අනුරාධපුර නගරය සහ තදාසන්න ප්‍රදේශවල මහා මාර්ගවල සැරිසරන එළ ගවයන් ව්‍යාජ අංක තහඩු සවිකොට සකස් කළ සුඛෝපභෝගී වෑන් රියකින් දිවයිනේ විවිධ ප්‍රදේශවලට ප්‍රවාහනය කර මස් පිණිස ඝාතනය කරන කල්ලියක සාමාජිකයින් සිව් දෙනෙක් අනුරාධපුර පොලීසිය විසින් අද (05) අලුයම අනුරාධපුර යාපනය හන්දියේදී අත්අඩංගුවට ගෙන ඇත. (Sri Lanka Latest News)
අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ඇම්.ජයවීරට ලද පෞද්ගලික තොරතුරක් මත පොලිසිය අදාල සැකකටයුතු වෑන් රථය පරීක්ෂා කොට සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වැටලීම සිදුකළ අවස්ථාවේ වෑන් රථයේ සිටි එක් සැකකරුවෙකු පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සදහා අනුරාධපුර පොලීසිය විමර්ශන ක්‍රියාත්මක කොට තිබේ.
සැකකරුවන් සමග මැදව්ච්චිය ප්‍රදේශයේදී හොරෙන් පටවාගෙන ප්‍රවාහනය කරමින් සිටි එළ ගවයෙකුද පොලිස් භාරයට ගෙන ඇත.
අනුරාධපුර නගරයේ පදිංචි පුද්ගලයෙකු සහ කොළඹ ප්‍රදේශයේ පුද්ගලයන් කීප දෙනෙකු එක්ව සූක්ෂම ලෙස දිගු කලක සිට මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවට අනුරාධපුර පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකරුවන් සහ වෑන් රථය අද (05) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
lankasara










