවතී.











