ශ්‍රී ලාංකේය ක්‍රිකට් ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණු දැවැන්තම සහ අභිමානවත්ම ස්මාරකය කුමක්දැයි යමෙකු ඇසුවහොත්, කිසිදු පැකිලීමකින් තොරව කාටත් මතකයට නැගෙන්නේ කොළඹ මාලිගාවත්ත අසල අහස සිඹින ආලෝක කුලුනු සහිත ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයයි. අද වනවිට එය ලෝකයේ ප්‍රමුඛතම ක්‍රීඩාංගණයක් වුවද, මීට දශක හතරකට පෙර මෙම භූමිය පැවැතියේ මඩ ගොහොරුවක් සහ කුණු කන්දක් ලෙසය. මෙම වගුරු බිම ලෝකයම මවිත කළ ‘ක්‍රිකට් මහගෙදර’ බවට පත්කිරීමේ පුදුමසහගත ඉතිහාසය වර්තමාන තරුණ පරපුර අනිවාර්යයෙන්ම දැනගත යුත්තකි. මෙය හුදෙක් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කතාවක් නොව, ලාංකේය ඉංජිනේරු ශක්තිය සහ නායකත්වයේ නොසැලෙන අධිෂ්ඨානය ජාත්‍යන්තරයට අභියෝග කළ අයුරු කියවෙන වීර කතාවකි.Sri Lanka Latest News
මෙම අසිරිමත් ගමනේ ආරම්භය සනිටුහන් වන්නේ 1985 වසරේදීය. එවකට මෙරට අග්‍රාමාත්‍යවරයාව සිටි රණසිංහ ප්‍රේමදාස මහතා ඔස්ටේ්‍රලියාවේ නිල සංචාරයක නිරත වූ අතර, එහිදී ඔහුට බටහිර ඔස්ටේ්‍රලියාවේ පර්ත් නුවර පිහිටි සුප්‍රකට ‘වැකා’ ක්‍රීඩාංගණයේ පැවැති දිවා-රාත්‍රී ක්‍රිකට් තරගයක් නැරඹීමට අවස්ථාව හිමිවිය. විදුලි ආලෝක ධාරා මධ්‍යයේ ක්‍රීඩකයන් දක්ෂතා දක්වන අයුරුත්, එමගින් ක්‍රීඩාවට ලැබෙන නව්‍ය පෙනුමත් දුටු අගමැතිවරයාට තම රට ගැන ඇති වූයේ දැඩි ළෙන්ගතුකමකි. ‘ඇයි මගේ රටේ දරුවන්ට මෙවැනි පහසුකම් සහිත පිට්ටනියක රෑට සෙල්ලම් කරන්න බැරි?’ යන ප්‍රශ්නය ඔහුගේ සිතේ තදින්ම තැන්පත් විය. ලංකාවට පැමිණි වහාම ඔහු ක්‍රියාත්මක විය. ඔහුට අවශ්‍ය වූයේ ඔස්ටේ්‍රලියාවේ තිබූ තාක්ෂණය එලෙසින්ම මෙරටට ගෙන ඒම නොව, දේශීය ශ්‍රමය සහ දැනුම උපයෝගී කරගනිමින් ලෝකයේ හොඳම ක්‍රීඩාංගණයක් මෙරට ඉදිකිරීමයි.
ලංකාවට පැමිණි විගස අගමැතිවරයා එවකට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ප්‍රධානියාව තම නිල නිවසට කැඳවීය. ‘අපිට රෑට ක්‍රිකට් ගහන්න පුළුවන් විදියේ පිට්ටනියක් ලංකාවේ හදන්න පුළුවන්ද?’ යනුවෙන් අගමැතිවරයා කෙටි ප්‍රශ්නයක් යොමු කළේය. එම අවස්ථාව වනවිට ලංකාවේ ඉංජිනේරුවන්ට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණයක් තැනීම තබා, ක්‍රිකට් පිට්ටනියකට විදුලි ආලෝකය ලබාදෙන ආකාරය පිළිබඳවවත් අවබෝධයක් තිබුණේ නැත. එහෙත් ප්‍රේමදාස මහතා යනු ‘බැහැ’ හෝ ‘නැහැ’ යන වචන ඇසීමට කිසිසේත්ම අකැමැති නායකයකු බව ඉංජිනේරුවරයා හොඳින්ම දැන සිටියේය. තම වෘත්තියට ඇති ගෞරවයත්, රට වෙනුවෙන් ඇති අභියෝගයත් භාරගත් ඔහු එක්වරම ‘පුළුවන් සර්’ යැයි පැවැසීය. එවිට ප්‍රේමදාස මහතා ලබාදුන් කාලසීමාව ඉංජිනේරුවරයා මවිතයට පත්කරන්නක් විය. ‘හොඳයි, එහෙනම් මම ඔයාට මාස 6ක් දෙන්නම්. මේක ඉවර කරන්න…’ යන්න අගමැතිවරයාගේ නියෝගය විය. සාමාන්‍යයෙන් මෙවැනි ව්‍යාපෘතියක් නිම කිරීමට වසර දෙක තුනක් ගතවන යුගයක, මාස හයක් යනු ප්‍රායෝගිකව කළ නොහැකි දෙයක් සේ පෙනුණද අභියෝගය ආරම්භ විය.
අගමැතිවරයා අවශ්‍ය සියලු මූල්‍ය ප්‍රතිපාදන සහ පහසුකම් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත නොපැකිලිව ලබාදුන්නේය. වැඩ ආරම්භ විය. මඩ ගොහොරුවක්ව තිබූ ඛෙත්තාරාම භූමිය පැය 24 පුරාම ක්‍රියාත්මක වැඩබිමක් බවට පත්විය. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයෝ දහස් ගණනක් දිවා රෑ නොබලා දහදිය හෙලූහ. අගමැතිවරයා කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව රාත්‍රී කාලයේ පවා වැඩබිමට පැමිණ එහි ප්‍රගතිය නිරීක්ෂණය කළේය. පුදුමය නම්, ඉදිකිරීම් ආරම්භ කර මාස 4ක් වැනි සුළු කාලයක් ඇතුළත ක්‍රීඩාංගණයේ මූලික සැලසුම, ප්‍රේක්ෂක ගැලරි සහ ක්‍රීඩා පිටිය සකස් කර අවසන් කිරීමට අපේ හෙළ ඉංජිනේරුවන්ට හැකි වීමයි. ඉන්පසුව මතු වූයේ සැබෑ අභියෝගයයි. එනම් ක්‍රීඩාංගණයට විදුලි ආලෝකය ලබාදෙන ත්‍කදදාකසටයඑ කුලුනු නිර්මාණය කිරීමයි. මෙරට ඉංජිනේරුවන් සතුව ඒ පිළිබඳ දැනුමක් නොමැති බව දැනගත් විගස අගමැතිවරයා ඔවුන්ව වහාම ඔස්ටේ්‍රලියාවේ පර්ත් නුවරට යැවූයේ එරට තාක්ෂණය අධ්‍යයනය කර පැමිණීමටයි.
ඔස්ටේ්‍රලියාවේදී අපේ ඉංජිනේරුවන්ට පර්ත් ක්‍රීඩාංගණයේ නිර්මාතෘවරුන් සහ එහි ප්‍රධාන නිලධාරීන් හමුවිය. ලාංකික කණ්ඩායම තමන්ගේ සැලසුම් ඉදිරිපත් කළ විට ඔස්ටේ්‍රලියානු ඉංජිනේරුවන් උපහාසයෙන් යුතුව සිනාසෙන්නට විය. ‘මේ වගේ පද්ධතියක් සවිකරන්න ඔයාලට කොච්චර කල් තියෙනවද?’ කියා ඔවුන් විමසූ විට, අපේ ඉංජිනේරුවෝ ‘තව මාස 3යි’ කියා පිළිතුරු දුන්හ. ‘අපිට මේ වැඩේ කරන්න විතරක් අවුරුද්දකට වඩා ගියා. මාස තුනකින් මේක කරන්න කාටවත් බැහැ’ කියා ඔවුහු ඍජුවම පැවැසූහ. එහෙත් ලාංකික ඉංජිනේරුවන් ලංකාවට පැමිණියේ ‘බටහිරට කළ හැකි නම් අපටත් කළ හැකිය’ යන දැඩි ආත්ම විශ්වාසයෙනි. අගමැතිවරයා ලබාදුන් සහාය මත මසක් ඇතුළත අවශ්‍ය සියලු විදුලි උපාංග ගෙන්වා ගත් ඔවුහු, ඉතිරි මාස දෙක තුළ මාරාන්තික වෙහෙසක් දරමින් විදුලි ආලෝක කුලුනු ඉදිකර බල්බ සවි කිරීමට සමත් වූහ.
නමුත් වැඩ අවසන් වෙමින් තිබියදී තවත් බාධාවක් මතුවිය. සවිකළ විදුලි ආලෝකය ක්‍රීඩා කිරීමට සෑහෙන නමුත්, රූපවාහිනී කැමරා මගින් තරගය සජීවීව විකාශය කිරීමට තරම් දීප්තියක් එහි නොතිබිණි. මෙය දැනගත් වහාම අගමැතිවරයා පැවැසුවේ ‘මගේ රටේ ක්‍රීඩකයෝ ලෝකෙටම පේන්න ඕනෙ, ඒ නිසා මොනවා කරලා හරි ලෝකේ තියෙන හොඳම දීප්තිය මේකට දෙන්න’ කියාය. ඒ අනුව ඒ වනවිටත් සවිකර තිබූ බල්බ පද්ධතිය ගලවා ඉවත් කර, ජාත්‍යන්තර ප්‍රමිතියේ ඉහළම දීප්තිය සහිත බල්බ පද්ධතියක් මසක් ඇතුළත යළි සවි කෙරිණි. මෙවැනි කැපකිරීම් මැද අවසානයේ මාස 6කටත් අඩු කාලයකදී ඛෙත්තාරාම ක්‍රීඩාංගණය මුළු මහත් ආසියාවටම අභියෝගයක් වෙමින් ඉදිවිය.
විවෘත කිරීමේ උළෙල සඳහා පර්ත් ක්‍රීඩාංගණයේ ප්‍රධාන නිලධාරියාට විශේෂ ආරාධනයක් කර තිබිණි. ශ්‍රී ලංකාව වැනි කුඩා රටක්, තමන්ට වඩා ඉතා කෙටි කලකින් මෙවැනි දැවැන්ත ව්‍යාපෘතියක් නිම කර ඇති අයුරු දැක ඔහු විස්මයට පත්විය. ක්‍රීඩාංගණය පරීක්ෂා කළ ඔහු පවසා සිටියේ ‘මෙය පර්ත් ක්‍රීඩාංගණයටත් වඩා ඉතා උසස් මට්ටමේ පවතින බව’යි. 1986 පෙබරවාරි 02 වැනි දින ප්‍රථම වරට විදුලි ආලෝක මධ්‍යයේ තරගයක් පැවැත්වුණු අතර, එය ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ නව යුගයක ආරම්භය විය. මුලින් ‘ඛෙත්තාරාම ක්‍රීඩාංගණය’ ලෙස හැඳින්වුණු මෙය, 1993 වසරේදී එතුමාගේ අභාවයෙන් පසුව ‘ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය’ ලෙස නම් කරනු ලැබුවේ එතුමා රට වෙනුවෙන් කළ ඒ අසිරිමත් මෙහෙවරට උපහාරයක් වශයෙනි.
මෙම ක්‍රීඩාංගණය ඉදිවීම පිටුපස ඇති සැබෑ කතාව වන්නේ ගඩොල් සහ වැලිවල කතාවක් නොව, මිනිස් ශ්‍රමය සහ දේශීය ආයතන කෙරෙහි තැබූ විශ්වාසයේ කතාවයි. එදා විදේශීය විශේෂඥයන්ට කොන්ත්‍රාත්තු ලබා නොදී, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වැනි දේශීය ආයතනවලට වගකීම භාරදීම තුළින් අපේ රටේ මිනිසුන්ගේ සැඟවුණු දක්ෂතා මතුවිය. අදටත් ලෝක කුසලාන තරගාවලිවලට පවා සත්කාරකත්වය සපයන මේ රන් දෙවොල, ශ්‍රී ලාංකික අපට ඕනෑම අසීරු ඉලක්කයක් ජයගත හැකි බවට දෙන ජීවමාන සාක්ෂියකි. ඛෙත්තාරාමය යනු හුදෙක් ක්‍රීඩා පිටියක් නොව, ලාංකේය අනන්‍යතාව සහ අභිමානය ලෝකය හමුවේ ඔසවා තැබූ ජයග්‍රාහී සිහිවටනයකි. එදා රණසිංහ ප්‍රේමදාසයන් දුටු ඒ සිහිනය නොවන්නට, අද අපේ රටට ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ මෙවැනි ස්ථාවරත්වයක් නොලැබෙනු ඇත. මෙය ඉදිරි පරම්පරාවට ආදර්ශයක් වන පරිදි අප රැකගත යුතු ජාතික උරුමයකි.
එස්. පතිනායක










