හිටපු බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන්ගේ පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාට එරෙහිව දෙමළ දේශපාලන සිරකරුවන් 8 දෙනෙකු විසින් මූලික අයිතිවාසිකම් අයදුම්පතක් (SCFR 297/2021) ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇත.
ඒ, අනුරාධපුර බන්ධනාගාර සංකීර්ණයේ රඳවා සිටි මෙම සිරකරුවන් දණගස්වා දඩුවම් කිරීමට රත්වත්තේ මහතා ගත් උත්සාහය අභියෝගයට ලක්කරමිනි.
ඉහත සිදුවීමෙන් 11, 12 (1) සහ 12 (2) වගන්ති යටතේ සහතික කර ඇති ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පෙත්සම්කරුවන් කියා සිටී.
සිරකරුවන් මෙම ඉල්ලීම ගොනු කර ඇත්තේ ඔවුන්ගේ නීතීඥ මොහාන් බාලේන්ද්‍ර මහතා මගිනි.
ඒ අනුව ඔවුන් වෙනුවෙන් ඉලංකෙයි තමිල් අරසු කච්චි (අයිටීඒකේ) පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් සහ කේෂවන් සජන්දන් යන අය පෙනී සිටිති.
එහි වගඋත්තරකරුවන් ලෙස අනුරාධපුර සංකීර්ණයේ බන්ධනාගාර අධිකාරි, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, අධිකරණ ඇමති, නීතිපති සහ රත්වත්තේ යන අය නම් කර ඇත.










