අදත් ගෑස් කාන්දු නිසා සිදුවූ පිපිරීම් පිළිබඳ සිද්ධි කිහිපයක්ම දිවයිනේ ප්‍රදේශ රැසකින් වාර්තා විය.
නිවාස සංකීර්ණයක නිවසක සිදුවූ ගෑස් කාන්දුවක් හේතුවෙන් ඇතිවූ ගින්නකින් කාන්තාවකගේ පාදවලට පිළිස්සුම් තුවාල සිදුවූ පුවතක් ගාල්ල වැකුනගොඩ ප්‍රදේශයෙන් වාර්තා විය.
එලෙස තුවාල ලබා ඇත්තේ කරාපිටිය රෝහලේ සේවයේ නියුතු හේදියකි.
මෙම අනතුර ඊයේ (04) පස්වරුවේ සිදුව ඇති අතර ගෑස් සිලන්ඩරයේ සිට ගෑස් ලිපට සැපයුම ලබාදෙන බටයේ ඇති වූ කාන්දුවක් හේතුවෙන් මෙලෙස ගිනි ගෙන ඇති බව එම හෙදිය සඳහන් කළාය.
“ලිප පත්තු කරලා හැරෙන්න වුණේ නෑ.. යටින් විශාල ගිනි ජාලාවක් ආවා. සිලින්ඩරය තිබුණේ ඇතුළේ.”
අනුරාධපුර කුරුන්දන්කුලම රාත්‍රි ආපනශාලවක ඊයේ (04) සවස ගෑස් කාන්දුවක් හේතුවෙන් ගිනි ගැනීමක් සිදුවී තිබුණි.
ආපනශාලාවේ ආහාර සකස්කරමින් සිටින අවස්ථාවේදී මෙලෙස ගිනිගැනීමට ලක්වී ඇති අතර අනතුරින් කිසිවෙකුටත් හානි සිදුවී නොමැත.
මේ අතර පිළියන්දල, මකුළුදූව පලිගෙදර ප්‍රදේශයේ නිවසක ගෑස් ලිපක් ඊයේ රාත්‍රියේ පුපුරාගොස් තිබුණි.
එමෙන්ම ගාල්ල ගෝනපීනුවල බෝදාගොඩවත්ත ප්‍රදේශයේ නිවසක ගෑස් ලිපක් එම නිවසේ කාන්තාව ආහාර පිසිමින් සිටින අවස්ථාවේදී පුපුරා ගොස් තිබේ.
අනතුරුව නිවැසියන් විසින් ගෑස් සිලින්ඩරය පරීක්ෂා කිරීමේදී ඉන් ගෑස් කාන්දුවන බව නිරීක්ෂණය වී ඇත.










