විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් හට පූර්ණ විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමේ යෝජනාක්‍රමයේ කිසිදු විනිවිදභාවයක් නැති බැවින් ද ඒ සම්බන්ධයෙන් ගැටලු රැසක් පවතින බව පෙනී යන බැවින් ද මුදල් අමාත්‍යාංශය, මහබැංකුව, ශ්‍රී ලංකා රේගුව සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය යන සියලු ආයතන ඒකාබද්ධව මේ පිළිබඳව පූර්ණ විශ්ලේෂණයක් සිදුකොට සති දෙකක් තුළ වාර්තාවක් ලබා දෙන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අදාළ නිලධාරීන්ට පසුගියදා උපදෙස් දුන්නේය. Sri Lanka Latest News
එසේම මෙම විශ්ලේෂණය ලැබෙන තුරු බලපත්‍ර ලබාදීමේ කාලය දීර්ඝ කරන අදාළ ගැසට්පත්‍රයට අනුමැතිය ලබා දීමට හැකියාවක් නොමැති බවද කාරක සභා සභාපතිවරයා පැවසීය.
මේ අනුව මෙම ක්‍රමවේදය හරහා බලාපොරොත්තු වූ අරමුණ වන විදේශ ප්‍රේෂණ සැලකිය යුතු මට්ටමෙන් ලැබී තිබේද, නොඑසේනම් යම් යම් පුද්ගලයන් කිහිපදෙනෙකු මෙම පහසුකම අවභාවිත කර තිබේද යන්න සොයා බලා මෙම විශ්ලේෂණාත්මක වාර්තාව සකස් කරන ලෙස ද දැනුම් දුන්නේය.
විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් හට පූර්ණ විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමේ යෝජනාක්‍රමයේ කාලය 2024 සැප්තැම්බර් 30 දක්වා දිගු කිරීම සදහා පළ කරන ලද අංක 2368/24 දරන ගැසට්පත්‍රය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා වූ අවස්ථාවේදී කාරක සභා සභාපතිවරයා මේ බව පැවසීය.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයෙන් නිකුත් කරන ලද චක්‍රලේඛයට අනුව විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් හට පූර්ණ විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමේ යෝජනාක්‍රමය ක්‍රියාත්මක වූ අතර ඇ.ඩො 20000 ක් හෝ ඊට වැඩි මුදල් ප්‍රමාණයක් මෙරටට ප්‍රේෂණය කර ඇති ශ්‍රමිකයන්ට රු. මිලියන 12 දක්වා සුඛෝපභොගී මෝටර් රථ බදු සහනය ලබා දී ඇත. 2023 පෙබරවාරි 10 ගැසට් පත්‍රයෙන් මුල් වරට ක්‍රියාත්මක වූ මෙම යෝජනා ක්‍රමයේ කාලය 2023 මැයි 31දින නිකුත් කළ ගැසට් පත්‍රය මගින් දිගු කිරීමක් සිදු කර ඇති අතර නැවත 2024.01.24 ගැසට් පත්‍රය මගින් තවදුරටත් දිගු කර ඇත.
මෙම ක්‍රියාවලිය ආරම්භයේ සිට වාහන ගෙන්වන ලද පුද්ගලයන් ඇතුළු අදාළ සියලු තොරතුරු ලබා දෙන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයෙන් මුදල් අමාත්‍යාංශය ඉල්ලීමක් සිදුකර තිබුණද රහස්‍ය හා පෞද්ගලික තොරතුරු ලබාදීම පිළිබඳව නීතිපතිවරයාගෙන් විමසිය යුතු බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය දන්වා ඇති බව ද කාරක සභා සභාපතිවරයා සදහන් කළේය. කෙසේ වෙතත් ඒ අනුව මෙහි කිසිදු විනිවිදභාවයක් හෝ නිසි නියාමනයක් නොමැති බව මෙහිදී කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.
මෙම තත්ත්වය තුළ මේ හරහා විවිධ අක්‍රමිකතා සිදුවන බවට චෝදනා රැසක් කාරක සභාවට වාර්තා වී ඇති බව සදහන් කළ සභාපතිවරයා පැවසුවේ මෙම බදු සහනය මගින් රු. මිලියන 100 සිට වාහන ගෙන්වා ඇති බවයි. මේ වන විට බලපත්‍ර 1019 ක් ලබා දී ඇති බවත් ඇ.ඩො මිලියන 109.8ක් මේ හරහා ප්‍රේෂණ ලැබී ඇති බවත් මෙහිදී අනාවරණය විය. එසේම මෙතෙක් ලබාදී ඇති බලපත්‍රවල වටිනාකම ඩො. මිලියන 46ක් බව ද නිලධාරීහු පැවසූහ.
මෙම ප්‍රේෂණ මුදල් එකවර ගිණුමට එක්වුවද විදෙස් ශ්‍රමිකයෙක් මෙම පහසුකම සදහා සුදුසුකම් ලැබීම තුළ මේ හරහා අක්‍රමිකතා සිදුවිය හැකි බවත් මෙම ක්‍රමය හරහා විවිධ ජාවාරම්කරුවන්ට මුදල් විශුද්ධිකරණය සදහා ද අවකාශය සැලසෙන බවත් කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේය. එසේම බොහෝ සාමාන්‍ය රැකියාවල් කරන ශ්‍රමිකයන් මෙතරම් වටිනාකමක් සහිත වාහන ගෙන්වා ඇත්දැයි සැකයක් මතුවන බවත් කාරක සභාවේදී සාකච්ඡා විය. එසේම වාහන ආනයනය තහනම් කර ඇති පසුබිමක දැනට වාහන ආනයනය සදහා පවතින එකම අවස්ථාව මෙය බැවින් අක්‍රමිකතා සිදුවීමට ඉඩ නොතැබිය යුතු බව ද මෙහිදී අවධාරණය කෙරිණි.
එසේම මෙම ක්‍රියාවලියේ පහසුකම් සපයන්නා (Facilitator) නමින් පිරිසක් සිටින බවත් ඔවුන් පිළිබඳ කිසිදු තොරතුරක් ලබා දී නැති බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය. මේ අනුව එම තොරතුරු ද කඩිනමින් ලබා දෙන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයට උපදෙස් ලබා දෙන ලදී. ඒ අනුව එකී සියලු තොරතුරු ඉදිරියේදී සලකා බලා මෙම ගැසට් පත්‍රයට අනුමැතිය ලබාදීම පිළිබඳ තීරණයක් ගැනීමට සිදුවන බව කාරක සභා සභාපතිවරයා සඳහන් කළේය.
මීට අමතරව විදේශ විනිමය පනත යටතේ අංක 2371/48, 2371/49 සහ 2371/50 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කර ඇති නියෝග ත්‍රිත්වයක්, 2003 අංක 25 දරන මුදල් පනත යටතේ අංක 2369/27 සහ 2374/19 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කර ඇති නියෝග ද මෙහිදී සළකා බලා අනුමැතිය ලබා දීම සිදුවිය.