චීන පරිත්‍යාගයක් ලෙස රට පුරා විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන සවි කිරීම පිළිබඳව අවධානය යොමු කරන්නැයි අමාත්‍ය විජිත හේරත් මහතා චීන රජයට යෝජනා කර තිබේ. Sri Lanka Latest News
චීනය ඇතුළු ලෝක රථවාහන වෙළෙඳපොළෙන් ශ්‍රී ලංකාව විශාල වශයෙන් විදුලි රථවාහන ආනයනය කිරීමට නැඹුරු වී ඇති බැවින් අමාත්‍ය විජිත හේරත් මහතා මෙම යෝජනාව කර ඇත.
අමාත්‍යවරයා මෙම යෝජනාව සිදුකර ඇත්තේ, චීන තානාපති කී. සෙන්හොංග් මහතා සමඟ විදේශ කටයුතු අමාත්‍යංශයේ දී පැවති හමුවක දී ය.
මෙම යෝජනාව ධනාත්මකව පිළිගත් චීන තානාපතිවරයා මේ පිළිබඳව චීන රජය දැනුවත් කිරීමට එකඟතාව පළ කළේ ය.
එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, ඉදිරියේ දී විදුලි බලයෙන් ක්‍රියා කරන බස් රථ ද වැඩි වශයෙන් ගෙන්වීමටත් ශ්‍රී ලංකා රජය සැලසුම් කර ඇති බැවින් මෙය වැදගත් පියවරක් වනු ඇති බවය.
එමෙන් ම ආපදා තත්ත්වය හේතුවෙන් විනාශ වූ දුම්රිය මාර්ග සහ පාලම් යළි ප්‍රතිසංස්කරණය කිරීමට චීන රජයෙන් කඩිනම් සහාය බලාපොරොත්තු වන බව ද අමාත්‍ය විජිත හේරත් මහතා මෙහිදී දන්වා සිටියේ ය.
එම ඉල්ලීම පිළිබඳව වහාම චීන රජයේ අවධානය යොමු කරවීමට ද තානාපතිවරයා එකඟ වූයේ ය.
මීට අමතරව ‘දිට්ටා’ සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ සිදුවූ ආපදා හානිය පිළිබඳව තක්සේරු කර, සෑම අංශයකින්ම චීන රජයට දිය හැකි ආධාර පිළිබඳව සාකච්ඡා කර දැනුම් දීමට බලාපොරොත්තු වන බව ද තානාපති සෙන්හොංග් මහතා ප්‍රකාශ කළේ ය.










