රටම වෙළාගෙන තිබූ 30 වසරක යුද්ධයේ නිමාව සටහන් කරමින් වේළුපිල්ලේ ප්රභාකරන් ඝාතනය වී අදට වසර 17ක් ඉක්ම ගොසින්. එහෙත්, එල්.ටී.ටී.ඊ. නායකයා එදා ඝාතනය වූ ආකාරය සහ ඔහුගේ මෘත දේහයට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ තවමත් සමාජය තුළ විවිධ මත පළවෙමින් තිබෙනවා. එහෙත් එල්.ටී.ටී.ඊ. විනාශ කර දැමීම වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් සිදුකළ හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා, එදා ප්රභාකරන් ඝාතනය වූ ආකාරය සහ ඔහුගේ දේහයට සිදුකළ දේ පිළිබඳ මාධ්‍ය හමුවේ සුවිශේෂ අනාවරණයක් පසුගියදා සිදුකර තිබුණා. ඒ, WANESA TV යූටියුබ් නාලිකාවේ මාධ්‍යවේදී සංජීව රත්නායක සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. පහත පළවන්නේ ෆොන්සේකා මහතා, ප්රභාකරන් ඝාතනය වූ ආකාරය පිළිබඳ එහිදී දැක්වූ අදහස්ය. Sri Lanka Latest News
ප්රශ්නය
ප්රභාකරන්ගේ දේහයට මොකද වුණේ?
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා
ඒක රහසක් නෙමෙයි. ප්රභාකරන් අනිවාර්යයෙන් ඝාතනය වුණා. ඝාතනය වුණාම මම හෙලිකොප්ටර් එකක කරුණා අම්මාන්ව එතැනට ඇරියා. එතැන මැරිලා හිටපු ඔක්කොම කට්ටිය කරුණා හඳුනා ගත්තා. සුසෙයි හඳුනා ගත්තා, පොට්ටු අම්මාන් හිටියේ නෑ, පොට්ටු අම්මාන්ගේ බිරිඳ හිටියා.
ප්රභාකරන් ඒ 75 දෙනෙක් එක්ක එතැන කොටු වෙන්න ඉස්සෙල්ලා, පොට්ටු අම්මානුයි කීපදෙනකුයි එක්ක (ඒක කේ.පී.ම කියලා තිබ්බේ) ඉස්සරහට ගිහිල්ලා අපේ ආරක්ෂක වළල්ලකින් රිංගන්න හදලා තියෙනවා, එතැන ඉන්නෙ නැතුව, හතර පස් දෙනෙක් එක්ක. එතැනදී පොට්ටු අම්මාන්ට වෙඩි වැදුණාම එයා පුපුරවා ගත්තා කියලා තමයි කියන්නේ. එතකොට තමයි ප්රභාකරන් ආපහු ඇවිල්ලා තියෙන්නේ එතැනට.
පොට්ටු අම්මාන්ගේ බිරිඳගේ දේහය තිබුණා. ඒ ගෑනු එක්කෙනා සයනයිඩ් කරල් තුනක් බෙල්ලේ බැඳගෙන හිටපු එකම කෙනා අපි දැක්කේ ඔය යුද්ධයේදී. ඒ වගේ විශාල පිරිසක්, ඔක්කොම ප්‍රබල කට්ටිය එතැන තමයි හිටියේ එල්.ටී.ටී.ඊ. එකේ.
ඉතින් ප්රභාකරන්ගේ දේහයත් එතැන තිබුණා. එතැන ඒගොල්ලෝ වටකරගෙන අපේ තියෙන අවිආයුධ ඔක්කොම ජාති දාගෙන තමයි එතැන ගැහුවේ ඒ වෙලාවේ. කාලතුවක්කුයි, මෝටාර්, ෆයිව් සීරෝයි, අරවා මේවා ඔක්කොම ගහනකොට ඉතින් වැදුණොත් නිකම් හීරිලා යන තුවාල නෙවෙයිනේ තියෙන්නේ. කඩලා කෑලි ගැලවිලා යන තුවාල තමයි තියෙන්නේ. ඒවා වැදුණාම අතපය ගැලවිලා යන්න පුළුවන්. ප්රභාකරන්ගේ හිසේ පැත්තක් ගැලවිලා ගිහින් තිබුණා.
එයාගේ (ප්රභාකරන්ගේ) දේහය හම්බවුණා කිව්වා, යුනිෆෝම් එකෙන් ඉන්නේ කියලා කිව්වා. මම කිව්වා යුනිෆෝම් ගලවන්න කියලා. ඒක මම ඒ වෙලාවෙම කිව්වා. අපිට භාරවෙච්ච කට්ටියටත් අපි යුනිෆෝම් ඇඳන් ඉන්න දුන්නේ නෑ. ඊට පස්සේ මම උපදෙස් දුන්නා එයාගේ දේහයට මොකද කරන්න ඕනේ කියලා. ඒක මම කියන්නේ නෑ. කිව්වොත් සමහර වෙලාවට සමහරු ගිහිල්ලා එතැන විරුවෝ සමරන්න අරවා මේවා පටන් ගනී. ඒ ප්‍රදේශයේම යම්කිසි ස්ථානයක අපි ඒ දේහයට අවසානයේ කළ යුතු දේවල් කළා. නමුත් ඒක කියන්නේ නැත්තේ මොකද කිව්වොත්, ගිහිල්ලා එතැන කවුරුහරි බලයි මොකක් හරි සිහිවටනයක් ගහන්න හරි මොනවා හරි දේවල් කරන්න.










