ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කළ දා සිට එම පක්ෂය සමග එක්ව ආණ්ඩු කළ සියලුම පක්ෂ විනාශ වී ගිය බවත්, ඒ හේතුවෙන් වහාම ශ්‍රී ලනිපය සම්බන්ධයෙන් තීන්දුවක් ගත යුතු බවත් ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
අද මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා සදහන් කර සිටියේ 1956 ශ්‍රීලනිපය සමග එක්ව ආණ්ඩු කළ මහජන එක්සත් පෙරමුණේ සිට 2015 යහපාලන ආණ්ඩුවේ සිටි එක්සත් ජාතික පක්ෂය දක්වා මෙම තත්ත්වය පොදුවේ දැකගන්නට ලැබුණු බවකි.
56 පිහිටුවූ ශ්‍රීලනිප ආණ්ඩුවේදී මහජන එක්සත් පෙරමුණ විනාශ වූ බව පෙන්වා දුන් ඒ මහතා 1970-77 මැතිනිගෙ ආණ්ඩු සමයේදී ශ්‍රීලනිපය සමග ආණ්ඩු කළ වාමාංශික පක්ෂ සියල්ලම විනාශ වී ගිය බවද කියා සිටියේය.
ඉන් අනතුරුව 2004 ශ්‍රීලනිපය සමග ආණ්ඩු පිහිටවූ ජනතා විමුක්ති පෙරමුණ අද ආසන 3ට බැස විනාශ වූ බව පෙන්වා දුන් තෙන්නකෝන් මහතා 2015 ශ්‍රීලනිපය සමග සන්ධානගත වූ ලංකාවේ විශාලතම තනි පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය ආසන 1ට බැස විනාශ වී ගිය බවත් ප්‍රකාශ කර සිටියේය.
එම නිසා පොහොට්ටුවද මෙම තත්ත්වය වටහාගත යුතු බව කී ඒ මහතා සියලු පක්ෂ විනාශ කළ ශ්‍රීලංකා නිදහස් පක්ෂය සමග තවදුරටත් සන්ධානගතව සිටින්නේද යන්න පිළිබදව ගැඹුරින් විමසා බැලිය යුතු බවද කියා සිටියේය.
මීට අමතරව යම් පක්ෂයක් ඉදිරියේදී ශ්‍රීලනිපය හා එක්වන්නේ නම් එම පක්ෂය විනාශ වී යාම නොවැළැක්විය හැකි බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.